ක්‍රීඩා සභාවේ සභාපති පුටුව අර්ජුනට බැහැ

445

ඇමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇමැතිටම ලියයි

වර්තමාන ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුබද්ධ ආයතනයක් වන සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී) විධායක කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් පත්වීම නීති විරෝධී බවත් ඒ පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවත් නිර්දේශ කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා ක්‍රීඩා ඇමැති වරයාට ඊයේ (25දා) ලිඛිතව දන්වා ඇත.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 4 (1) වගන්තිය යටතේ අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම සඳහා ජාතික ක්‍රීඩා සභාව ස්ථාපිත කර ඇති බවත් එම පනතේ 4 (3) වගන්තියේ දැක්වෙන්නේ එම සභාවට පත් කරනු ලැබූ සාමාජිකයකු තමා එහි සාමාජිකත්වය දරන තාක් කල් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා සංගමයක හෝ වෙනත් ක්‍රීඩා මණ්ඩලයක හෝ සංවිධානයක ධූර දැරීම නතර කළ යුතු බවත් දක්වමින් සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ ලිපිය ඇමැතිවරයාට යොමු කර ඇත.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා එස්.එස්.සී. ක්‍රීඩා සමාජයේ විධායක කමිටු සාමාජිකයකු වශයෙන් 2021 ජූනි මස සිට තේරීපත් වී ඇති බවත් ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන රණතුංග මහතාව 2022 අගෝස්තු මස 10 වන දින සිට ඇමැතිවරයා විසින් පත්කර ඇති බවත් එම ලිපියේ සඳහන් වේ.

ඒ අනුව අර්ජුන රණතුංග මහතා කරුණු වසංකොට, ජාතික ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම මඟින්, ක්‍රීඩා පනත උල්ලංඝනය කර ඇති බවත් ඔහු රටේ ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා වශයෙන් එහි තනතුරු දැරීම හා ක්‍රියා කිරීම බරපතළ වරදක් මෙන්ම සදාචාරාත්මක ක්‍රියාවක් ද නොවන බවද චන්ද්‍රසේකර මහතා එම ලිපිය මගින් දක්වා ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන අර්ජුන රණතුංග මහතා ජාතික ක්‍රීඩා සභාවේ සභාපතීත්වය දැරීම පිළිබඳව කරුණු සොයා බැලීම සුදුසු බවට නිර්දේශ කරන බවත් එම ලිපිය මගින් අවධාරණය කර ඇත. එම ලිපියේ පිටපත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් වෙත යොමු කර තිබේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment