ග්‍රාමනිලධාරි වර්ජනය සඳුදා තෙක් ඇදෙයි

1

සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමටත්, දීමනා වැඩි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබිය දී ඒවා මෙතෙක් ලබා නොදීමට විරෝධය පළ කරමින් දිවයින පුරා ග්‍රාම නිලධාරීන් ඊයේ ලෙඩ නිවාඩු දමා සේවයෙන් ඉවත්ව සිටීම සඳුදා තෙක් ක්‍රියාත්මක කරන බවත් විසඳුමක් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමය පවසයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් එම සංගමය විසින් ඊයේ (27 දා) ගාල්ලේ දී පවත්වන ලදි.

එහි දී සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා මෙසේ පැවසීය. “පරිපාලන නිලධාරීන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් එක රැයකින් ලබා දුන්නා. නමුත් අපට සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් දීමනා වැඩි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් තවම ක්‍රියාත්මක කර නැහැ. ඉදිරි අයවැයෙන් දෙනවා කියලා ආණ්ඩුව ප්‍රමාද කරනවා. මේක අසාධාරණයි. මේ කරන්නේ ග්‍රාම නිලධාරිවරු මුලා කිරීමක්. එනිසා අප ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටිනවා. නිසි විසඳුමක් නොලැබුණහොත් සඳුදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යනවා.”

සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරි සංගමයේ නියෝජ්‍ය සභාපති බී.එම්. තික්ෂණ මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

අහංගම සුගතපාල දීයගහගේ, වංචාවල ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment