ග්‍රහ මාරුවට පොදු ඵලාපල කියන්න එපා

4100

සියලුම ග්‍රහයින් නිරන්තර ගමනක යෙදී සිටී. අප භාවිත කරන කේන්දරයේ රාශි 12 කි. එම රාශි 12 තුළ ග්‍රහයින් ගමන් කරයි. එම ගමන ග්‍රහයන්ගේ ගෝචරය ලෙස හඳුන්වයි. ගෝචරයෙන් එක් එක් ග්‍රහයින් රාශියක් තුළ සිටින කාලසීමාව වෙනස් වේ. වැඩිම වේගයකින් රාශියක් මාරුකරන ග්‍රහයා වන්නේ සඳුය. සඳු දින 2 1/2 ක් තුළ රාශියක් මාරු කරයි. සඳුට මුළු රාශි චක්‍රය තුළම ගෝචරයවීමට දින 30ක පමණ සුළු කාලයක් ගත වේ. නමුත් ඇතැම් ග්‍රහයින් ගෝචරයෙන් රාශියක් තුළට පැමිණි විට විශාල කාලයක් එම රාශිය තුළ ගත කරයි. සූර්යයාට බොහෝ ඈතින් සිටින නැප්චූන් වැනි ග්‍රහයෙක් රාශියක් තුළ අවුරුදු 14 ක පමණ කාලයක් සිටී. අනෙක් ග්‍රහයින් ගැන සැලකීමේදී රවි ග්‍රහයා ගෝචරයෙන් රාශියකට පැමිණි විට එම රාශිය තුළ මාස 1 ක් ද, කුජ ග්‍රහයා මාස11/2ක්ද,බුධ ග්‍රහයා මාසයකට ආසන්න කාලයක් ද, ගුරු ග්‍රහයා අවුරුද්දක් ද, ශුක්‍ර ග්‍රහයා මාස1ක් ද, ශනි ග්‍රහයා අවුරුදු 21/2ක් ද, රාහු හා කේතු ග්‍රහයින් අවුරුදු 11/2ක් ද, යුරේනස් ග්‍රහයා අවුරුදු 7ක් ද ලෙස රාශියක සිටී.

ග්‍රහයෙකුට ගෝචරයෙන් මුළු රාශි චක්‍රයම ගෙවා දැමීමට යන කාලය ද වෙන වෙනම ජ්‍යොතිෂයේ සඳහන්ය. රවි ග්‍රහයාට මුළු රාශි චක්‍රයම ගෙවා දැමීමට එනම් රාශි 12 ම මාරුවීමට අවුරුද්දක කාලයක් ගත වේ. එමෙන්ම කුජට අවුරුදු 11/2ක් ද, බුධට අවුරුදු 1ක් ද, ගුරුට අවුරුදු 12ක් ද, ශුක්‍රට අවුරුදු 1ක් ද, ශනිට අවු.30ක් ද, රාහුට අවුරුදු 18ක් ද, කේතුට අවුරුදු18ක් ද, යුරේනස්ට අවුරුදු 84ක් ද, නැප්චූන්ට අවුරුදු 168ක් ගත වේ.

ග්‍රහ මාරුවට පොදු ඵලාපල කියන්න එපා

ග්‍රහයෙකු ගෝචරයෙන් එක් රාශියක් අතහැර අනෙක් රාශියට මාරුවීම ග්‍රහ මාරුව ලෙස හඳුන්වයි. ග්‍රහ මාරු ජ්‍යොතිෂය දන්නා අය මෙන්ම ජ්‍යොතිෂය නොදන්නා නමුත් ජ්‍යොතිෂයට ඇලුම් කරන බොහෝ දෙනා සැලකිලිමත් වන, කතා බහ කරන කරුණකි. සිදුවූ ග්‍රහ මාරුව තමාට මෙන්ම තමාගේ ලග්නයට සුබ වේද, අශුභ වේද යන්න සැවොම විමසන කරුණකි. නමුත් ග්‍රහ මාරුවේ සුබ අශුභ සම්බන්ධව මිනිසුන් තුළ දැනුම ඉතා අල්ප බව ග්‍රහ මාරුවක් සිදු වූ සෑමවිටම ඔවුන්ගේ ක්‍රියා කලාපය තුළින් පිළිබිඹු වේ.

ග්‍රහ මාරු සැලකීමේදී ජන්මීන් වඩා උනන්දු වන්නේ ශනි මාරුව, රාහු මාරුව, ගුරු මාරුව වැනි රාශියක් තුළ වැඩි දින ගණනක් ගත කරන ග්‍රහයන් සම්බන්ධවය. නමුත් සමහර කාලවල රවි මාරුව, කුජ මාරුව, බුධ මාරුව වැනි කෙටි කාලයක් රාශියක් තුළ සිටින ග්‍රහයන්ගේ ග්‍රහ මාරු සම්බන්ධව ද කථිකා ඇති වේ.

කෙටි කාලයක් රාශියක් තුළ සිටින ග්‍රහයෙකුගේ මෙන්ම දිගු කාලයක් රාශියක් තුළ සිටින ග්‍රහයෙකුගේ වුව ද ග්‍රහ මාරුවක් විමසිය යුත්තේ එකම ආකාරයටය.

ග්‍රහ මාරුවක් සිදු වූ විට ලග්නවලට පොදු ඵලාපල බහුලව දැකිය හැක. නමුත් එම පොදු ඵලාපල කොතෙක් දුරට එම ලග්නවලට සාර්ථක වේද යන්න මා හට නම් විශාල ප්‍රශ්නයකි. උදාහරණයක් ලෙස මා මෙසේ පැවසීමට කැමැත්තෙමි. කෝටි 2 1/2කට අධික ජනගහනයක් වසන ලංකාව තුළ කන්‍යා ලග්න හිමියන් කොතෙක් සිටී ද. ඉහළ කෝටිපතියාගේ සිට අන්ත දිළිඳු සිඟමන් යදින යාචකයා දක්වා කන්‍යා ලග්න හිමියන් සිටී. ඉහළම බුද්ධිමතාගේ සිට මන්දබුද්ධික තැනැත්තා දක්වා කන්‍යා ලග්න හිමියන් සිටී. මේ සියලුම කන්‍යා ලග්න හිමියන්ට සිදුවනුයේ එකම සිදුවීම්ද? ග්‍රහ මාරුව කන්‍යා ලග්නයට සුබ යැයි කියා තිබුණහොත් ඉහත කී කන්‍යා ලග්න සියලු දෙනාට සුබ ඵල හිමි වේද? මා මේ පැවසුවේ ලග්න 12 න් කන්‍යා ලග්නය ගැන පමණි. අනෙක් ලග්න ගැන ද මෙසේමය. එනිසා පොදු පලාඵල ලිවීම, කීම ජ්‍යොතිෂයට ආදරය කරන ගෞරවය කරන කිසිවකු නොකළ යුතු ක්‍රියාවකි. පොදු ඵලාපලය නිසා සිදුවනුයේ ජ්‍යොතිෂයට ආසා කරන ජ්‍යොතිෂය විශ්වාස කරන එක් අයෙකු හෝ ජ්‍යොතිෂය මුසාවක් යැයි පවසා ඉන් ඉවත්වීමයි. දිනෙන් දින සාමාන්‍ය ජනතාවට ජ්‍යොතිෂය පිළිබඳ තිබෙන විශ්වාසය බිඳ වැටීමයි. මෙතරම් සත්‍ය, තර්කානුකූල, තුන්කල් දැකිය හැකි මෙම උතුම් විෂය කිසි පදනමක් නැති විශ්වාස කළ නොහැකි විෂයක් බවට පත්වීමයි.

ග්‍රහ මාරුව සිදුවූවිට මුලින්ම අදාළ ජන්මියාට එම ග්‍රහ මාරුව සුබ ද, අශුභ ද යන්න බැලිය යුතුයි. එහිදී ජන්ම රාශියේ සිට නිත්‍ය රාශියට ගණන් කර එය කුමන මුහුර්තයකට වැටේ ද යන්න බැලිය යුතුයි. ග්‍රහ මාරුවක් වැටෙන මුහුර්ත 4 කි. ස්වර්ණ මුහුර්තය, රජත මුහුර්තය, කාමු මුහුර්තය හා ලෝහ මුහුර්තයයි. මෙය සොයාගත් පසු උත්පත්ති භාව කේන්දරයේ එම ග්‍රහ මාරුව වූ ග්‍රහයා සිටින ආකාරය සොයා ගත යුතුයි. ග්‍රහයා සිටිනුයේ උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍රව ද එසේත් නැත්නම් සම සතුරු, සතුරු මුඪ, සම මුඪ, භංග නොවන නීචයකු ද කියාය.

එම කියූ කරුණු උදාහරණයක් මෙසේ පැහැදිලි කළ හැක.

යම් ජන්මියෙකුට සැප්තැම්බර් 17 දින සිදුවූ රවි මාරුව ස්වර්ණ මුහුර්තයට වැටුණා යැයි සිතමු. ස්වර්ණ මුහුර්තය ඉතාම ශුභ ඵල ලබාදෙන මුහුර්තයයි. නමුත් ස්වර්ණ මුහුර්තයට වැටුණ පමණින් රවි මාරුව 100%ක්ම සුබපල දේ දැයි සිතිය නොහැක.

ජන්මියාගේ භාව කේන්දරයේ රවි ග්‍රහයා උච්ච, ස්වක්‍ෂේත්‍ර, මුලය, මිත්‍ර, නීචභංග රාජ යෝග බලයෙන් සිටී නම් පමණක් එම රවි මාරුව 100% ඉතා සුබපල ලබාදේ. නමුත් ග්‍රහ මාරුව ස්වර්ණ මුහුර්තයට වැටුණ ද ග්‍රහයා සතුරු, සතුරු මුඪ සම, සම මුඪ, භංග නොවන නීචයක සිටී නම් ග්‍රහ මාරුවේ සුබපල අවම කරයි.

තවදුරටත් පැහැදිලි කර ගැනීමට කේන්දර සටහනක් ආධාරයෙන් පැහැදිලි කරමු.

කන්‍යා ලග්න හිමියෙකුට 17වැනිදා සිදුවූ රවි මාරුව ස්වර්ණ මුහුර්තයට වැටුණා යැයි සිතමු.

මෙම කන්‍යා ලග්න හිමියාගේ උත්පත්ති රවි මිත්‍ර බලයෙන්ය. එමෙන්ම මෙම ජන්මියාගේ වැඩිම අංශක ගණනක් ගිය ආත්ම කාරක ග්‍රහයාද වේ. එනිසා උත්පත්ති රවි ඉතා ප්‍රභලය. රවි මාරුවද ස්වර්ණ මුහුර්තයට වැටුණේ නම් මෙම රවිගේ බලය හොඳින් ක්‍රියාත්මක වේ. එසේ ක්‍රියාත්මක වීමේදී උත්පත්ති රවි සිටින ස්ථානය හා රවි දෘෂ්ටි දෙන ස්ථානයන්ට අදාළ සුබ ඵල බහුල කරයි. රවි කන්‍යා රාශියේ සිටින මාසයක කාලය අදාළ ජන්මියාට ඉතා සුබ පල හිමි වේ. මෙම ජන්මියාගේ ගේදොර සැපසම්පත් හා මව පෙන්වන ස්ථානයේ රවි ප්‍රබලව සිටීම නිසා මෙම මාසයක කාලය ජන්මියාගේ ගේ දොර දියුණුව ඇතිවන අතර සැප සම්පත් භුක්ති විඳීමට ද අවස්ථා ලැබේ. එමෙන්ම තම මවට ද ඉතා සුබ කාලයකි. එමෙන්ම උත්පත්ති රවි ජන්ම පත්‍රයේ 6 වැන්නට, 10 වැන්නට හා ලග්නයට දෘෂ්ටි දීමෙන් මෙම මාසයක කාලය තුළ සතුරු කරදර ලෙඩ දුක් මෙම ජන්මියාට ඉතා අවම වන අතර තම සේවක සේවිකාවන් ද ඉතා විශ්වාසයෙන් වැඩකරන කාලයකි. එමෙන්ම රැකියා දියුණුව ඇති වන අතර ආත්ම ශක්තියෙන් අභිමානයෙන් යුතුව වැඩ කටයුතු කළ හැකි කාලයක් ද වේ.

එමෙන්ම ගෝචර රවි කන්‍යා ලග්න හිමියාගේ ලග්න භාවයේ සමව සිටිය ද ග්‍රහ මාරුව ඉතා සුබ ස්වර්ණ මුහුර්තියට වැටීම නිසා උත්පත්ති ප්‍රභල රවිගේ දෘෂ්ටියෙන් උද්දීපනය වූ භාවය ගෝචර රවිගෙන් ද තවත් උද්දීපනය වේ. එනිසා මානසික කරදරවලින් තොර අභිමානය පෙර දැරිව වැඩ කටයුතු කළ හැකි කාලයක් වේ. එමෙන්ම ගෝචර රවි ජන්ම පාත්‍රයේ 3 වැන්නට, 7 වැන්නට හා 10 වැන්නට දෘෂ්ටි දීම නිසා ජන්මියා සිදුකරන වික්‍රමය, හවුල් කටයුතු හා රැකියාවට ද මෙම රවි මාරුව සුබපල උදාකරයි. තම සහෝදරයන්ට ද සුබ කාලයකි.

නමුත් කන්‍යා ලග්න කේන්දරයකට උත්පත්ති රවි කුම්භ රාශියේ සිටී නම් ද, ග්‍රහ මාරුව කාමු හෝ ලෝහ යන ඉතා අශුභ මුහුර්තයකට වැටුණේ නම් ද මෙම ග්‍රහ මාරුව මෙම කන්‍යා ලග්න හිමියාට ඉතා අශුභව ක්‍රියා කරයි.

මෙම කන්‍යා ලග්න කේන්දරයේ උත්පත්ති රවි සතුරු මුඪව ඉතා දුබලව ඇත. රෝග හා සතුරු ස්ථානයේය. ග්‍රහ මාරුව ද ඉතා අශුභ මුහුර්තයට වැටුණ බැවින් මෙම කන්‍යා ලග්න ජන්මියාට මෙම මාසයක කාලය ඉතා පීඩාකාරීය. උත්පත්ති රවි ඉතා දුබලව 6 වැන්නේ බැවින් මෙම ජන්මියාට ලෙඩ දුක් සතුරු කරදර බහුල කරයි. එමෙන්ම එම දුබල රවි මෘත්‍යු ස්ථානයට දෘෂ්ටි දීම ද මෙම කාලය අපලකාරී තත්ත්වයක් ද පැන නඟී. එනිසා මෙම කාලය තුළ ජන්මියා බොහෝ පරිස්සරම් විය යුතුයි. මෙම රවි ජන්මියාගේ 22 වන දෙර්කාණාධිපති 64 නවාංශකාධිපති, අෂ්ටමාංශ ග්‍රහයා, නිදනාම්ශ ග්‍රහයා වුවහොත් මාරක තත්ත්වයක් ද පැන නැඟිය හැක. ප්‍රවේශම්ව කටයුතු නොකළහොත් මරණය වුවද ගෙන දිය හැක. එමෙන්ම උත්පත්ති දුබල රවි වාසස්ථානයට දෘෂ්ටි දේ. එයින් වැය පස වැඩි වේ.

ග්‍රහ මාරුවට පොදු ඵලාපල කියන්න එපා

ජ්‍යොතිෂවේදී, දේශබන්දු, ආචාර්ය මංජුලා පල්ලෙබැද්ද,
පානදුර.
දු. අංකය 0779-282653

advertistmentadvertistment
advertistmentadvertistment