කිළිනොච්චියෙන් කතරගම ගිය බසය ගල් ඕඬේදී ප‍්‍රපාතයකට පෙරළෙයි – 17දෙනෙක් රෝහලේ

167

* රියැදුරුට  වේගය  පාලනය කරගන්න  බැරි වෙලා:

කිළිනොච්චිය ප‍්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ ගිය පෞද්ගලික බස් රථයක් ඊයේ (19 දා) අලූයම 2.15ට පමණ පදියතලාව ගල් ඕඬේ කළු පාලම අසල අඩි පහළොවක පමණ ප‍්‍රපාතයකට පෙරළී යෑමෙන් එහි ගමන් කළ දහහත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් එස්. බන්දුසේන මහතා පැවසීය.

බස් රථයේ ද්‍රවිඩ ජාතිකයන් හතළිස් හත්දෙනකු ගමන් කර ඇති අතර දහහතරදෙනකු මහඔය මූලික රෝහලටත්, බරපතළ තත්ත්වයේ පසු වූ තිදෙනකු මඩකලපුව මූලික රෝහලටත් ඇතුළත් කර ඇත.

මඩකලපුව මූලික රෝහලට ඇතුළත් කළ අය අස්ථි බිඳීම්වලට පමණක් ලක්වූ අය අතර ඔවුන්ගෙන් කිසිවකු මරණීය තත්ත්වයක නොමැති බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

බස් රථය අධික වේගයෙන් පැමිණ මෙම කළු පාලම අසල වංගුව පසු කරනවාත් සමග රියැදුරාට වාහනයේ වේගය පාලනය කර ගත නොහැකිව ඒ අසල වූ අඩි පහළොවක පමණ ප‍්‍රපාතයට පෙරළෙන්නට ඇති බවට පදියතලාව පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

බස් රථය පැදවූ යාපනයේ ඉලූවිල් පදිංචි එම්. මයුරදන් (අවු. 38) නමැති අය පදියතලාව පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සැලවූ වහාම පදියතලාව පොලිසිය එම ස්ථානයට ළ`ගා වූ අතර ප‍්‍රදේශවාසීන්ගේ උපකාරයෙන් බස් රථයේ සිර වී සිටි අය කඩිනමින් රෝහල්ගත කිරීමට හැකි වූ බව පදියතලාව පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් එස්. බන්දුසේන මහතා වැඩිදුරටත් පැවසීය.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප‍්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment