අද සා.පෙළ විභාගයට සියල්ල සූදානම්

93

අපේක්‍ෂකයන් 4,72,553ක් විභාග මධ්‍යස්ථාන 3568ක්

අද (29 දා) සිට ආරම්භ වන සාමාන්‍ය පෙළ (2022) විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමින් ජයසුන්දර මහතා ඊයේ (28 දා) පැවසීය. විභාගය පවත්වන කාලය තුළ කිසිවකු ඊට බාධා නොකර සහාය ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

පොසොන් පෝය දින සහ ඉරිදා දින හැර අනෙකුත් දිනවල ජුනි 08 වැනිදා තෙක් විභාගය පැවැත්වේ. විභාගය ආරම්භ වීමට පැය භාගයකටත් පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටී.

අපේක්‍ෂකයෝ 4,72,553 ක් විභාග මධ්‍යස්ථාන 3568 කදී විභාගයට පෙනී සිටිති. විභාගය සඳහා 35,000 කට වැඩි කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාගයට පෙනී සිටීමට නියමිත සියලුම අපේක්‍ෂකයන් ජාතික හැඳුනුම්පත, රියැදුරු බලපත්‍රය, විදේශ ගුවන් ගමන් බලපත්‍රය යන අනන්‍යතාව හෙළි කළ හැකි හැඳුනුම්පතක් සමග ප්‍රවේශ පත්‍රය රැගෙන යෑමට කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

මෙම විභාගය පසුගිය වසරේ (2022) දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර කොරෝනා වසංගතය ඇතුළු විවිධ හේතු නිසා එම විභාගය කල් යෑමෙන් පසු අද සිට විභාගය පැවැත්වේ.

විභාගය පැවැත්වීමේදී ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල සහාය ලබාගන්නා බවත් උතුරු පළාතේ දූපත්වල විභාග මධ්‍යස්ථානවලට ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහාය ගන්නා බවත් යම් ආපදා තත්ත්වයක් මත නාවික හමුදාවේ සහය ලබාගත නොහැකි නම් ගුවන් හමුදාවේ සහය ලබාගන්නා බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. ඕනෑම අවස්ථාවක ආපදා තත්ත්වයක් පවතී නම් 117 අංකය අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.

සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන විභාග මධ්‍යස්ථානවල ඩෙංගු මර්දන කටයුතු සිදුකරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් දී ඇති බවත් ඒ අනුව කටයුතු කර ඇතැයි තමා අපේක්‍ෂා කරන බවත් ජයසුන්දර මහතා කීය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා බන්ධනාගාරගතව සිටින ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවූ රැඳවියකු සමග රැඳවියන් 10 දෙනකු පෙනී සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment