භාෂාවත් අද ආර්ථික භාණ්ඩයක් බවට පත්වෙලා – යසවර්ධන රුද්‍රිගු

99

ප්‍රවීණ ලේඛක යසවර්ධන රුද්‍රිගු ලියූ තෙවන ව්‍යාකරණ ග්‍රන්ථය පසුගියදා ප්‍රකාශයට පත්විය. මෙයට පෙර ද “වහරමු සොඳින් විමසා” සහ “හරිවැරැද්ද” යනුවෙන් ව්‍යාකරණ ග්‍රන්ථ ද්විත්වයක් එළිදක්වා ඇති ඔහුගේ කාව්‍ය ග්‍රන්ථය “හරිවැරැද්ද ” වෙයි. මේ ඒ පිළිබඳව කෙරෙන සංවාදයකි.

ඔබ මේ ග්‍රන්ථය ලිවීමේ පරමාර්ථය කුමක්ද?

අද භාෂාව නිවැරදිව ව්‍යවහාර කරන අය අඩුයි. ලියන කියන බොහෝ අය නිවැරදි ව්‍යාකරණ හා භාෂාව පිළිබඳ උනන්දුවක් දක්වන්නේ නැහැ. ඇතැමුන් කියන්නේ ලියන කියන දේවල් තේරෙනවා නම් ව්‍යාකාරණ පිළිබඳ එතරම් සැලකිල්ලක් දැක්වීම අනවශ්‍ය බවයි. එහෙත් එය වැරදි අදහසක්. නිවැරදිව භාෂාව පරිහරණය කරන්නට වගබලා ගත යුතුයි. අද ඉංග්‍රීසි සහ වෙනත් විදේශීය භාෂා නිවැරදිව වහරන්නට බොහෝදෙනා උනන්දු වුණත් සිංහල භාෂාවේ නිවැරදිතාව පිළිබඳ උනන්දුවක් නොදැක්වීම කනගාටුවට කරුණකි.

භාෂාවේ වැරදි ඇතිවන්නේ ඇයි ද?

භාෂා ව්‍යවහාරයේදී වැරදි ඇතිවීමට ප්‍රධාන හේතු දෙකක් බලපානවා. ඒවා නම් නොදන්නාකම හා නොසැලකිල්ලයි. බොහෝ අය භාෂාව ඉගෙන ගන්න උනන්දුවක් නැහැ. පාසල් වියේදී පටන් උසස් අධ්‍යාපනය දක්වාම භාෂාව හදාරන අය අඩුයි. සිංහල භාෂාව විෂයයක් ලෙස කරන අය අවමයි. භාෂාව අමාරු බව ද, එයින් ලකුණු ගන්න නොහැකි බවට ද දුර්මතයක් අද ඇතිවෙලා තියෙනවා. ඒ නිසා භාෂා අධ්‍යයනය ඉදිරියට යන්නේ නැහැ. සිංහල උගන්වන ආචාර්ය, මහාචාර්යවරුන්ට පවා නිවැරදි දැනුමක් නැහැ. ඒ නිසා එවැනි අයගෙන් ඉගෙන ගන්නා සිසුන් අමාරුවේ වැටෙනවා.

භාෂාව පරිශීලනය කිරීමේදී එහි නිවැරදිභාවය පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නැහැ. භාෂාව කන්නදැයි ප්‍රශ්න කළ දේශපාලකයන් සිටි මේ රටේ භාෂාව ඉගෙන ගන්න පෙලඹෙන අය අඩුවීම අරුමයක් නොවෙයි. ඉංග්‍රීසි ආදි භාෂා වැරදි ලෙස පාවිච්චි කිරීම අපරාධයක් බව පවසන බොහෝ අය සිංහල භාෂාව වැරැද්දවීම ගැන නොසලකා හරිනවා. ඒ නිසාම භාෂාවට ලැබෙන්නේ අඩු තක්සේරුවක්. ඒ නිසා සැලකිලිමත් නොවන අය වැඩියි.

භාෂාව දූෂණයවීමට අද පවතින සමාජ සහ ආර්ථික රටාව හේතු වේ යැයි ඔබ සිතන්නේ නැති ද?

ඇයි නැත්තේ. සමාජ හා ආර්ථික රටාව මුළුමනින්ම වගකිව යුතුයි. අන් සියලු දේ වගේම භාෂාව ද ආර්ථික භාණ්ඩයක් බවට පත්වෙලා. භාෂාව උගන්වන පෞද්ගලික පංති සඳහා ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම්වල පවා භාෂා වැරදි බොහොමයි. භාෂාව ඉගෙනීමට වඩා ’ අගය වැඩියෙන් ලබා ගතහැකි විෂයයන් වලටයි ශිෂ්‍යයන් කැමැත්තක් දක්වන්නේ. මම මුලින් කීවා වගේ සිංහල භාෂාව වැරදියට පාවිච්චි කරන අය උගතෙක් ලෙසයි සමාජය සලකන්නේ. භාෂාව වැරැද්දීම ගණන් ගන්නා කාරණයක් නොවන හැටියටයි සමාජය සලකන්නේ. පුවත්පත් කාර්යාලයක වුවත් ග්‍රන්ථ කර්තෘවරුන් අතරත් අද සිටින භාෂා දැනුමක් ඇති කිහිපදෙනා ඉවත්වූ පසු මුළු භාෂා ව්‍යවහාරයම අභාවයට යන බව කිව යුතුයි. වැල යන හැටියට මැස්ස ගසනවා විනා පවතින අවාසනාවන්ත තත්ත්වය අවම කිරීම සඳහා වැඩපිළිවෙළක් නැහැ.

භාෂාවේ උන්නතිය සඳහා ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවාද?

කුඩා කල සිට දරුවාට නිවැරදි සිංහල ඉගැන්විය යුතුයි. නිවැරදිව අකුරු ලියන්න, පද බෙදන්න, වචන වෙන්කරන්න මෙන්ම නිවැරදි වාක්‍ය ලිවීමට ද යොමුකිරීම වැදගත්. මෙහිදී දෙමාපියන්ට සහ ගුරුවරුන්ට විශාල කාර්ය භාරයක් පැවරෙනවා. ළමයා තුළ භාෂාව පිළිබඳ බියක් ඇති කළ යුතු නැහැ. ජනමාධ්‍ය තුළ නිවැරදි භාෂා භාවිතය පිළිබඳ සැලකිලිමත්වීම අවශ්‍යයි. විශේෂයෙන් පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය ද ඉටු කළ යුතු කාර්යභාරය විශාලයි. එසේම ග්‍රන්ථ කර්තෘවරුන් ද සංස්කාරයන් ද නිවැරදි භාෂාව පාවිචිච් කිරීම වැදගත්. පැරණි පත පොත පරිශීලනය කිරීමට මෙන්ම භාෂා ග්‍රන්ථ මගින් භාෂාව හැදෑරිය යුතුයි. භාෂාව මැරීම අපරාධයක් ලෙස සලකා ඒ අනුව කටයුතු කළ යුතුයි.

සිංහල භාෂා රීති නිවැරදිව අනුගමනය කිරීම වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි

භාෂාව සකස්වී ඇත්තේ එක්තරා රීති සමූහයකින්. රීති කියන්නේ පොදු සම්මුතීන්. ලිවීමේදීත් කියවීමේදීත් ඒවා අනුගමනය කළ යුතුයි. ඇතැමුන් සිතාගෙන ඉන්නේ රීති තියෙන්නේ ලියන භාෂාවට විතරක් කියලයි. එහෙත් එය වැරදි අදහසක්. ලියන භාෂාවේ වගේම කථික භාෂාවේත් සම්මත ව්‍යාකාරණ තියෙනවා. ඒවා නිවැරදිව අනුගමනය නොකළහොත් තමා කියන දෙය අනෙකාට වැටහෙන්නේ නැහැ. නීති වගේ රීති කඩකළාට දඬුවම් කිරීමක් සිදු නොවෙතත් නිවැරදි භාෂාව හැසිරවිය යුතු වෙනවා. එසේ සිදු නොවුණහොත් ඒ අය සමාජයේ අවඥාවට ලක්වෙනවා. ලියන විට කෙටි සරල වාක්‍ය පාවිච්චි කිරීමෙන් හැකි තරම් දුරට වැරදි අඩු කරගත හැකියි. දිගට ලියන්න ගියාම තමා අමාරුවේ වැටෙන්නේ.

ඔබ මේ ග්‍රන්ථයේ ලියන සහ කියන විට සිදුකරන භාෂා වැරදි පෙන්වා දී ඒවා නිවැරදි කරන්නත් උපදෙස් දී තිබෙනවා. ඇත්තටම ඔබ මේ වැරදි සොයා ගත්තේ කොහොමද?

මා බොහෝ විට යන එන විට හැසිරෙන විට භාෂාව වැරදි ලෙස පාවිච්චි කර ඇති තැන් ග්‍රහණය කර ගන්නවා. අද බොහෝ විට පාරේ ප්‍රදර්ශනය කර ඇති නාම පුවරුවල, බැනර්වල, දැන්වීම් ආදියේ වැරදි වැකි හා වචන සඳහන් වෙනවා. එසේම ඇතැම් පුවත්පත්වල, ශීර්ෂ පාඨවල, පොත්වල, විද්‍යුත් නාලිකාවල කියන සහ ප්‍රදර්ශනය කරන වැකිවල වැරදි බහුලයි. සමහර ඒවා සිනහ උපදවන සුලුයි. අක්ෂර වින්‍යාසය, පද බෙදීම්, ශබ්ද කිරීම් සහ භාෂාවේ මූලික ව්‍යාකරණ රීති පිළිබඳව ද වැරදි බහුලයි. ඇතැම් ජාතික පුවත්පත්වල ශීර්ෂ පාඨ පවා වරද්දනවා. ඉතින් මෙවැනි වැරදි මම සටහන්කර තබාගෙන ඒවා මෙම ග්‍රන්ථවල අමුද්‍රව්‍ය ලෙස පාවිච්චියට ගන්නවා. ඔවුන්ගේ අනන්‍යතාව සොයාගත නොහැකි විදියට මම ඒ වරද පෙන්වා දී හේතුවද පහදා දෙමින් නිවැරදි කරනවා. ඒ මගින් මතු අනාගතයේ දී හෝ එවැනි වැරදිවලින් පරිස්සම් වේ යැයි මම බලාපොරාත්තු වෙනවා.

රුවන්

advertistmentadvertistment
advertistmentadvertistment