කෝටි හතේ වංචාවට රිමාන්ඩ් භාරයේ සිටි තාඹුගලට ඇප

76

රුපියල් කෝටි 07කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරා ලංකා සමගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අංක 05 මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ (27දා) නියෝග කළාය.

සැකකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණේ ආතර් සේනානායක නමැති ව්‍යාපාරිකයකු විසින් වන අතර එකී ව්‍යාපාරිකයාට රුපියල් කෝටි 7ක මුදලක් වංචා කර ඇති බවට විමර්ශන වාර්තා මඟින් දක්වා තිබුණි.

නීතිඥ උපාලි ජයමාන්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, පාර්ශ්වකරුවන් අතර ගනුදෙනුව ණය ගනුදෙනුවක් සම්බන්දයෙන් සිවිල් ආරවුලක් වන බවත් සැකකරු විසින් අපරාධමය වරදක් කර නොමැති බවත්ය.

තම සේවාකාදයකා අත්අඩංගුවට ගැනීම පිටුපස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ රුපියල් කෝටි 30ක කප්පම් සිද්ධියක් තිබෙන බව ද නීතිඥ උපාලි ජයමාන්න මහතා කියා සිටියේය.

මෑතකදී විශ්‍රාම ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි අයකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂවරයා හා එම අංශයේ වත්මන් ඒකාධිපතිවරයා විසින් සැකකරුවන් රුපියල් කෝටි 30ක කප්පමක් ඉල්ලා සිටි බව කීය. එම මුදල කෝටි 12කටත් ඉන්පසු කෝටි 5කටත් අඩු කර ඉන් කෝටි 2ක අත්තිකාරමක් ලබාගත් බවත් එම කප්පම් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සැකකරු සතුව පවතින බවත් නීතිඥවරයා කියා සිටියේය.

මෙම කප්පම් සිද්ධිය පිළිබඳව අධිකරණය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් කිරීමට සැකකරුට අවසර ලබා දෙන ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් නීතිඥ රන්ජන් ද සිල්වා, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ උපාලි ජයමාන්න, නීතිඥ මධාරා විජේසිංහ, නීතිඥ හික්කඩුව ලියනගේ ඉසුරි යන මහත් මහත්මීහු පෙනී සිටියහ.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment