අන්තිමයාට නුවරට ගිය කැන්ඩි පළමු වැනියාට කොළඹ එයි

376

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා නිමා වූ තරග 13 අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගැනීමට බි ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව සිටී.

ඔවුන් ප්‍රසාද ලකුණු 6ක් හිමි කරගෙන පෙරමුණේ පසුවන අතර දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 6 බැගින් වාර්තා කරගෙන ඇත.

මෙම කණ්ඩායම් තුනම ජයග්‍රහණය තුන බැගින් වාර්තා කර තිබෙන අතර එහෙත් වැඩි ශුද්ධ ලකුණු වේගයක් (0.498) සටහන් කර ගැනීම නිසා බී ලව් කැන්ඩි පෙරමුණට පත්වී ඇත.

දඹුල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයේ ද ජැෆ්නා කණ්ඩායම තෙවන ස්ථානයේ ද පසු වේ. පෙරේදා රාත්‍රීයේ ජැෆ්නා කණ්ඩායම සහ කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 6 ක ජයග්‍රහණයක් ජැෆ්නා කණ්ඩායමට හිමි වූ අතර එම තරගය මෙවර තරගාවලිය යටතේ මහනුවර පල්ලෙකැලේ හි පැවැති අවසන් තරගය විය.

තරගාවලියේ අනෙක් තරග හෙට (11 වැනිදා) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී යළි ආරම්භ වීමට නියමිත වේ.

තරගාවලියේ නුවර තරග පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට පෙර කොළඹ දී පැවැති අතර ඒ වනවිට කොළඹ පැවැති කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට නුවර කණ්ඩායම අසමත් ව තිබුණි.

එහෙත් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ සිට නුවරට ගිය බි ලව් කැන්ඩි කණ්ඩායම නුවර දී පැවැති තරග 3 ම ජය ගෙන පළමුවැනියා වී දැන් කොළඹ පැමිණ ඇත.

එම කණ්ඩායමේ නායක වනිඳු හසරංග මේ වනවිට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන අතර කොළඹ කණ්ඩායමේ බාබර් අසාම් වැඩිම ලකුණු ලාභියා වේ.

ප්‍රසාද ලකුණු සටහනේ කණ්ඩායම් අතර පිළිවෙලින් 04 සහ 05 වැනි ස්ථාන හිමිකරගෙන සිටිනුයේ තරග 05කට මුහුණදී ඉන් තරග 02 බැගින් ජයගෙන තරග 03 බැගින් පරාජයට පත් වූ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම්ය.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment