අලුත් කැබිනට්ටුව හිසරදයට කොට්ටය මාරු කළා වගෙයි – හිටපු ඇමති දයාසිරි කියයි

134

රාජපක්‍ෂවරුන් ගෙදර යවා අන්තර්කාලීන ආණ්ඩුවක් පත් කිරීමට කටයුතු නොකර නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම හිසරදයට කොට්ටය මාරුකිරීමක් වැනි ක්‍රියාවක් බව හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා දිවයිනට ඊයේ (18 වැනිදා) පැවසීය.

රාජපක්‍ෂවරුන්ට ජාත්‍යන්තර වශයෙන් ද විශාල විරෝධයක් තිබෙන බවත් එවැනි විරෝධයක් පැවතීම නිසා රටට ජාත්‍යන්තර වශයෙන් කිසිම ආකාරයක උදව් උපකාරයක් නොලැබෙන බවත් ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සමග කිසිම ආකාරයක ආරවුලක් නොමැති බවත් මේ මොහොතේ අගමැතිවරයා පැත්තකට වී සිට අන්තර්කාලීන ආණ්ඩුවක් පත්කර වෙනත් අග්‍රාමාත්‍යවරයකු පත්කර ගැනීමට ඉඩ දිය යුතු බවත් දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.

හිටපු ඇමැති දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේ ඊයේ පත් කළ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් දිවයින කළ විමසීමකදීය. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කියා සිටියේය.

අලුතින් පත්වූ කැබිනට් මණ්ඩලයට අපි සුබ පතනවා. තරුණ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලබාදී තිබෙනවා. අපේ සටන නිසා තමයි මේ නව කැබිනට් මණ්ඩලය පත් කළේ.

නමුත් රටේ සමස්ථ ජනතාව බලාපොරොත්තු වුණේ මේ දේ නොවෙයි. මහජනතාව කියන්නේ රාජපක්‍ෂවරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට ගෙදර යා යුතු බවයි.

අපි කියන්නේ අගමැතිවරයා තමන්ගේ ගෞරවය තියාගෙන මේ වෙලාවේ පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලා.

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා සියලුම පක්‍ෂවල එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලය පත්කළ යුතුයි. බහුතර කැමැත්තට අනුව අගමැතිවරයෙක් පත්කිරීම වගේම ලේකම්වරු පත් කිරීමේදීත් බහුතර කැමැත්ත අනුව සිදු කළ යුතුයි.

ඒවගේම පත්වන ඇමති මණ්ඩලයට විශේෂඥ දැනුම තියෙන උපදේශක මණ්ඩලයක් පත් කළ යුතුයි.

රටපුරා විරෝධතා පවත්වන තරුණයන් අතර ඉතාම බුද්ධිමත් තරුණ පිරිසක් ඉන්නවා. ඒ බුද්ධිමත් තරුණයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර සියලුම පක්‍ෂ ඔවුන් සමග සාකච්ඡා කර මේ රට ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් වහාම ක්‍රියාත්මක කළ යුතු යැයි දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment