ගිනි ගන්නට ගිය බැතිබර කතාවක්

853

ඉකුත් සිකුරාදා කුරුන්දි විහාරස්ථාන භූමියේදී ගින්දර සහ පුළුන් එකට එක ගෑවෙන්නට ගොස් යාන්තමින් එකිනෙකින් වෙන් වී තම තමන්ට හිමි ස්ථාන වෙත ගොස් තැන්පත් විය. මේ දෙක යළිත් කවර හෝ වේලාවක එකතු වීමට ඉඩ ඇති බැවින් වහාම ඇහැට නොපෙනෙන දුරකට ගෙන ගොස් දැමිය යුතු ය. එකට එකතු වීමට යන ගින්දර සහ පුළුන් දැමිය යුතු හොඳම ස්ථානය වන්නේ මහමුහුදයි. දියේ එබූ විට ගින්න නිවෙයි. දියේ දැමූ විට පුළුන් පොඟයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් කුරුන්දි විහාරස්ථානය සම්බන්ධයෙන් මාස කිහිපයක පටන් අවුල්සහගත තත්ත්වයක් පවතී. මේ අවුල ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පිහිටි අයෝධ්‍යා සිද්ධස්ථානයේ අවුල හා සමාන ය. හින්දු ජාතිකයන්ගේ මතයට අනුව රාම දෙවිඳුට කැපවුණු කෝවිලක් අයෝධ්‍යාවේ පිහිටා තිබේ. ඒ මදිවාට එම කෝවිල පිහිටි තැන රාම කුමාරයා ඉපදුනු බව ද ඔවුහු අදහති. එම සිද්ධස්ථානය රාම රාවණ යුද්ධය තරමට ම පැරණි බව හින්දු ආගමිකයන්ගේ අදහස වේ. එහෙත් උත්තර් ප්‍රදේශයේ වෙසෙන ඉස්ලාමීයයන්ගේ මතය වන්නේ අයෝධ්‍යා සිද්ධස්ථානය පිහිටි තැන බඩ්රි මස්ජිඩ් නමැති ඉස්ලාමීය පල්ලියක් පැවති බව ය. මේ නිසා මෙතැන දේශපාලනයක් හටගෙන තිබේ. හින්දු ජාතිකවාදී දේශපාලනඥයෝ රාම කෝවිලේ සම්භවය පිළිබඳ තර්කයට සපෝට් කරන අතර එය ඉස්ලාමයට එරෙහි ආයුධයක් ලෙස පාවිච්චි කරති. ඒ අතර ඉස්ලාමීය දේශපාලන කණ්ඩායම් බඩ්රි මස්ජිඩ් මතය අල්ලාගෙන නටන අතර ඒ නැටුමට අදාළ බෙර පදයෙන් ටිකක්වත් එහාට යෑමෙන් වැළකී සිටිති. මේ නිසා අයෝධ්‍යා භූමිය ආශ්‍රිතව හැමදාමත් ආගම්වාදී කෝළහාල පවතී. මීට අවුරුදු තිහකට පමණ පෙර මේ කෝළහාලය ඉතාම නරක තැනකට පත් වී විශාල පිරිසක් ඝාතනය වූහ. මිනිස්සු බලය ඉදිරියේදී ආගම ඉතා බොළඳ ලෙස පාවිච්චි කරති. ආගම යනු හිතේ තිබෙන දෙයක් මිස අතට අහුවෙන දෙයක් නොවේ. දෙවියන්ගේ ප්‍රතිමා අතින් ඇල්ලිය හැකි නමුත් සැබෑ දෙවියන් අතින් ඇල්ලීමට නොහැක. මේ ලෝකයේ සිටින ආගම්වාදී මැටි හරක් එය තේරුම් ගන්නේ නැත. මේ වන විට ඉන්දියාව සහ ලංකාව තුළ ආගම සහ ජාතිය යන සාධක දෙක තනිකරම පාවිච්චි වන්නේ දේශපාලන ආයුධ ලෙස ය. සිංහල ජාතිය සහ බුදු දහම වෙනුවෙන් කැප වන්නේ යැයි කියන දේශපාලන පක්‍ෂ පවා මේ රටේ තිබේ. එසේම හින්දු ආගම වෙනුවෙන් කැප වූ දේශපාලන පක්‍ෂ ඉන්දියාවේ තිබේ. දියුණු යුරෝපයේ කිසිදු රටක මෙවැනි ගොන් වැඩ කරනු නො ලැබේ. ආගම රැකෙන්නටත්, ජාතිය රැකෙන්නටත් මනුස්සයා පණපිටින් සිටිය යුතු ය. මනුස්සයා පණපිටින් තබන්නට බැරි අර්බුද එන විට දේශපාලනඥයෝ ආගම සහ ජාතිය නමැති සාධක දෙක දිගහැරගෙන යකා නටන්නට පටන් ගනිති. පසුගියදා කුරුන්දි පුද බිමේදී සිදු වූ සිද්ධිය ද ඒ හා සමානය. 18 වැනි සිකුරාදා හින්දු පූජකයන් පිරිසක් කුරුන්දි පුදබිම තුළ විශාල දානයක් සහ හින්දු ආගමික උත්සවයක් සංවිධානය කළහ. ඒ අතර ඊට සමගාමීව බෞද්ධ භික්‍ෂුන් වහන්සේ පිරිසක් දින තුනක අඛණ්ඩ පිරිත් සජ්ඣායනයක් ආරම්භ කළහ. භික්‍ෂුන් වහන්සේට සපෝට් කිරීමට දකුණින් සෑහෙන පිරිසක් කුරුන්දි වෙත ගියහ. ඒ අතර හින්දු දානමය ව්‍යාපාරයට සපෝට් කිරීම සඳහා එවැනිම පිරිසක් උතුරෙන් සහ නැගෙනහිරින් කුරුන්දි වෙත ගියහ. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා 400 ක පොලිස් පිරිසක් යොදවන ලදි.

කුරුන්දි විහාරය පිළිබඳ ප්‍රශ්නය කතු වැකියකින් සාකච්ඡා කිරීමට අප කල්පනා කරගෙන සිටියේ මීට මාස දෙක තුනකට පෙර සිටය. එහෙත් ‘දිවයින’ මේ වැඩේට අත දැමූ වහාම අප ජාතිවාදී ප්‍රශ්නයක් ඇතිකර ජාතිය හා ආගම විකුණාගෙන කෑමට උත්සාහ කරනු ඇතැයි ඇතැම් දේශප්‍රේමී කොටස් කියනවා ඇත. එය අලුත්ම බාල්දියක් විය හැකි බැවින් අපි කුරුන්දි මාතෘකාව මඟහරිමින් වී ප්‍රශ්නය, මිනී මැරුම්, පොහොර මිල, ජීවන වියදම, ආණ්ඩුවේ අඩුපාඩු, විපක්‍ෂයේ මී හරක් වැඩ යනාදිය ගැන සාකච්ඡා කරමින් සිටියෙමු. එහෙත් මීට දෙතුන් දිනකට පෙර සිදු වූ සිද්ධියත් සමඟම තවදුරටත් නිහඬව නොසිටිය යුතු තත්ත්වයක් අප ඉදිරිපිට උදාවිය. අප කුරුන්දි ගැන ලිවීමට අදහස් කළේ එබැවිනි. කුරුන්දි විහාර භූමිය පුරාවිiාත්මක භූමියක් ලෙස 1933 මැයි 12 වැනිදා ගැසට් නිවේදයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදි. මේ ගැසට් එක පිට කළේ එවකට මේ රට පාලනය කළ බි්‍රතාන්‍ය ආණ්ඩුවයි. කුරුන්දි ප්‍රදේශය සාරවත් කුඹුරු, පශු සම්පත් සහ වැව්වලින් සමන්විතව තිබිණ. මේ ගමේ දෙමළ පවුල් 30 ක් ජීවත් වූහ. 1983 දී මහා බ්‍රහ්මයා විසින් ප්‍රභාකරන් යාපනයට දැමීමත් සමඟම පටන් ගත් යුද්ධය නිසා පෙර කී පවුල් 30 කුරුන්දි අතහැර අනාථ කඳවුරුවලට ගියහ. යුද්ධය නිමා වීමෙන් පසු එනම් 2013 දී දෙමළ ගොවි පවුල් කිහිපයක් පැමිණ මේ බිමේ පදිංචි වී අක්කර 15 ක පමණ වගා කළහ. එවිට මේ අක්කර 15 පුරාවිiාත්මක භූමියක් බව පුරාවිiාත්මක දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහෙත් තමන් වගා කළ අක්කර 15 අත්හැරීමට දෙමළ ගොවි පිරිස අකැමැති වූහ. කුරුන්දි විහාරය සහ ඒ අවට භූමිය පිළිබඳ ආරවුල් සහගත තත්ත්වයක් පටන් ගන්නේ එතැන් සිට ය. කුරුන්දි භූමිය තුළ ස්තූපයක් පවතී. මෙය යම් ප්‍රමාණයකට ඉන්දියානු විහාර නිර්මාණ ශිල්පයට අනුව කරන ලද්දකි. ඉහත සඳහන් ස්තූපය නිසා එම ස්ථානයේ හින්දු පූජනීය ඉදිකිරීමක් කිරීමට ඇතැම් හින්දු කණ්ඩායම්වලට අවශ්‍යව තිබේ. ඒ නිසා කුරුන්දි ප්‍රශ්නය දැනට තිබෙන සාමාන්‍ය කරදරවලට අමතර තවත් ප්‍රශ්නයක් බවට පත් වී තිබේ.

මහා වංශයට අනුව ක්‍රි. පූ. 109/104 කාලය තුළදී කුරුන්දි විහාර භූමියේදී විශාල බෞද්ධ විහාරාරාමයක් ඉදිකර තිබිණ. මෙය කර ඇත්තේ කල්ලතනාග රජු විසිනි. පසු කාලයේදී අග්‍රබෝධි රජතුමාත්, පළමුවන විජයබාහු රජතුමාත් මේ විහාරයට විශාල වශයෙන් ආධාර කළ බව දැන ගන්නට තිබේ. ඒ සමඟම කුරුන්දි භූමියෙහි නටබුන් විශාල ප්‍රමාණයක් ද තිබෙන බව දැන ගන්නට ඇත. එතැන් සිට කතාවේ ඉතිරි කොටස පිළිබඳ තීරණයක් ගැනීම සිංහල සහ දෙමළ බැතිමතුන්ට බාරය.

advertistmentadvertistment
advertistmentadvertistment