බල්ගේරියානුවන් දෙදෙනකු සමග ඒටීඑම් යන්ත්‍රවලින් මුදල් ඇද්දැයි මීගහතැන්න පොලිසියේ පාලන අංශ ස්ථානාධිපති දැලේ

194

බල්ගේරියානු ජාතිකයන් දෙදෙනකු සමග එක්ව ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවල ටෙලර් මැෂින් කඩා මුදල් සොරාගත් බව කියන මීගහතැන්න පොලිසියේ පරිපාලන අංශය භාර පොලිස් පරීක්‍ෂකවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (09දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ටෙලර් මැෂින් මුදල් සොරකමට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයන් දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෞද්ගලික බැංකු 3 ක් විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන මෙම සොරකමට සම්බන්ධ පිරිස පැමිණෙන මෝටර් රථය හඳුනාගෙන ඇති අතර ඒ ඔස්සේ කළ විමර්ශනවලදී මෙම සංවිධානාත්මක කණ්ඩායම සැඟවී සිටින ස්ථානය සොයාගෙන ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයක මෙම පිරිස සැඟව සිටින බව සොයා ගත් පොලිස් නිලධාරීන් එය වටලා එහි සිටි විදේශිකයන් දෙදෙනා හා ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන බල්ගේරියානු ජාතිකයෙකු හඳුනාගෙන ඇතැයිද එම සැකකරු රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළේ සිටියදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

මේ අතර සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකථනයක අංකයක් ඔස්සේ විමර්ශන පැවැත්වූ රහස් පොලිස් නිලධාරීන් මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.

කරාපිටිය, ගාල්ල, බද්දේගම, හික්කඩුව යන ප්‍රදේශවල බැංකුවල ඒටීඑම් යන්ත්‍රවලින් මෙලෙස මුදල් සොරාගෙන ඇත. මෙම පොලිස් පරීක්‍ෂකවරයා පිටිගල අමුගොඩ ප්‍රදේශයේදී අත්ඩංගුවට ගත් අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
හේමන්ත රන්දුණු සහ ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment