රත්නපුර-පලාබද්දල මාර්ගය හෙවත් රජ මාවත ඔස්සේ සිරි පා කරුණාකරන විට, පලාබද්දල, පවනැල්ල, ළිහිණිහෙල, කටුකිතුල, දියබෙත්ම, ගෙත්තම්පාණ, හැරමිටිපාණ සහ ආඬියාමලතැන්න යන ස්ථානවලදී අම්බලම් කිහිපයක්ම දැකගන්නට ඇත. අපගේ මාතෘකාවට අදාළ වන අම්බලම පිහිටා ඇත්තේ ශ්‍රී පලාබද්දල පුරාණ විහාරස්ථානයේ සිට ශ්‍රී පාදස්ථානයට දෙසට කි: මී: 05 1/2ක් පමණ දුරින් ය. එය නමින් ගජමංසල අම්බලම යි.

ගජමංසල

ගජමංසල හෙවත් දියබෙත්ම අම්බලම ඓතිහාසික වටිනාකමක් ඇති පැරණි අම්බලම කි. මේ අම්බලමේ නම සහ ඉදිකිරීම සම්බන්ධයෙන් මත ගැටලු කිහිපයක් ඇති නිසා, ඓතිහාසික ලේඛන ආශ්‍රයෙන් මේ ගැන විමසමු.

ගජ නමින් හඳුන්වන්නේ, අලි ඇතුන්ය. ඒ අනුව,

“අලි ඇතුන් + ගමන් ගන්නා + මඟ” ව්‍යවහාරයේදී ගජ+මං+සල යනුවෙන් හඳුන්වති. රජමාවත වැටී ඇත්තේ, අලි ඇතුන් ගමන් ගන්නා මේ ප්‍රධාන මංකඩ පාදක කර ගෙන ය. එම නිසා එම මංකඩ හඳුන්වන්නේ, ගජමංසල නමින් ය.

යටත්විජිත පාලන සමයේ, මාතර වේරගම්තොට සිටි දක්ෂ කිවිඳියක වූ ගජමන් නෝනා හෙවත් ගාර්දිය ආරච්චිලාගේ දෝන ඉසබෙලා කොර්නේලියා (1746.03.10-1815.12.15) විසින් මෙම අම්බලම ඉදිකළ බවත්, මේ නිසා මෙය, (ගජමන්) නෝනාගේ අම්බලම නමින් හඳුන්වන බවත් ජනප්‍රවාදයේ පවතී. මේ ගැන ඓතිහාසික ලේඛන ආශ්‍රයෙන් මෙය ඉදි කළේ ගජමන් නෝනා දැයි සත්‍යාසත්‍ය විමසමු. දියබෙත්ම අම්බලම නමින් ද හඳුන්වන මෙය, පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1425ක පමණ පමණ උසින් ය.

ගජමංසල අම්බලම හැදුවේ ගජමන් නෝනා නොවේ!

ලුතිනන් මැල්කම්ගේ සිරිපාද චාරිකාව (1815.04.26)

මා කළ අධ්‍යයනයේදී රජමාවතේ පැරණි මුර කපොළු ගැන ප්‍රථම වරට තොරතුරක් හමුවූයේ, 1815 වසරේ අප්‍රේල් 26 වැනි දින බටුගෙදර හමුදා කඳවුරෙන් ශ්‍රී පාද කන්ද තරණය කළ, ලුතිනන් හෙන්රි ජෝර්ජ් විලියම් මැක්ලම් විසින් ලියූ චාරිකා සටහනකින් ය. එහි මෙසේ සඳහන් වේ. “…..කන්ද නඟින අතර වාරයේ පසුගිය යුද සමයේ ප්‍රයෝජනයට ගත්, එහෙත් මේ වනවිට අතහැර දැමූ ආරක්‍ෂක මුර කපොළු තුනක් හමු විය…..” යනුවෙන් සටහනක් තබා ඇත. ලුතිනන් මැල්කම් රත්නපුර මහ දිසාවේ ප්‍රථම උප ඒජන්තවරයා (1817-1818) ය.

බටුගෙදර යුද හමුදා කඳවුරේ සෙබළෙකුගේ සටහනක් (1815)

ලුතිනන් මැල්කම්ගේ සිරිපා චාරිකාවෙන් සතියකට පමණ පසු නැවතත් බටුගෙදර හමුදා කඳවුරෙන් තවත් භට පිරිසක් සිරිපාදයට ගොස් ඇත. එම චාරිකාව ගැනද ඔවුන් සටහනක් තබා ඇත. “….. දියබෙත්මේදී සිංහලයෙකුගේ කුඩා අම්බලමක් සහ තවත් ගොඩනැඟිල්ලක නටඹුන් දැක ගන්නට ඇත. එය සපරගමුවේ අවසාන දිසාව වශයෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත ඇහැළේපොළ සෑදු එක කි…..” යනුවෙන් එහි සඳහන් වේ.

කඩවත් තුනෙන් එක මුරපළක් දියබෙත්මේ හෙවත් ගජමන්සල ද තිබූ බව ඉහත වාර්තාවෙන් පැහැදිලි වේ. වර්තමානයේ මෙතැන නටඹුන්ව ඇති ගොඩනැඟිල්ල ඉදිකිරීමට පෙර, ඇහැළේපොළ නිලමේ විසින් ද මේ මුරපළට අමතරව, සිරිපා කරන වන්දනාකරුවන්ගේ පහසුවට අම්බලමක් ඉදිකරන්නට ඇතැයි අනුමාන කළ හැකි ය.

මෙම කණ්ඩායම් දෙකම ශ්‍රී පාදස්ථානයට ගිය ගමන, ගැන සඳහන්වන්නේ, විලියම් ස්කින්ගේ Adam’s Peak ග්‍රන්ථයේ ය.

මේජර් ජොනතන් ෆොබ්ස්ගේ සටහනක් (1827)

නැවත මේ අම්බලම ගැන තොරතුරක් හමු වූයේ, 1827 වසරේ දී සමනල කන්ද තරණය කළ මේජර් ජොනතන් ෆොබ්ස්ගේ 11 year in Ceylon (ලංකාවේ එකොළොස් වසක්) නම් ග්‍රන්ථයෙනි. ඔහු බ්‍රිතාන්‍ය යුද හමුදාවේ, ස්කොට්ලන්ත සෙබළුන්ගෙන් සමන්විත, 78 වැනි හයිලෑන්ඩර්ස් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ය. ගජමන්සල අම්බලම ගැන ඔහු සඳහන් කරන්නේ,

“..නවාතැන් ගැනීමට සුදුසු තත්ත්වයක නැති පාළු අම්බලමක් දියබෙත්මේ දී හමුවිය…..’ යන කෙටි සටහන ය.

ගජමංසල අම්බලම හැදුවේ ගජමන් නෝනා නොවේ!

වෛද්‍ය වර්නන් හොෆ්මිස්ටර්ගේ සටහනක් (1848)

සිව් වැනි සටහන හමුවූයේ, 1844.12.08 වන දින ශ්‍රී පාදස්ථානය නැරඹීමට ගිය, ජර්මන් රජ පෙළපතේ සාමාජිකයකු වූ වොල්ඩමර් (Friedrich Wilhelm Waldemar) කුමාරයා සමග මෙහි පැමිණි වෛද්‍ය වර්නන් හොෆ්මිස්ටර් විසින්, 1848 දී මෙම චාරිකාව අලලා ලියන ලද, Traval in Ceylon and continental India ග්‍රන්ථයෙනි. එහි මෙසේ සඳහන් වේ.

“….. මෙහි තරමක කුඩා උස් භූමියක විශ්‍රාම ශාලාවක් දැකගත හැකි වූ අතර, අපි විවේක ගැනීමට සහ ආහාර පිස ගැනීම සඳහා එහි නතර වුණෙමු. අඳුරු බිත්තිවලින් හෙබි මෙයට ආලෝකය ඇතුළුවන්නේ ප්‍රධාන දොරටුවෙන් ය. අපගේ කෝකියා විසින් පිසින ආහාරවල සුවඳ කුසගින්නට අත වැනීමක් බඳු ය. මෙම තානායම හෙවත් අම්බලම බ්‍රවුන්රිග් ආර්යාව (Lady Brownrigg’s Rest house) විසින් ඇයගේ වියදමින් කරවන ලද්දක් ය. මම ඉහළ ගෞරවයකින් ඇයට සලකමි. අපි එම කටයුතු නිමවීමෙන් පසු නැවතත් කන්ද නැඟීම ආරම්භ කළෙමු….” යනුවෙන් සඳහන් කර ඇත.

1815 දී මෙය ඉදිකළේ ඇහැළේපොළ අදිකාරම බව සඳහන්කර ඇති අතර, එයින් අවුරුදු 33කට පසු කළ සටහනේ දී සඳහන් වන්නේ, මෙය රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා විසින් කරවන ලද්දක් බවයි.

විලියම් නයිටන්ගේ සිරිපා චාරිකාව (1844)

බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ විලියම් නයිටන්, මෙරට රැඳී සිටි කාලය තුළ ලංකා ඉතිහාසය හදාරා, 1845 වසරේදී The History of Ceylon – From the earlest period to the present time නමින් ඉතිහාසය පොතක් ද ලියා ඇත. එම පොතෙහි අතිරේක පරිච්ඡේදයක, Note of an Excursion to the summit of Adam’s peak නමින් ඔහු ගිය ශ්‍රී පාද චාරිකාව ගැන සටහන් කර ඇත.

“…..වන සතුන්ගේ ඝෝරනාඩුව මෙන්ම, අලි ඇතුන්ගේ කුංච නාදය ද විටින් විට ඇසෙන්නේ මගේ සිත බිය වද්දවමින් ය. කෙසේ වුව ද කුලීකරුවන් කන්ද නඟින්නේ විවිධ වූ ශබ්ධ ඝෝෂා පවත්වමින් ය. පැය දෙකක පමණ ගමනින් පසු අම්බලමක් හමු වූ අතර අපි එහි නැවතී ගිමන් හැරියෙමු.

අපි එතනදී දිවා ආහාර ගත් අතර, ඉන්පසු මම සුවබර නින්දකට වැටුනෙමි. පසුව සවස හතරට පමණ අප නැවතත් ගමන් ඇරඹුවෙමු. ගමන් මාර්ගයේ වෙනසක් නොවීය. එතරම්ම දුෂ්කර ය. ගමන යන අතරමඟ දී අපගේ මඟ පෙන්වන්නා වූ පුංචා කීවේ, මේ ප්‍රදේශයේ නිතර කොටියන් ගැවසෙන බව ය. අපි කුඩා තැනක පිහිටි දියබෙත්ම අම්බලමට පැමිණියෙමු. මේ අම්බලම වෙත අප ළඟාවන විට ඒ අසළ සිටි අලි රංචුවක් අප දැක, වන වැදුනේ, අපටත් එතැන නැවතී ගිමන් හැරීමට අයිතියක් ඇති බව පසක්කර ගත්තාක් මෙන් ය.

මෙම අම්බලමේ වහලයට උළු සෙවිලිකර ඇත. එය කාමර දෙකකින් සහ ආලින්දයකින් සමන්විත වුවද, එය සැප පහසුකමින් හීන ය. මැටි පොළොව නිසා උල් දිය දමා ඇති අතර, කාමරවල දොරවල් නොමැති නිසා ආරක්‍ෂාවක් ද නැත. තමන් පැමිණි කිසිම දිනක මෙහි පොළොව වියළී තිබෙනවා දුටු බවක් මතක නැති බව පුංචා කීවේය. ආදම්ගේ කන්දේ කේතු රූපාකාර චමත්කාර දර්ශනය මෙතෙනට පැහැදිලිව පෙනේ. (“පුංචා” යනු නයිටන්ගේ මාර්ගෝපදේශකයා ය.)

එච්.එස්.ඕ. රසල් ගෙන් දියබෙත්ම අම්බලම ගැන (1867.04.22)

එච්.එස්.ඕ. රසල් මහතා 1863 සිට වසරක පමණ කාලයක් රත්නපුර දිසාවනියේ උප ඒජන්තවරයා වශයෙන් සේවයකර ඇත. ඉහත දාතම සහිත ඔහුගේ ලිපියක මෙසේ සඳහන් වේ. “….ටර්නර් මහතාගේ කාලයේදී ආණ්ඩුව විසින් සාදන ලද තරමක් විශාල ශක්තිමත් නිවාසයක් දියබෙත්මේ ඇත. ගලෙන් බිත්ති බැඳ ඇති එය, වසර දහයකින් පමණ මෙපිට වහලය අළුත්වැඩියාවක් කර ඇති බවක් නොපෙනෙන අතර, උළු සෙවිළිකර තිබූ බවක් පෙනේ. මේ වනවිට මෙය හොඳටම ජරාවාස වී තෙත බරිත සිර මැඳිරියක සිරි ගෙන ඇත….”

ජෝර්ජ් ටර්නර් මහතා, රත්නපුර දිසාවනියේ ආණ්ඩුවේ උප ඒජන්ත වශයෙන් කටයුතු කළේ, 1823 සිට 1828 දක්වා ය. මෙම අවදියේ මෙරට ආණ්ඩුකාරවරයා වශයෙන් සේවය කළේ, ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් (1812-1823) මහතා ය.

ගජමංසල අම්බලම හැදුවේ ගජමන් නෝනා නොවේ!

විලියම් ස්කීන්ගෙන් ගජමංසල ගැන (1869 මාර්තු)

ශ්‍රී පාදස්ථානය ගැන කතා කරන විට විලියම් ඇලෙක්සැන්ඩර් ස්කීන් මහතා අමතක කළ හොහැකි චරිතය කි. ඔහු සුප්‍රසිද්ධ දේශ ගවේෂකයකු, ඉතිහාස පර්යේෂකයකු මෙන්ම, ලේඛකයෙකි. රත්නපුරයේ නැවතී හේ වරින්වර, කුරුවිට සහ පලාබද්දල මාර්ග ඔස්සේ, ශ්‍රී පාදස්ථානය නැඟ මෙම පර්යේෂණ කටයුතු සිදුකර ඇත. එම කටයුතු නිමවීමෙන් පසු, Adam’s Peak – legendary, traditional and historic notices of the Samanala and Sri-Pada නමින් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් 1870 වසරේ දී ප්‍රකාශයට පත් කර ඇත.

එහි සඳහන් වන්නේ, ආණ්ඩුකාර ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග් (1812-1823) ගේ නියෝගයකට අනුව, (ගිලීමලේ) දසනායක නිලමේ මෙම අම්බලම ඉදිකළ බව ය. මේ ඉදිකිරීම සඳහා මුදල් වියදම් කළේ, බ්‍රවුන්රිග් ආර්යාව වන එලිසබෙත් කැතරින් ලෙවිස් (Elizabeth Catharine Lewis) ය. ඇය වෙනුවෙන් මෙම අම්බලම (Lady Brownrigg’s Rest house) සිය පියා විසින් ඉදිකළ බව, ගන්ආරච්චි ප්‍රකාශ කළ බව ස්කින් සඳහන් කරයි.

නෝනගෙ අම්බලම

ඉහත තොරතුරු අධ්‍යයනය කිරීමේදී පැහැදිලිවෙන්නේ, මෙම අම්බලම එකල බොහෝ දුරට හඳුන්වා ඇත්තේ “දියබෙත්ම අම්බලම” නමින් ය. එමෙන්ම වෛද්‍ය වර්නන් හොෆ්මිස්ටර්, එච්.එස්.ඕ. රසල් සහ විලියම් ස්කීන්ගේ වාර්තාවලින් පැහැදිලි වෙන්නේ, මෙම අම්බලම ඉදිකර තිබෙන්නේ, ශ්‍රීමත් රොබට් බ්‍රවුන්රිග්ගේ පාලන සමයේ දී ය. ඔහුගේ උපදෙස් අනුව, ගිලීමලේ දසනායක නිලමේ ඉතාමත් කැමැත්තෙන්ම මෙම කාර්යය ඉටුකළ බව ඔහුගේ පුතා වන, ගිලීමලේ ගන්ආරච්චි ප්‍රකාශකර ඇත.

ආණ්ඩුකාරවරයාගේ බිරිඳ විසින් ඉදිකළ මෙය එකල ජනතාව හැඳින්වූයේ “නෝනගේ අම්බලම” නමින් ය. එසේ නම් කළ මෙම අම්බලම, “ගජමන් නෝනාගෙ අම්බලම” යනුවෙන් නම් කිරීම ද රසවත් පුවත කි.

ගජමන් නෝනාගෙ අම්බලම

ගජමංසල අම්බලම හෙවත් නෝනගේ අම්බලම ඉදි කළේ, මාතර යුගයේ සිටි ප්‍රසිද්ධ කිවිඳියක වූ ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා කොර්නේලියා පෙරුමාල් බවට ප්‍රබල මතයක් ඇත.

සිරිපාද වන්දනා සමය මාස 06 කි. ප්‍රදේශයේ පවතින ප්‍රවාද තොරතුරුවලට අනුව, ගජමන් නෝනා, එක්තරා භික්‍ෂූන් වහන්සේ නමක් සමග එම වන්දනා සමයේ රජමාවත ඔස්සේ අවම වශයෙන් මාසයකට වතාවක් හෝ සිරිපා නැඟීමට පැමිණ නවාතැන් ගෙන ඇත්තේ මෙම අම්බලමේ ය. මේ දෙදෙනාගේ පැමිණීම එකල සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබුණි. එම භික්‍ෂූන් වහන්සේ, ගජමන් නෝනාගේ ගුරු හිමියන් කෙනකු සමග යැයිද සමහර තොරතුරුවල සඳහන් වේ. 2019.08.07 දින බදාදා අතිරේකයේ, “ගජමන් නෝනා සමග පෙම්කවි හුවමාරු කර ගත්තේ, ඇලපාත ධම්මරතන (මුදලි) ද ? යන මාතෘකාවෙන් එම කතා පුවත, ඉදිරිපත් කර ඇත.

පුරාවිද්‍යා ගවේෂණ – (2024 පෙබරවාරි)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම ගජමංසල අම්බලම හා ඒ ආශ්‍රිතව, 2024 පෙබරවාරි මාසයේ දින කිහිපයක් ගවේෂණය කළහ. ඔවුන්ගේ වාර්තාවට අනුව මෙම ස්ථානයේ ගොඩනැඟිලි දෙක කි.

ප්‍රධාන ගොඩනැඟිල්ල පිටතින් මීටර් 18×11.90ක දිග, පළලින් යුක්ත ය. විවෘත ආලින්දයක් සමගින් කාමර දෙක කි. විවෘත ආලින්දයෙන් කාමර දෙකට ඇතුළුවිය හැකි අතර, ප්‍රධාන දොරටුව උතුරට මුහුණලා ඇත. බිත්තියක ගණකම සෙ:මී: 83ක් වන අතර, මීටර් 2.70ක් පළල ආලින්දය ගොඩනැඟිල්ල වටා ඇතුළතින් ඇත. දෙවැනි ගොඩනැඟිල්ල, මීටර් 8.10ක සම දිග පළලින් යුක්ත ය. මෙම ගොඩනැඟිලි දෙකෙහි ඉතිරිව ඇති බිත්තිවලින් පෙනී යන්නේ මේවා පල දෙකකින් යුතු ගොඩනැඟිලි බවයි. ඇළ, දොළ ආශ්‍රිතව ඇති කැටගල්වලින් මෙම බිත්ති බැඳ ඇති අතර, වහලයට අඩ රවුම් සිංහල උළු සෙවිලි කර ඇත.

මේවායේ බිත්ති මත මේ වනවිට විශාල වශයෙන් ගස් වැල් වැවී ඇති නිසා බිත්ති විනාශයට පත්ව ඇත. ගොඩනැඟිලි ඉදිකිරීමෙන් පසු වතාවකට දෙවතාවකට වඩා අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කර නැති බව පෙනේ. 1867.04.22 දින සටහනක් තබන එච්.එස්.ඕ. රසල් සඳහන් කරන්නේ, වසර 10කින් මෙපිට වහලය අලුවැඩියා කර ඇති බවක් දක්නට නැති බවයි.

අම්බලම ඉදිකර ඇති ස්ථානයේ නිතර නිතර අලි ඇතුන්, කොටි, වළසුන්, මෙන්ම නයි පොළොඟුන් වැනි විෂඝෝර සර්පයන් ගැවසීම සහ අධික සීතල දේශගුණය මෙම ස්ථානය නටඹුන්වීමට ප්‍රධාන හේතු කාරණා විය. සිරි පා අවාරයේ දී මෙම අම්බලම වන සතුන්ගේ නවාතැන්පළක් බවට පරිවර්තනය වේ. පවතින ජනප්‍රවාදයන්හි සඳහන් වන්නේ, රාත්‍රී නවාතැන් ගන්නා වන්දනා නඩවල උදේ බලනවිට එක්කෙනකු දෙන්නකු මියගොස් සිටින බවයි. එයට හේතුව වශයෙන් සොයා ගෙන ඇත්තේ, නයි පොළොඟුන් වැනි විෂඝෝර සර්පයන්ගේ දෂ්ඨ කිරීම් නිසා මෙම මරණ සිද්ධවන බවය.

රත්නපුර වර්තමාන දිසාපති, වසන්ත ගුණරත්න මහතා මෙම දියබෙත්ම අම්බලම ප්‍රතිසංස්කරණය කිරීමට පිඹුරුපත් සකස් කරමින් සිටිති.

මගේ නිගමනය

  1. 1815 දී සමනල කන්ද තරණය කළ බටුගෙදර යුද හමුදා කඳවුරේ නම සඳහන් නොකළ හමුදා සෙබළාගේ සටහනට අනුව, පවනැල්ලේ කුඩා අම්බලමක් සහ තවත් තවත් ගොඩනැඟිල්ලක් තිබී ඇති අතර, එය සබරගමුවේ මහාදිකාරම වශයෙන් සේවය කළ ඇහැළේපොළ මහ නිලමේ විසින් ඉදිකරන ලද්දකි. රජරට සිට සපරගමුවට පැමිණිය හැකි කෙටි මාර්ගයක් වූයේ, කෙහෙල්ගමුව-අඹගමුව හරහා ශ්‍රී පාදස්ථානයට පැමිණ, එතැනින් රත්නපුර – පලාබද්දල මාර්ගය ඔස්සේ පහළට බැසීම ය. මේ මාර්ගයේ ආරක්‍ෂිත මුර කපොළු තුනක් තිබී ඇති අතර, මේ එයින් එක ස්ථානයක් වශයෙන් සැලකිය හැකි ය. එයින් පසුකාලීනව රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා මෙම ස්ථානයේ ඉහත ගොඩනැඟිලි දෙක අලුත්වැඩියා කිරීමක් හෝ නව ඉදිකිරීමක් සිදුකරන්නට ඇත. ඔහු සිය බිරිඳ වෙනුවෙන් මෙම අම්බලම ඉදිකළ නිසා මෙය “නෝනගේ අම්බලම” යනුවෙන් හඳුන්වන්නට ඇත.
  2. පවනැල්ල ගමේ අලි ඇතුන් ගමන් ගන්නා මාර්ගයක හෙවත් ගජමංසලක ඉදි කළ අම්බලම ගජමංසල අම්බලම නම් විය.
  3. සිරි පා වන්දනා සමයේදී ගජමන් නෝනා කිවිඳිය, භික්‍ෂූන් වහන්සේ නමක් සමග සමහන් සුවය විඳීමට මෙම නෝනගේ අම්බලමට මාසයකට වතාවක් දෙකක් පැමිණීම එකල ප්‍රසිද්ධ රහසක් විය. මේ නිසා ඇයට උපහාස කිරීම් වස්, මෙම අම්බලමට ගජමන් නෝනගේ අම්බලම යනුවෙන් ප්‍රදේශවාසීන් නම් තබන්නට ඇතැයි උපකල්පනය කළ හැකිය.
  4. ජීවත්වීමට හරි හපන් ආදායමක් නොතිබූ හෙවත් එදිනෙදා ආහාර වේලක් සරිකර ගැනීමට නොහැකි වූ ඇයට මෙතරම් සුවිශාල ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට තරම් වත්කමක් තිබුණේදැයි විමසීම බුද්ධිමත් ඔබගේ කාර්යය වනු ඇත. ජීවිතයේ අවසාන භාගය වනවිට බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් ජීවිතයට ලැබෙන දුක සැප නින්දා ප්‍රශංසා එක සේ විඳ දරා ගත් ගජමන් නෝනා නම් වූ මෙම කාන්තාව, ක්‍රි: ව: 1814 දෙසැම්බර් මස 15 වැනි දින සිය ගෙල කපා ගෙන මියගිය බව කියති.

මෙම ලිපියේ ඉහළින්ම ඇති අම්බලමේ ඡායාරූපය උපුටා ගත්තේ, Thuppahi’s Blog අඩවියට Keith Bennet විසින් සපයන ලද Wayside Shelters for Travellers in Sihaladipa in Past Times නැමති ලිපියට අනුබද්ධ කළ ඡායාරූපයකින් ය.

ආශ්‍රිත ලේඛන

  1. සිරි පා සිරි විදෙස් ඇසින් – (රත්නපුරය-ඈත සියවස සහ තවත් කතා -7) එච්. එම්. ජයන්ත විජේරත්න (සරසවි ප්‍රකාශකයෝ, 1/3- ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ) 2023
  2. රත්නපුර දිස්ත්‍රික්කයේ වලව් පෙළපත් කිහිපයක් – (රත්නපුරය-ඈත සියවස සහ තවත් කතා -5) එච්. එම්. ජයන්ත විජේරත්න (සරසවි ප්‍රකාශකයෝ, 1/3- ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ) 2019
  3. ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු – එච්.ඒ.ජේ. හුළුගල්ල / අනුවාදක, සී.ඒ. විජේසේකර (සරසවි ප්‍රකාශකයෝ, 30-ස්ටැන්ලි තිලකරත්න මාවත, නුගේගොඩ) 2012

විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි,
රත්නපුර එච්. එම්. ජයන්ත විජේරත්න
ඓතිහාසික ලේඛන ඇසුරෙන්

advertistmentadvertistment
advertistmentadvertistment