නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තු සියයට 257කින් වැඩි කිරීම සිසුන්ට දරාගන්න බැහැ – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

68

නීති විද්‍යාලයට ඇතුළත් වීමේ ගාස්තු සියයට 257කින්ද අනෙකුත් ගාස්තු ද දරාගත නොහැකි තරමට ඉහළ දැමීමෙන් සිසුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

මෙම ගාස්තු මෙලෙස වැඩිකර ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන්ම නීති විද්‍යාල ගාස්තු මෙලෙස වැඩිකිරිම හේතුවෙන් සිසු දරු දැරියන් පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ඇතැම් පිරිස් විභාගවලට පෙනී සිටීම පවා අත්හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතාද පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

නීති විද්‍යාලයට ඇතුළත් වීමේ විභාග ගාස්තුව ගැසට් පත්‍රය මගින් ඉතා විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. 257%කින් මේක ඉහළ දාලා. ප්‍රවේශ විභාග ගාස්තුව 150%කින් වැඩි කරලා. සිසුන්ට දරා ගත නොහැකි තත්ත්වයක්. පළමු වසරේ සිසුන්ට ගෙවන්න තියෙනවා 67,500ක්. එයාලා මේක දෙකට කඩලා 40,000ක් 27,500ක් විදියට ගෙවන්න ගිහින් 27,500ත් ගෙවන්න බැරුව ඒකත් දෙකට කඩලා ගෙවන්න කටයුතු කර තිබෙනවා. මේක බරපතළ තත්ත්වයක්. විභාග ගාස්තුව රු 2,500කින් වැඩිකරාම විෂයන් 8කට තවත් රු 20,000ක් වැඩි වෙනවා. ඇත්තටම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින් ද ?

ගාස්තු වැඩිකළ යුතුනම් සිසුන්ට අසහනයක් වෙන්නේ නැතුව ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මා ඉල්ලීමක් කරනවා මේ වැඩිවීම අත්හිටුවලා දරුවන්ට දරාගත හැකි මුදලක වැඩිවීමක් කරනවා ද කියලා නැවත කතා කරන්න.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ නීති ක්ෂේත්‍රය එක් පැලැන්තියක් සඳහා වෙන් කිරීමට සැලැස්මක් ඇති බව පෙනී යන බවයි.

අධිකරණ ඇමති මීට කලින් ගෙනවා ගැසට් එකක්. ඒක මේ පාර්ලිමේන්තුව පරාජය කරා. සිංහල හා දෙමළ දරුවන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගවලට මුහුණදෙන්න. එතනින් උත්සාහ කළේ එක්තරා බමුණු කුලයකට පමණක් නීති කේෂ්ත්‍රයේ ආධිපත්‍ය පතුරුවා ගැනීමට. ඒ සභාවේ මන්ත්‍රීවරු පරාජය කළා. අධික ලෙස මිල වැඩිකිරීමෙන් වෙන්නෙත් ඒක.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment