වසරකට පසුව 23 දෙනකුගෙන් යුත් පාපන්දු සංචිතයක්

105

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ඉලක්ක කර ක්‍රීඩකයන් 23 දෙනකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඊයේ (05 වැනිදා) ප්‍රකාශයට පත් කරන ලදී.

එම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ නායකයා කවුරුන්ද යන්න මේ වන විටත් තීරණය කර නොමැති අතර අද හෝ හෙට නායකයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන් වසරකට ආසන්න කාලයක් විධිමත් පුහුණුවක් නොමැතිව අක්‍රීය තත්ත්වයෙන් සිටියද ගතවූ සති 5ක කාලය ඇතුළත තමා යටතේ යළි පුහුණුව ලබමින් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි මොරිසන් මහතා ඊයේ (05 වැනිදා) කොළඹ පාපන්දු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය යටතේ සහභාගි වන පළමු තරගය ලබන 12 වැනිදා යේමනය සමග එරටදී පැවැත්වේ. යේමනය ලෝක පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි 157වැනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව 207 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රේණිගත කිරීම් අනුව යේමනය ශ්‍රී ලංකාවට වඩා ඉහළ මට්ටමක සිටියත් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන්ගේ ආත්මශක්තිය සහ ජයග්‍රාහී මානසිකත්වය අනුව දිනුම් පැරදුම් පිළිබඳව අනාවැකි පළ කළ නොහැකි බව පුහුණුකරු මොරිසන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාව දෙවැනි තරගයේ දී සවුදි අරාබිය සමග තරග වැදීමට නියමිත අතර අදාළ තරග දෙකම ජයග්‍රහණය කොට දෙවෙනි වටය සඳහා සුදුසුකම් ලැබුව හොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් ක්‍රීඩකයකුට රුපියල් 750000 බැගින් ප්‍රසාද දීමනා පිළිගැනීමට ශ්‍රී ලංකා පාපන්දු විධායක කමිටුව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය;

සුජාන් පෙරේරා, ප්‍රභාත් අරුණසිරි, හර්ෂ ප්‍රනාන්දු, චරිත් රත්නායක, චලන චමීර, අසිකුර් රහමන්, මොහොමඩ් අමාන්, කවීෂ් ප්‍රනාන්දු, ෂෙනාල් පිංගෝ, මරියතස් නිතාර්ෂාන්, නව්ෂාඩ් මොහොමඩ්, ජූඩ් සුපුන්, ෆයිසාල් ආකිඩ්, වසීම් මොෂාන්, වසීම් රසීක්, වසීම් රසීක්, ෆයිසාල් රසීක්, චමෝද් දිල්ශාන්, රිෆ්ඛාන් මොහොමඩ්, කවිඳු ඉෂාන්, නෙයිසීර් මොහොමඩ්, සෙනාන් ද සිල්වා සහ අරිස් මොහොමඩ්

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment