ක්‍රිකට් නඩුවට එන්න ඇමැති හරින් උසාවියෙන් අවසර ඉල්ලයි

312

අපි ගොනුකළ මූලික විරෝධතා ගැන සුදුසු නියෝගයක් ලබා දෙන්න

අන්තර් ක්‍රිකට් කමිටුවේ ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ගොනුකර ඇති පෙත්සමට අදාළ ඉදිරි නීතිමය කටයුතුවලට පෙනී සිටීම සඳහා තමාගේ නම ඇතුළත් කරන්නැයි නව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (28 දා) නීතිඥ දිනේෂ් විදානපතිරණ මහතා මගින් පෙරකලාසියක් ගොනු කරමින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මින් ඉදිරියට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස තමා වෙනුවෙන් පෙනී සිටීමට දිනේෂ් විදානපතිරණ නීතිඥ සමාගමට අවසර ලබා දී ඇති බවත්, අවශ්‍ය සෑම අවස්ථාවක දීම එකී නීතිඥ සමාගම අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත වෙන්වෙන් පෙනී සිටිනු ඇති බවත් නව ක්‍රීඩා අමාත්‍යවරයා එමගින් අධිකරණයට පැවසීය.

එම කරුණු සලකා බැලූ සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන විනිසුරු මඬුල්ල එම පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර සලකා බැලීම ලබන 5 වැනිදා දක්වා කල් තැබීමට නියෝග කළේය. තමන් මේ වනවිටත් පෙත්සම්කාර ෂම්මි සිල්වාගේ ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් මූලික විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබාදෙන ලෙස අර්ජුන රණතුංග මහතා ඇතුළු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පත් කළ අන්තර් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment