ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සම්බන්ධීකරණය සඳහා සිදත් වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය අනුව ඉදිරි පියවර ගැනීම ලබන 10 වැනිදා දක්වා වළක්වමින් අභියාචනාධිකරණය පෙරේදා (04දා) නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා හා ලේකම්වරයා විසින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා චමත් මොරායස් යන මහත්වරුන් එම නියෝගය නිකුත් කළේය.
එම කමිටුවේ නියෝජිතයන් ඩුබායි රාජ්‍යයේ සිටින ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නියෝජිතයන් හමුවීමට මෑතකදී උත්සහ දරා ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතියකින් තොරව එලෙස ඔවුන් මුණගැසීමට අවස්ථාවක් ලබාදිය නොහැකි බවටත් එකී නියෝජිතයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇතැයි රොමේෂ් සිල්වා මහතා අධිකරණයට පැවසීය.
මෙවැනි කටයුතුවලින් සිදුවනුයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසාදු ලේඛනගත කිරීමේ අවධානමක් ඇතිවීම හා රටට කීර්තියක් ගෙනා ක්‍රිකට් ක්‍රීඩාව අවගමනය වීමක් වන්නේ යැයි ද ජනාධිපති නීතිඥවරයා විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එම පෙත්සම ලබන 10 වැනිදා යළි කැඳවීමට දින නියම කෙරිණි.
ඒ. ජේ. ඒ. අබේනායක