කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාව දේශයේ අභිමානය රැක ගනී

202

නෙදර්ලන්තයට එරෙහිව පහසු ජයග්‍රහණයක්

මෙවර පන්දු වාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පළමු වරට ලකුණු 200 සීමාව ඉක්මවා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ඊයේ (17 වැනිදා) තමන් මුහුණ දුන් අවසන් තරගයේදී නෙදර්ලන්තය පරදා ලකුණු 83ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වූයේය.

ඒ අනුව ඊයේ ලබාගත් ජයග්‍රහත් සමග ශ්‍රී ලංකාව මූලික වටයේ “ඩී” කාණ්ඩයේ 3 වැනි තැන හිමිකර ගනිමින් මෙවර තරගාවලිය නිමා කළ අතර ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය එම කාණ්ඩයෙන් සුපිරි 8 වටය සඳහා සුදුසුකම් ලැබීය.

බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සෙන්ට් ලුසියාහි ඩැරන් සැමී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති එම තරගයේ දී ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් ලබා ගත් අතර නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 118 කට දැවී ගියහ.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක පන්දු 21කදී එක් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 46ක් ද, කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා ලකුණු 46 බැගින් ලබා ගත්හ.

ඉනිමේ අවසන් භාගයේදී ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30 ක් සහ නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 20ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මග පෙන්වූහ.

නෙදර්ලන්තය වෙනුවෙන් පන්දු යැවීමේදී ලෝගන් වැන් බීක් කඩුලු 2ක් දවාගත් අතර විවියන් කින්මා, ආර්යන් දත්, පෝල් වෑන් මීක්රන් සහ ටිම් ප්‍රින්ගල් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

නෙදර්ලන්ත පිළිතුරු ඉනිම පන්දු වාර 16.4කදී ලකුණු 118කට සීමා කිරීමට නුවන් තුෂාර ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. නුවන් තුෂාර කඩුලු 3ක් දවා ගත් අතර වනිඳු හසරංග සහ මතීෂ පතිරණ අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියේය. මහීෂ් තීක්ෂණ සහ දසුන් ශානක එක් කඩුල්ල බැගින් බිඳහෙළීය.

නෙදර්ලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ මයිකල් ලෙවිට් සහ ස්කොට් එඩ්වඩ්ස් ලකුණු 31ක් බැගින් රැස්කර ගත්හ.

කෙසේ වෙතත් මෙම තරගය ජයගත්ත ද විස්සයි-20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයට පිවිසීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට නොලැබුණු අතර මූලික වටයේ ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජයට පත් වූ අතර නේපාලය සමග තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණි.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – 201/6 (20) (කුසල් මෙන්ඩිස් 46, චරිත් අසලංක 46, ධනංජය ද සිල්වා 46, ඇන්ජිලෝ මැතිව්ස් නොදැවී 30, වනිඳු හසරංග නොදැවී 20, ලෝගන් වැන් බික් 45/2)

නෙදර්ලන්තය – 118 (16.4) (මයිකල් ලෙවිට් 31, ස්කොට් එඩ්වඩ්ස් 31, නුවන් තුෂාර 24/3, වනිඳු හසරංග 25/2, මතීෂ පතිරණ 12/2)

කුෂාන් සුබසිංහ සෙන්ට් ලුසියා සිට

advertistmentadvertistment
advertistmentadvertistment