දඹුල්ලේ එළවළු මිල 100%කින් නගී

99

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු ගණනාවක තොග මිල සියයට සියයකින් ඊයේ (30 දා) ඉහළ ගියේය.

පහතරට, උඩරට, වයඹ සහ යාපනය කලාපවලින් ලැබුණු එළවළු තොග සියයට පනහකින් පමණ පහළ ගිය බව ද දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක යූ. බී. ඒකනායක මහතා පැවැසීය.

එළවළු වර්ග 12ක තොග මිල කිලෝවකට රුපියල් 300 ඉක්මවා සහ එළවළු වර්ග 08 ක තොග මිල කිලෝවකට රුපියල් 200 ඉක්මවා අලෙවි කෙරිණි. දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු තොග සැපයෙන සියලුම එළවළු කලාපවලින් ලැබෙන තොග සැපයුම පහළ ගිය බවත් පැවැති වැසි එළවළු හානියට බලපා තිබෙන බවත් හෙතෙම පැවැසීය.

කිලෝවක තොග මිල රුපියල් 300 ඉක්මවා ගිය එළවළු අතර අමු මිරිස් (රු.850/-) මාළු මිරිස් (රු.600/-) ගෝවා (රු. 330/-) බෝංචි (රු.500/-) පහතරට කට්බීට් (රු. 330/-) තක්කාලි (රු.350/-) කරවිල (රු. 500/-) තුඹ කරවිල (රු. 700/-) වම්බටු (රු.320/-) ඇතුළු එළවළු වර්ග ගණනාවක් විය.

ලීක්ස් (රු.240), වැටකොළු (රු.280), පතෝල (රු.280), මෑ කරල් (රු.260), අළු කෙසෙල් (රු.250) ඇතුළු එළවළු වර්ග 08ක තොග මිල රුපියල් 200ත් 300ත් අතර මිලකට අලෙවි කෙරිණි.

ඊයේ දඹුල්ල තොග වෙළෙඳපොළට එළවළු කිලෝ ග්‍රෑම්ස් ලක්ෂ 08ක් පමණ ලැබී ඇත. දඹුල්ල තොග වෙළෙඳපොළින් දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට සහ ප්‍රධාන නගරවලට එළවළු තොග වෙළෙඳුන් විසින් ප්‍රවාහනය කරන ලද බව ඒකනායක මහතා පැවැසීය.

මාතලේ විශේෂ – නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment