ක්‍රිකට් ක්‍රීඩකයන් 41කගේ “කල්ල මරේ”

285

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගතව සිටින ජාතික තලයේ ක්‍රීඩකයන් සඳහා වාර්ෂිකව සිදුකරනු ලබන ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

එහිදී A1, A2, B1, C1, C2 සහ ශ්‍රී ලංකා A යන කාණ්ඩ හය යටතේ ක්‍රීඩකයන් 41 දෙනකුට නව ගිවිසුම් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.

නවතම ගාස්තු ඉහළ දැමීම යටතේ කැපී පෙනනම ඉහළ දැමීම වන්නේ ටෙස්ට් තරගවලදී ක්‍රීඩකයන් වෙනුවෙන් සිදුකරනු ලබන ගෙවීම් 100% කින් ඉහළ දැමීම වේ.

එම ඉහළ නැංවීම යටතේ ටෙස්ට් තරග සඳහා තරග ගාස්තුව දක්ෂතා මත පදනම්ව සිදුකෙරෙනු ඇත. ඒ අනුව තරග ජය්‍රගහණය කිරීමේදී, ජය පැරදුමෙන් තොරව අවසන් වීම මෙන්ම පරාජය වීම අනුව එම ගෙවීම් විචල්‍ය වනු ඇත.

මේ අතර එක්දින සහ විස්සයි-20 තරග ද්විත්වයේම තරග ගාස්තු 25% කින් වැඩි කිරීමටද පියවර ගෙන තිබේ. තවද ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වෙනුවෙන්ද පළමු තැනට පැමිණෙන ක්‍රීඩකයන් වෙනුවෙන් විශේෂ ගෙවීමක් සිදුකරනු ලබන අතර ශ්‍රේණිගත කිරීම්හි අංක 10 සිට දෙවැනි ස්ථානය දක්වා පැමිණෙන ක්‍රීඩකයන් වෙනුවෙන්ද දීමනාවක් ලබා දීමටද කටයුතු යොදා තිබේ.

මීට අමතරව ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තුවට එළැඹ සිටින සියලුම ක්‍රීඩකයන්ගේ දෛනික දීමනා මෙන්ම එතෙර සංචාරවලට සහභාගි වීමේදී රාත්‍රී ආහාරය වෙනුවෙන් ලබා දෙනු ලබන මුදලෙහිද සංශෝධනයක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ප්‍රමුඛ විධායක කමිටුව විසින් උක්ත තීරණවලට එළැඹ තිබේ.

නවතම ගිවිසුමට ඇතුළත් ක්‍රීඩකයන් 41 දෙනා මෙසේය. – දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, පැතුම් නිස්සංක, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ප්‍රභාත් ජයසූරිය, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, අසිත ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, ලහිරු කුමාර, නිශාන් මදුශ්ක, මතීෂ පතිරණ, කුසල් ජනිත් පෙරේරා, විශ්ව ප්‍රනාන්දු, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රමෝද් මදුශාන්, ජනිත් ලියනගේ, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, නුවන් තුෂාර, සහන් ආරච්චිගේ, නුවනිඳු ප්‍රනාන්දු, දුශාන් හේමන්ත, ලසිත් ඇඹුල්දෙනිය, බිනුර ප්‍රනාන්දු, ශෙවෝන් ඩැනියෙල්, නිරෝශන් දික්වැල්ල, අශේන් බණ්ඩාර, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment