ගිං ගඟ පිටාර ගැලීමෙන් පහත් බිම් රැසක් යටවේ

80

ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගඟ පිටාර ගැලීම නිසා ගිංගඟ ඉහළ නිම්නයේ හා පහළ නිම්නයේ පහත්බිම් ඇතුළු මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඊයේ (02දා) උදෑසන 9.00 වනවිට ගිංගඟේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මීටර් 4.22 දක්වා වැඩිවී ඇති අතර මේ වනවිට බද්දේගම ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ. එමෙන්ම ගිංගඟ ඉහළ නිම්නයේ තවලම ජල මාපකයේ ජල මට්ටම ඊයේ පෙරවරු 9.00 පමණ වන විට මීටර් 7.44 දක්වා වැඩි වී ඇත. ගිංගඟ ඉහත්තාවේ මහ ගංවතුර තත්ත්වයකට ආසන්න වෙමින් පවතින අතර ගිංගඟ ඉහත්තාවේ මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යටවී ඇත. ගිංගඟේ ජල මට්ටම ද වේගයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීම සඳහා එම ප්‍රදේශවලට බෝට්ටු හතරක් යොදවා ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන්ම පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉමදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඬුවන ඇළ පිටාර ගැලීමෙන් බැදිපිට පාසල් මාවත ජලයෙන් යටවී ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇත. මේ වන විටත් ඉමදූව ප්‍රදේශයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවත් ඉමදූවත් අතර කොටසේ අධිවේගී මාර්ගයට පහතින් දිවෙන උමං මාර්ග හතරක් ජලයෙන් යටවී ඇත. මේ හේතුවෙන් මෙම උමං මාර්ග හරහා ගමන් කරන ජනතාවට සහ රථවාහනවල ගමනාගමන කටයුතු සඳහා බාධා එල්ලවී තිබුණි.


ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment