ගොඩ යන්නත් ගොඩ කරන්නත් හදන ඡන්ද සමීක්ෂණ

262

2024 ජනාධිපතිවරණය ඉලක්ක කරගත් සමීක්ෂණ සිදු කිරීම ආරම්භ වන්නේ 2021 සිට. ඒ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (Institute for Health Policy – IHP) මාසිකව සමීක්ෂණයක් සිදු කිරීමට ආරම්භ කිරීමත් එක්ක. 2024 ජනාධිපතිවරණය අදාළව, බහුලව කතාබහට ලක් වූ සමීක්ෂණ වාර්තාවත් මෙයයි. සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය මාසිකව පිරිසක් සමග ජංගම දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා පවත්වා SLOT නම් මෙම සමීක්ෂණය කරනවා. වෛද්‍ය රවී රන්නන්-එළිය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අධ්‍යක්ෂවරයා වගේම SLOT සමීක්ෂණයේත් ප්‍රධානියා. පහුගිය මාස කිහිපයක ඔවුන් කළ සමීක්ෂණ ප්‍රතිපල මාධ්‍ය වෙතත් ඉදිරිපත් කළා. ප්‍රධාන වශයෙන් මෙම ආයතනය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කටයුතු කළත් දැනට පිළිගත් වෙනත් ආයතනයකින් සිදුකළ සමීක්ෂණයක් තවමත් නොමැති නිසා දේශීය මෙන්ම ද හින්ද් වැනි විදේශීය මාධ්‍ය ආයතන පවා ඔවුන්ගේ සමීක්ෂණය උපුටා දක්වා තිබුණා.

IHP ආයතනය අවසන් වරට 2024 මැයි 30 වැනි දින වාර්තාවක් නිකුත් කළා. ඒ අප්‍රේල් මාසය සඳහා වන සමීක්ෂණ වාර්තාව. අප්‍රේල් මාසයේ භාවිත කළ නියැදිය පුද්ගලයින් 444ක්. එහි ප්‍රතිපලය අනුව 39% බැගින් අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ලබා ගනු ඇති. නමුත් සමීක්ෂණය ආරම්භයේ සිට අප්‍රේල් දක්වා අනුර දිසානයකට වැඩි ප්‍රසාදයක් තිබූ බවටයි IHP නිවේදනය කළේ. පළමුවරට සජිත් ප්‍රේමදාසට සම ස්ථානය මෙවර හිමිව තිබෙනවා. මාසික වාර්තාවට අමතරව 2021 සිට මෙතෙක් කළ සමීක්ෂණ සමස්තයක් ලෙස ගණනය කර අවසන් ප්‍රතිපලයක් ද IHP ඉදිරිපත් කරයි. කෙසේ නමුත් IHP ආයතනයේ සමීක්ෂණය පිළිගත හැකි ද යන සංවාදය විද්වතුන් අතර පැන නැගී තිබෙනවා.

සමීක්‍ෂණ ප්‍රතිඵල කණපිට පෙරලූ සැබෑ ඡන්ද ප්‍රතිඵල

1920 දශකයේ ඇමරිකාවේ ගැලප් පෝල්ස් (Gallup Polls) ආයතනය කළ සමීක්ෂණ ජනප්‍රිය වීමත් සමගයි ජනමත විමසුම් ප්‍රචලිත වන්නේ. 1936 ඇමරිකානු ජනාධිපතිවරණය, බරපතල ලෙස ජනමත සමීක්ෂණ අවභාවිත කළ අවස්ථාවක් හැටියටයි ඉතිහාසය දැක්වෙන්නේ. ඒ සුප්‍රසිද්ධ ඩයිජස්ට් සඟරාව රටපුරා සමීක්ෂණයක් කර අපේක්ෂක අල්ෆ් ලොන්ඩන් ජයගනු ඇතැයි කළ පුරෝකථනය පරදා විශාල පරතරයකින් ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් ජනාධිපතිවරණය ජයගැනීමත් එක්ක. එතැන් සිට අඛණ්ඩව ඇමරිකානු මැතිවරණ මත විමසුම් අවභාවිත වුණා. විශේෂයෙන් 2016 ඇමරිකානු ජනාධිපතිවරණය බහුලව කතාබහට ලක් වුණා. මොක ද සමීක්ෂණ වාර්තා බහුතරයක් කිව්වේ හිලරි ක්ලින්ටන්ට පැහැදිලි බහුතරයකින් ජයග්‍රහණයක් ලැබෙනවා කියලා, ඒත් මැතිවරණය ජයගත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්. BREXIT ජනමත විචාරණයට පෙර බ්‍රිතාන්‍යයේ YouGov නම් ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතනය කළ මත විමසුම්වලින් 50%ත් 56%ත් අතර ප්‍රතිශතයක් බ්‍රිතාන්‍යය යුරෝපා හවුලේ රැඳී සිටීමට ඡන්දය දෙනු ඇතැයි කීවත් සත්‍ය ප්‍රතිපලයට සැලකිය යුතු පරතරයකින් පරස්පරතාවක් පෙන්නුම් කළා. ඉකුත් දා අවසන් වූ ඉන්දීය මහ මැතිවරණය පිළිබඳ මත විමසුම් කිහිපයක්ම කිව්වේ 60% සිට 70% දක්වා අතිබහුතර බලයක් මෝදිට හිමිවන බවක්. එහෙත් 54.2% දක්වා මෝදිගේ ඡන්ද බලය පල්ලම් බැසීමෙන් ජනමත විමසුම්වල වලංගුතාව නැවතත් අභියෝගයට ලක් වෙනවා.

මත විමසුම් සමීක්ෂණ විවිධ කණ්ඩායම් අවභාවිත කරන නිසාම කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, බල්ගේරියාව ආදි රටවල් මැතිවරණයට දින 20 සිට 7 දක්වා කාලය තුළ ජනමත සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම සීමා කර තිබෙනවා. බ්‍රසීලයේ ජනමත සමීක්ෂණ සිදුකිරීමට බලය ලැබෙන්නේ ජනමත සිදු කිරීමට ලියාපදිංචි ආයතනවලට පමණි. රුසියාවේ සමීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරීමට දින පහකට පෙර ලියාපදිංචි කළ යුතුයි. හුදෙක් සීමා පැනවීම පමණක් නොව සමීක්ෂණය සිදු කළ ක්‍රමවේදය, භාවිත කළ නියැදිය, සමීක්ෂණය සිදු කළ කාල පරාසය, සමීක්ෂණය සිදු කළ ආයතනය හා සමීක්ෂණය සඳහා ආධාර ලැබුණු ආකාරය සමීක්ෂණ වාර්තාව හෙළි කළ යුතු බව එකී ඇතැම් රටවල නීතියක්.

මේ වෙද්දි ජනමත සමීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ මාලාවක් World Association for Public Opinion Research (WAPOR) හඳුන්වා දී තිබෙන්නේ ජනමත සමීක්ෂණයන්ගේ වලංගුභාවය (Validity) හා විශ්වසනීයත්වය (Reliability) පිළිබඳ ගැටලු සඳහා විසඳුමක් හැටියට. එහෙත් එවැනි නීතිමය රාමුවකට හෝ මාර්ගෝපදේශ මාලාවකට අවතීර්ණ වීමේ සූදානමක් ලංකාව සමීක්ෂණ ආයතනයන්ට නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ.

ප්‍රායෝගික නොවන සමීක්‍ෂණ

IHP ආයතනයේ අප්‍රේල් මස සමීක්ෂණයට යොදාගත් 444ක නියැදිය 2023 වසරේ සමස්ත ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් නියෝජනය කරන්නේ 0.0025ක් පමණි. එය මිලියන 17 නිරූපණය කිරීමට කිසිසේත් ප්‍රමාණවත් නියැදියක් නොවේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම IHP සමීක්ෂණය මුළුමනින්ම බැහැර කළ යුත්තක් බව පෙන්වා දෙන්නේ විද්‍යාත්මක නියැදියක් වෙනුවට IHP ආයතනයේ සායනික ප්‍රතිකාර සඳහා සහභාගි වූවන්ගෙන් තොරතුරු ලබාගෙන ඇතැයි පෙන්වා දෙමිනි. ‘ඔබ කාටද ඡන්දය ලබා දෙන්නේ’ යන ප්‍රශ්නය අහන්නේ වෛද්‍යවරයා එනතුරු පෝලිමේ සිටින රෝගීන්ගෙන්. එතනදි ප්‍රායෝගිකව එම රෝගියා ලබාදෙන පිළිතුර කිසිම විදිහකින් ධනාත්මක වෙන්නේ නැහැ. ඒ නිසාම මෙහිදී භාවිතයට ගෙන ඇති ක්‍රමවේදය, නියැදි සංඛ්‍යා නිවැරදි නැහැ.” සායනවල පෝලිමේ සිටි පිරිස් නියැදිය ලෙස යොදාගත් බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කරන වෛද්‍ය රවී පැහැදිලි කළේ පළමු අදියරේ හෝටල්, පන්සල්, පාසල් වගේම මහජන සෞඛ්‍ය සායන ආදි ක්ෂේත්‍ර විද්‍යාත්මක ක්‍රමයකින් පර්යේෂණය සඳහා යොදාගැනීමට කටයුතු කළ බවයි.

IHP ආයතනයේ සමීක්ෂණයට සහභාගි කරගත් දත්ත දායකයන්ගේ සමාජ ආර්ථික හරස්කඩ නියෝජනයත් අපැහැදිලියි. සහභාගී කරගත් දත්ත දායකයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය, අයත් වන දිස්ත්‍රික්කය, වයස් මට්ටම ආදි Demographic දත්ත කිසිවක් ඉදිරිපත් කර නැත. WAPOR හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ අනුව සමීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන විට ඒ සඳහා සහභාගි කරගත් ජනගහනයේ Demographic තොරතුරු ඉදිරිපත් කළ යුතුයි. නමුදු IHP සමීක්ෂණයට අදාළව කිසිදු Demographic තොරතුරු ඉදිරිපත් කර නෑ. සමීක්ෂණ වාර්තාවේ වැඩි විස්තර සඳහා ඔවුන් සම්බන්ධ කරගන්නා ලෙස පවසා තිබුණු හෙයින් විද්‍යුත් තැපෑලකින් එම තොරතුරු ඉල්ලා සිටියත් පිළිතුරු දුන් වෛද්‍ය රවි රන්නන් මහතා Demographic විස්තර පිළිබඳව නිශ්චිතව තොරතුරු ඉදිරිපත් නොකළේ ය. වෛද්‍ය රවී කියා සිටින්නේ දුරකතන සංවාද, වයස හා ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය නියෝජනය නොකරන අන්දම සමීක්ෂණ පදනම් කරගත් පර්යේෂණ ලිපියේ සඳහන් කොට ඇති බවත් නියැදිය ජාතික ජනගහනයට සමාපත කිරීමට උත්සහ ගෙන ඇති බවත් ය.

සමීක්ෂණයකින් සැබෑ ලෙසම මැතිවරණයක් ජයගන්නා පාර්ශ්වය හඳුනාගත නොහැකි බවයි විද්වත් මතය. ශ්‍රී ලංකාවේ පවතින සංස්කෘතික සාධක නිසා තම ඡන්දය පිළිබඳව කිසිවකුට අනාවරණය නොකර පෞද්ගලික කාරණයක් ලෙසම තබා ගන්නා බවට ආචාර්ය උයන්ගොඩ පවසයි. එම ස්ථාවරයට එකඟවන ආචාර්ය ප්‍රදීප් පීරිස් පවසන්නේ “විද්‍යාත්මකව ගත්තොත් ජනමත සමීක්ෂණයකින් කියන්න බෑ මොන පක්ෂය ද දිනන්නේ කියල. ලංකාවේ වගේ රටක කොහොමත් කියන්න බෑ.” ආචාර්ය ප්‍රදීප් පීරිස් World Association for Public Opinion Research (WAPOR) හි ශ්‍රී ලංකා නියෝජිතයා. ලංකාවේ ජනමත සමීක්ෂණ කර්මාන්තය නොදියුණු තැනක තිබීම ගැනත් WAPOR මාර්ගෝපදේශ පිළිපදින කණ්ඩායමක් ලංකාවේ නැති වීම ගැනත් ආචාර්යවරයා කනගාටු වෙයි. “ජනමත සමීක්ෂණ කරන අයගේ උනන්දුව තමයි Push Poll ආකාරයට ඡන්දයට කලින් කිසියම් කණ්ඩායමක් දිනනවා කියල සමීක්ෂණයකින් කිව්වට පස්සේ එකෙන් Bandwagon Effect එකට අනුව ‘යන පැත්තට හෝයියා’ කියල ඉන්න කට්ටිය ඒ කියන කණ්ඩායම නියෝජනය කරන්න යොමු කිරීම.” ජනමත සමීක්ෂණය මැතිවරණ ප්‍රචාරණයේ එක් සංඛ්‍යා විද්‍යාත්මක සෙල්ලමක් හැටියටත් ආචාර්යවරයා දකී.

සමීක්ෂණයක් සඳහා භාවිත කරන ප්‍රශ්නාවලිය වැදගත් වන්නේ එය සමස්ත සමීක්ෂණයේ වලංගුභාවයට (Validity) තීරණාත්මක සාධකයක් බැවින්. මොකද ප්‍රශ්නාවලිය සමබර නොවුණ විටෙක ලැබෙන ප්‍රතිචාර පාර්ශ්වීය වීමේ ඉඩකඩ වැඩී. දත්ත දායකයා වෙත යොමු කරන ප්‍රශ්නයේ යම් සීමාවක් තිබෙන විටෙක ඔහුගේ පිළිතුර එක් පසකට යොමු වේ.

එමෙන් ම ප්‍රශ්නය හෝ ප්‍රශ්නාවලිය ඉදිරිපත් කරන තැනැත්තා අනුව ද ලැබෙන ප්‍රතිචාරය වෙනස්. ප්‍රසිද්ධියේ කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ තැනැත්තෙක් ප්‍රශ්නාවලියක් යොමුකරන විට ප්‍රතිචාරය ලැබෙන්නේ ඔහු නියෝජනය කරන පක්ෂයට වාසිදායක ලෙස. එනිසා ප්‍රශ්නයත් ප්‍රශ්නය ඉදිරිපත් කරන්නාත් සමබර විය යුතුයි. ඉතින් ජනමත සමීක්ෂණ වාර්තාවක් සමග ඒ සඳහා යොමු කළ ප්‍රශ්නය/ප්‍රශ්නාවලිය ද ඉදිරිපත් කළ යුතු බව WAPOR මාර්ගෝපදේශය නිර්දේශ කරයි. එහෙත් IHP සමීක්ෂණය එම අවශ්‍යතාව සපිරීමට කටයුතු කර නොතිබීමත් තවදුරටත් එම සමීක්ෂණයේ විශ්වසනීයත්වය හීන කරයි.

වෛද්‍ය රවී කියා සිටින්නේ ඔවුන්ගේ පර්යේෂණය ජාත්‍යන්තර විමර්ශිත සඟරාවල පවා පළ වී ඇති බවයි. එමෙන්ම ඔවුන්ගේ පර්යේෂණයට අදාළ ප්‍රශ්නාවලිය පිළිගත් කමිටු හතරකින් අනුමැතිය ලද බවයි. “මීට පෙර ලංකාවේ කළ කිසිම සමීක්ෂණයක් මේ තරම් ස්වාධීන ආචාරධර්ම විමසුමකට ලක් නොවුණ බව ස්ථිරවම කියන්න පුළුවන්.”

සමීක්‍ෂණවලින් ජනතාව අපහසුතාවට

මැතිවරණය පිළිබඳ කෙරෙන ජනමත සමීක්ෂණ සඳහා ප්‍රශ්න කිරීමේ දී ප්‍රවේශම් විය යුතු ආකාරය මහාචාර්ය උයන්ගොඩ විග්‍රහ කළේ ය. “සමහර මාධ්‍ය ගත්තහම, රූපවාහිනිය එහෙම කැමරා අරන් ගිහින් ප්‍රශ්න අහනවා ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා. ඒක නිවැරදි ප්‍රවේශයක් නෙමේ. ඡන්දෙ දෙන්නේ කාට ද කියන කරුණ දේශපාලන සංස්කෘතිය තුළ අතිශය පෞද්ගලික කාරණාවක් කියලයි ලාංකික පුරවැසියන් හිතන්නේ. ප්‍රශ්නය අහලා බල කරද්දී බොරුවක් කියන්නත් පුළුවන්. ඒ නිසා තමයි සංවේදී දේශපාලන ප්‍රශ්න ගැන මහජන මතය විමසන්න අපි පරිස්සම් වෙන්න ඕනේ, ඍජුව ප්‍රශ්න අහනවාද වක්‍රව ප්‍රශ්න අහනවාද කියලා.

එමෙන් ම මැතිවරණයේ දී ඡන්දය නොදී සිටීමට තීරණය කළ පිරිස් ද, ඡන්දය දෙන්නේ කාට දැයි අනාවරණය කිරීමට අකැමැති පිරිස් ද සිටිය හැකිය. නමුත් IHP ආයතනයේ සමීක්ෂණය තුළ එවැනි පිළිතුරු ලැබුණු බවක් සඳහන් නොවේ. එමෙන් ම සමීක්ෂණය සඳහා අනුර දිසානායක, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ සහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයා යන අපේක්ෂක වරණය 4ක් පමණි. මෙම අපේක්ෂකයන්ට අමතරව වෙනත් අපේක්ෂකයෙකුට ඡන්දය දීමට සැලසුම් කර ඇති ඡන්දදායකයන්ට කිසිදු වරණයක් ප්‍රශ්නාවලිය තුළ ඉදිරිපත් නොවීම මෙම සමීක්ෂණයේ තවත් දුර්වලකමකි.

ගොඩ යන්නත් ගොඩ කරන්නත් හදන ඡන්ද සමීක්ෂණ

WAPOR මාර්ගෝපදේශය පෙන්වා දෙන්නේ සමීක්ෂණ ප්‍රතිඵලය සමග පර්යේෂණ ක්‍රමවේදය පැහැදිලිව විස්තර කළ යුතු බවයි. IHP සමීක්ෂණයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන වෛද්‍ය රවී රන්නන්-එළිය මහතාගෙන් ඔවුන් භාවිත කළ සමීක්ෂණ ක්‍රමවේදය දුර්ලභ ක්‍රමවේදයක් යැයි නැගෙන චෝදනාව සම්බන්ධයෙන් විමසීමක් කළෙමු. “අපේ ප්‍රධාන වාර්තාව, පිළිගත් සමීක්ෂණ ක්‍රම පාවිච්චි කර තිබෙනවා. ඡන්දය දීමේ කැමැත්ත පිළිබඳව ප්‍රතිඵල ප්‍රකාශ කර තිබෙන සමීක්ෂණයට පිළිගත් සමීක්ෂණ ක්‍රමයක් අපි භාවිත කරන්නෙ නෑ. ඒ වෙනුවට අපි පාවිච්චි කරන්නේ බහු මට්ටමේ ප්‍රතිගමනය සහ පශ්චාත් ස්ථරීකරණය Multilevel Regression and Post- Stratification (MRP) නම් ක්‍රමයක්. ඒක YouGov බහුලව භාවිත කරන ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය විද්වතුන් දියුණු කළ ක්‍රමයක්. එනිසා ඡන්දය දීමේ අභිප්‍රාය පිළිබඳ ප්‍රතිඵල ආදර්ශ පදනම් වූ ඇස්තමේන්තුවක්.”

ජනමත විමසුම් වැනි සංවේද කරුණු සමග ගනුදෙනු කිරීමට පුහුණු දත්ත රැස්කරන්නන් යොදාගත යුත්තේ එතුළින් ඇති විය හැකි පක්ෂපාතීත්වයන් අවම කිරීමටයි. ජාතික වශයෙන් සිදු කරන සමීක්ෂණවලදී රැස්කරගනු ලබන දත්තවල සත්‍යතාවයේ බරපතල ගැටලු පවතින බවට ක්ෂේත්‍රය (Industry) කියා සිටියි. මෙරට ප්‍රමුඛ පෙළේ පර්යේෂණ ආයතනයක සේවය කළ සිය අනන්‍යතාව අනාවරණය කිරීමට අකමැති පර්යේෂිකාවක් කියා සිටියේ දත්ත රැස්කරන්නන් ප්‍රශ්නාවලි කිහිපයක් පුරවන විට හඳුනගන්නා රටාව අනුව සෙසු සියලු ප්‍රශ්නාවලි පිරවීම බහුලව සිදුකරන වරදක් බවයි. මහාචාර්ය ආනන්ද සිය අත්දැකීමන් බෙදාගනිමින් පර්යේෂණ ආයතන ලාභය වැඩි කරගැනීමට අඩු පිරිවැයකින් පර්යේෂණ අවසන් කිරීම සඳහා දුරකතන සාකච්ඡා, ගූගල් ෆෙම් වැනි කෙටි ක්‍රම පාවිච්චි කිරීම හේතුවෙන් දත්ත විකෘති වන බව කියා සිටියි. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ජනමත විමසුමක් සිදුකළ ආයතනයක් එහි ප්‍රතිඵලය ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කළේ විශ්වවිද්‍යාලවලින් සහභාගී කරගත් දත්තරැස්කරන්නන් රැස්කළ දත්ත විශ්වාස කළ නොහැකි මට්ටමක යථාර්ථවාදි නොවන දත්ත ලෙස පෙනුණු බැවින් යැයි එම සමීක්ෂණ කාර්ය හා සම්බන්ධ තරුණ සමාජ ක්‍රියාකාරිකයකු වන මහීල් බණ්ඩාර පෙන්වා දුන්නේ ය.

දේශපාලන නැමියාවට විකෘති කරන සමීක්‍ෂණ ප්‍රතිඵල

රෝහණ හෙට්ටිආරච්චි අවධාරණයෙන් යුතුව කිව්වේ මෙරට ජනමත සමීක්ෂණ කිසියම් දේශපාලන නැමියාවක් සහිත පිරිස් කරන බවයි. එහි දී සමීක්ෂණයෙන් තමන්ට අවශ්‍ය ප්‍රතිපල නොලැබුණත් සමීක්ෂණයේ අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට කටයුතු කරයි. මහාචාර්ය ආනන්ද ද පෙන්වා දෙන්නේ ඇතැම් විටක සමීක්ෂණ පවත්වන ආයතන මූල්‍ය වාසිය තකා ව්‍යාජ ප්‍රතිඵල ඉදිරිපත් කරන බවයි. “සමහර වෙලාවට එන ප්‍රතිඵලය නෙවේ ප්‍රසන්ට් කරන්නෙ. සංඛ්‍යාත්මක විදියට තමන්ට ඕන විදියට ගළපන අවස්ථා තියනවා. දේශපාලන පක්ෂයකින් කිව්වොත් මෙහෙම දාන්න තව ලක්ෂ 10ක් අපි දෙන්නම් කියල එතකොට දානවා.

IHP සමීක්ෂණයේ ජනවාරි මාසෙ 52%ක් කිව්වා අනුරට, 34%ක් කිව්වා සජිත්ට. දැන් අනුරව තිස් ගාණකට බස්සලා. එහෙම විශාල වෙනසක් වෙන්න තරම් සිද්ධියක් වුණේ නෑනෙ.” මහාචාර්යවරයාගේ තර්කය අනුව IHP සමීක්ෂණය තනිකරම මුලාව (Manipulation එකක්). එය ආර්ථික ප්‍රතිලාභ තකා දියත් කළ ව්‍යාපෘතියක්.

IHP ආයතනයේ සමීක්ෂණය පිළිබඳ එල්ල වන ප්‍රබලම චෝදනාව වන්නේ 2021 සිට අද දක්වා ලබාගත් දත්ත සමුච්චියක් ලෙස ගෙන අවසන් ප්‍රතිඵල සකස් කිරීමයි. 2021-22 කාලය තුළ තිබූ සමාජ ආර්ථික හා දේශපාලන පරිසරය අද වන විට හාත්පසින්ම වෙනස් වී ඇති බැවින් එකල ලබාගත් දත්ත අදට වලංගු කරගන්නේ කුමන පදනමකින් ද යන පැනය නැගේ. වෙනත් කාලසීමාවක් තුළ කළ සමීක්ෂණයක් මැතිවරණයක් ආසන්නයේ ඉදිරිපත් කිරීමත් ඡන්දදායක සිතාමතා නොමඟ යැවීමක් හැටියටයි පොදුවේ සැලකෙන්නේ. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී කාලයත් සමග සමාජ ආර්ථික කාරණා වෙනස් වීම සැලකිල්ලට ගනිමින් දත්ත ලබා ගැනීමේ දී 2012 සංගණනයට ගැලපීමට කටයුතු කළ බව වෛද්‍ය රවී පවසයි. ඒ සඳහා 2019 වසරේ සකස් කළ වත්කම් දර්ශකය යොදගත් බව ද ඔහු පෙන්වා දුන්නේ ය. “මෙලෙස වසර 3-5ත් අතර ගැලපීම් කිරීම ජාත්‍යන්තර සමීක්ෂණ සාහිත්‍යයේ පිළිගත් ක්‍රමයක්” වෛද්‍යවරයා තවදුරටත් පැවසුවා.

ජනමත සමීක්ෂණය මුදල් උපයන, ලාභ ප්‍රතිලාභ තිබෙන කර්මාන්තයක් ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධාන ආචාර්ය ප්‍රදීප් පෙන්වා දෙයි.

“මාධ්‍යයන්ට තමයි සමීක්ෂණ වැඩිපුරම ඕන කරන්නේ. ඒ හින්දා හුඟක් වෙලාවට මාධ්‍ය මේවා මෙහෙයවනවා.” ඉන්දියාව වැනි රටවල මැතිවරණ ආසන්නේ රියැලිටි වැඩසටහන් මෙන් ජනමත විමසුම් සාකච්ඡා පවත්වා දැන්වීම් මගින් විශාල ලාභයක් උපයන බව ආචාර්ය ප්‍රදීප් පවසයි. රාජ්‍ය නොවන ආයතන ද ජනමත සමීක්ෂණ කෙරෙහි මූල්‍ය සාධක නිසා වැඩි උනන්දුවක් දක්වන බව ද හෙතෙම කියයි. “මේ හොඳ ගාණක් හොයාගන්න පුළුවන් ව්‍යාපෘති නිසා හුඟ දෙනෙක් මේ වැඩේට බැස්සා.” තවදුරටත් ඔහු කියා සිටින්නේ ජනමත සමීක්ෂණයක් කිරීම වියදම් අධික කාර්යයක් හැටියටයි. “1400-1500ක් අතර නියැදියක් ඇති හොඳ නිරවද්‍යතාවකින් යුතු සමීක්ෂණයකට දිවයින පුරා දත්ත රැස්කරනවා නම් සතියකට ලක්ෂ 70ක් වත් අවශ්‍යයි. කාර්ය අවසන් කරන්නත් මාස එකහමාරක් ගත වෙනවා. ඒ නිසා ලංකාවේ කරපු සමීක්ෂණයක සාම්පල් එක 2500කට වැඩියි කියල කවුරු හරි කියනව නම් ඒකෙන්ම ඔප්පු වෙනවා ඒක බොරුවක් කියලා.”

ජනමත සමීක්ෂණ නමින් ව්‍යාපාර කිරීම හෝ මැතිවරණ ප්‍රචාරණය එක් අංගයක් බවට ජනමත සමීක්ෂණ පත්කරගැනීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි ය. සාධාරණ මැතිවරණයකට මෙවැනි එළඹුම් සෞඛ්‍යසම්පන්න නොවන බවයි පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි කියා සිටින්නේ. “මේවා අපේ රටේ නීතිය තුළ කරන්න බැහැ කියලත් නැහැ. කරන විදිය මෙන්න මෙහෙමයි කියලාත් නැහැ. සමහර රටවල්වල මැතිවරණයක් ආසන්නයේ මේ වගේ ජනමත සමීක්ෂණ තියන්න බැහැ කියලා නීතිමය වශයෙන්ම තියෙනවා.” එබැවින් දේශපාලන සුපිලිපන්භාවය ආරක්ෂා කිරීමට ජනමත සමීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතන පිළිබඳ කිසියම් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට කාලය උදා වී ඇත. දේශපාලන පක්ෂ, දේශපාලන පක්ෂවලට සහාය දක්වන සිවිල් ආයතන, රාජ්‍ය නොවන ආයතන සහ විද්වත් කණ්ඩායම් ජනමත සමීක්ෂණ ඡන්ද දායකයා රැවටීමට යොදා නොගත යුතුයි. ජනමත සමීක්ෂණ සම්බන්ධයෙන් සැකසංකා ඇති වී තිබෙන්නේ ඔවුන්ගේ වැරදි භාවිතය හේතුවෙනි. එනිසා මහාචාර්ය ජයදේව උයන්ගොඩ ජනමත විමසුම් කිරීම “දේශපාලන වශයෙන් පැහැදිලි අනන්‍යතාවයක් නැති අය නැතිනම් වෘත්තීය වශයෙන් සමීක්ෂණ කරන අය තමයි කරන්න ඕනේ” යනුවෙන් කළ ප්‍රකාශයෙන් මේ සටහන නිමා කරමි.

සකීෆ් සාම්

advertistmentadvertistment
advertistmentadvertistment