කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව නව පරිශ්‍රයකට

1

කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව, ගනුදෙනුකරුවන්ගේ සුව පහසුව වෙනුවෙන් නවීන පහසුකම් රැසක් සමග අංක 182, මීගමුව පාර, වත්තල යන ලිපිනයෙහි නැවත ස්ථාපිත කිරීමට පසුගියදා කටයුතු කරන ලදී. 2024 මැයි 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක මෙම ශාඛා පරිශ්‍රයේදී ගනුදෙනුකරුවන් හට වාහන ඇතුළු කිරීමේ පහසුව සමග තවත් පහසුකම් රැසක් භුක්ති විඳිය හැකිය. නව ස්ථානයෙහි වත්තල ශාඛාව මැයි මස 13 වැනිදා උත්සවාකාරයෙන් විවෘත වූ අතර එම අවස්ථාව සඳහා කාගිල්ස් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සෙනරත් බණ්ඩාර මහතා ඇතුළු ඉහළ නිලධාරීන්, කාර්ය මණ්ඩලය හා ගනුදෙනුකරුවන් රැසක් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ “වත්තල ප්‍රදේශයේ අපගේ ගනුදෙනුකරුවන් සමග සාර්ථක ගමනක යෙදෙන කාගිල්ස් බැංකුව, තව දුරටත් සුවිශේෂී මූල්‍ය සේවා සපයමින් ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් වෙත අසමසම අවස්ථාවන් නිර්මාණය කර දීමට බලාපොරොත්තු වනවා. එහි එක් පියවරක් ලෙස අපගේ වත්තල ශාඛාව අලුත් ලිපිනයට ගෙන යාම සඳහන් කළ හැකියි. සෑම ශ්‍රී ලාංකිකයකුගේම සාර්ථකත්වය වෙනුවෙන් වත්තල ප්‍රදේශයේ ගනුදෙනුකරුවන් සහ සියලු ප්‍රජාව සමග එක්ව අඛණ්ඩව සේවාවක් සැපයීමට උපකාරී වන ආකාරයෙන් වත්තල ශාඛාව නව ස්ථානයක පිහිටුවීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වනවා. ශ්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව ලෙස සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් විවෘතව පවතින කාගිල්ස් බැංකුවේ වත්තල නව ශාඛාව සමග එක් වෙමින් සුවිශේෂී බැංකු අත්දැකීමක් ලබා ගන්නා ලෙස මේ මොහොතේ සියලු දෙනාට ආරාධනා කිරීමට කැමතියි” යනුවෙනි.

වත්තල කාගිල්ස් බැංකුවේ නව ලිපිනයෙහි ස්ථාපිත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය (ATM) මඟින් මුදල් තැන්පතු, ආපසු ගැනීම් හා චෙක්පත් තැන්පත් කිරීම මෙන්ම ස්වයං බැංකු සේවා රැසක් සලසා ගැනීමේ අවස්ථාව ගනුදෙනුකරුවන් වෙත උදාකර දී තිබීම විශේෂත්වයකි. තවද කාගිල්ස් බැංකුවේ ඕනෑම ඩිජිටල් වේදිකාවක් තුළින් පරිපූර්ණ ඩිජිටල් බැංකු සේවා අත්දැකීමක් ලබා ගැනීමේ හැකියාවද පවතී. කාගිල්ස් බැංකුවේ වත්තල ශාඛාව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා සහ සෙනසුරාදා දිනයන්හි පෙ.ව. 9.00 සිට 12.00 දක්වා සියලු බැංකු කටයුතු සඳහා විවෘතව පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment