ධෛර්ය සම්පන්න කෙන්යානු ව්‍යවසායකයකු සහ රහස් හෙළිකරන්නකු වන නෙල්සන් අමෙන්යා දැන් වාසය කරන්නේ පැරිස් නගරයේය. ඔහු තමාගේ ආරක්ෂාව වෙනුවෙන් කෙන්යාවෙන් පැරිස් නගරයට මාරුවිය. ඔහු කියන්නේ තමාට ජීවිත තර්ජනයක් ඇති බවයි. ඇත්තෙන්ම අපි අද නෙල්සන් අමෙන්යා ගැන කතා කරන්නේ ඔහු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි ගේ ඩොලර් බිලියන 2 ක දූෂිත රහස් ගනුදෙනුවක් හෙළි කර, ඇති කළ කැළඹීම නිසාය. මේ නිසාම අදානි ව්‍යාපාරය සෙලවී ඇති අතර මේ හෙලිකිරීම කෙන්යාවේ දේශපාලන පෙරළියක් ඇතිකළා පමණක් නොව එය ලෝකයට වැදගත් පුවතක් විය. මේ නිසාම ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ අදානි සමාගම වෙත වසර 30කට බදු දීම සම්පූර්ණයෙන්ම අවලංගු කෙරිණි. කෙන්යානු ජනපති විලියම් රුටෝ එරට පාර්ලිමේන්තුව අමතමින් මේ ගනුදෙනුව අවලංගු කරන බව කියන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රීතිඝෝෂා නඟන්නට විය. දේශප්‍රේමියකු ලෙස රටට සිදුවන විනාශය වැළැක්වීමට තමා කටයුතු කළ බව නෙල්සන් අමෙන්යා කියයි. ලෝකයේ දූෂිතම සමාගම සමග තම රට කිසිම ලෙසක ගනුදෙනු කළ යුතු නැති බව ඔහු කියයි. මේ දූෂිත ගනුදෙනුව ගැන හෙළි කිරීම ගැන ඉන්දියානුවන් පවා තමාට ප්‍රසංශා කරන බව අමෙන්යා කියයි. ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ බදු දීම පිළිබඳව විනිවිද භාවයෙන් තොර සහ තරගකාරී ලංසු තැබීමේ ක්‍රියාවලීන් මග හැරුණු මතභේදාත්මක ගිවිසුම ක්‍රියාත්මක වීම නැවතුනේ ලෝකයටම ආදර්ශයක් ලබා දෙමිනි. එය ලංකාවටත් හොඳ පණිවුඩයක් ලබා දෙයි.
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයකු වන 62 හැවිරිදි අදානිට ඇමෙරිකාවේදී අල්ලස් නඩුවක් ගොනුවූයේ පසුගිය බදාදාය. නෙල්සන් අමෙන්යා ගේ හෙළිදරව්වත් අසන්නට ලැබුණේ ඒ සමගය. ඇමෙරිකාවේ නඩුව නෙල්සන් අමෙන්යා ගේ කතාවට මහත් පිටුබලයක් විය. නිව්යෝර්ක්හිදී ගොනු කරන ලද අධිචෝදනා පත්‍රයේ, මෙම සුපිරි ධනවතාට සහ සෙසු ජ්‍යෙෂ්ඨ විධායකයන්ට නීතිඥයන් චෝදනා කර ඇත්තේ, ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියානු නිලධාරීන්ට වසර 20ක් පුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවට ය. අදානිගේ ව්‍යාපාරයට ඇමෙරිකාවේ නඩු පැවරෙන්නේ 2020 දී ඔහු ඇමෙරිකානු සමාගමක් සමග එක්ව සූර්ය පැනල ව්‍යාපාරයක් සඳහා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රාන්ත ආණ්ඩුව සමග ඩොලර් බිලියන හයක වටිනාකමින් යුක්ත ගිවිසුමකට එළඹීම නිසාය. මේ අල්ලස් මුදලින් කොටසක් හිටපු අන්ද්‍රා මහා ඇමැති ජගන් මොහාන් රෙඩ්ඩිට ලැබුණු බව කියන නමුත් හිටපු මහ ඇමැති මේ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. ඇත්තෙන්ම ඇමෙරිකාවේ නඩු පැවරීමේ පුවතත් සමග අදානි කොටස් මිල පහළ ගිය අතර ඒ නිසා ඔවුනට සිදුවූ අලාභය ඩොලර් බිලියන 34ක් බව කියවේ. මේ අල්ලස් පරීක්ෂණයේ වාර්තා මාස ගණනාවක් පුරා තැන් තැන්වලට හුවමාරු වෙමින් තිබිණි. නීතිඥයන් පැවසුවේ, ඇමෙරිකාව 2022 වසරේදී සමාගම විමර්ශනය කිරීම ආරම්භ කළ අතර එම පරීක්ෂණයට බාධා එල්ල වූ බව ය.
අදානි ව්‍යාපාරයට චෝදනා ඉදිරිපත් කරමින් “විත්තිකරුවන් ඩොලර් බිලියන ගණනක් වටිනා කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අල්ලස් දීමට යෝජනා ක්‍රමයක් සැලසුම් කළ අතර… ඔවුන් ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගෙන් ප්‍රාග්ධනය රැස් කිරීමට උත්සහ කරමින් අල්ලස් යෝජනා ක්‍රමය ගැන අසත්‍ය පැවසුවා,” යනුවෙන් ඇමෙරිකානු නීතිඥ බි්‍රයොන් පීස් සඳහන් කර තිබිණි. ඇත්තෙන්ම අදානි ව්‍යාපාරයට මේ චෝදනා එල්ලවීම ඉන්දියානු රජයටද නිග්‍රහයකි. අදානි යනු ඉන්දීය අගමැතිගේ ළඟම හිතවතෙකි. මෝදී 2014 අගමැති වී දිල්ලියට ගියේද අදානි විසින් සැපයූ ගුවන් යානාවකින්ය. ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි නිරන්තරව අදානි ව්‍යාපාරයේ දූෂිත ගනුදෙනු හෙළි කරයි. ඔහු පසුගිය වසරේ මාර්තුවේදී ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පවසා තිබිණි. “ව්‍යාජ සමාගම් හරහා අදානි සමූහයේ රුපියල් කෝටි 20,000ක් ආයෝජනය කර තියනවා අදානි සමූහ ව්‍යාපාරය යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ කටයුතු කරන නිසා ඔවුන්ට මේ තරම් විශාල මුදලක් එකතු කර ගන්න බැහැ. එතකොට මේ සල්ලි කොහෙන්ද? මේ කාගේ සල්ලිද? මෙම සමාගම් ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ කරනවා චීන ජාතිකයකු මෙම සිද්ධියට සම්බන්ධ බව කියනවා චීන ජාතිකයා කවුද මම අගමැති මෝදි සහ අදානි අතර සම්බන්ධය ගැන ප්‍රශ්න කළා එතකොට මගේ පාර්ලිමේන්තු කතාව මකා දැමුවා. මේ සම්බන්ධයෙන් මම කථානායකවරයාට මගේ කතාවේ සාක්ෂි විස්තරාත්මකව පැහැදිලි කරමින් ලිපියක් ලිව්වා. මෝදි අගමැතිතුමා මගේ මීළඟ කතාවට බයයි. ඒ නිසා තමයි මාව මන්ත්‍රී ධුරයට නුසුදුස්සෙක් කරලා තියෙන්නේ. එදා ඔහුගේ ඇස් වල බය මම දැක්කා.”
2023 වසරේ මුලදී ඇමෙරිකානු ආයෝජන සමාගමක් වන හින්ඩන්බර්ග් පර්යේෂණ සමාගම විසින්, දශක ගණනක් තිස්සේ කොටස් උච්ඡාවචනය බලපෑම් කිරීම සහ ගිණුම්කරණ වංචා සිදුකිරීම සම්බන්ධයෙන් අදානි සමූහයට චෝදනා කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කර තිබිණි. මේ නිසාම ඉන්දීය ප්‍රකෝටිපතියාට දින කිහිපයකින් ඩොලර් බිලියන 100ක් අහිමි වී තිබිණි. එදා මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අදානි සමූහය කියා සිටියේ, “තෝරාගත් සාවද්‍ය තොරතුරු සහ කල් ඉකුත්වූ මෙන්ම පදනම් විරහිත චෝදනා රැසක් ද්වේෂසහගතව ගොනුකර” මෙම වාර්තාව නිර්මාණය කර ඇති බව යි. එහෙත් අදානි සමූහයේ මෙම ප්‍රතිචාරය ආයෝජකයන්ගේ බිය දුරු කිරීමට ප්‍රමාණවත් වූයේ නැත. වසරකට පසුව දැන් යළිත් අර්බුද මතුව තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් 2022 ජුනි 13 ඉල්ලා අස් වූයේ අදානිට චෝදනා නැඟූ නිසාය. මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය අදානිට ලබා දෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළ බවට එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සාභාවේදී කළ අනාවරණයයි. ඔහු එදා පාර්ලිමේන්තු කාරක සභාවට මෙසේ ප්‍රකාශ කර තිබිණි. “මෙහෙමයි වුණේ ඇත්ත වශයෙන්ම. ජනාධිපතිතුමා මාව සාකච්ඡාවකින් පස්සේ ගෙන්නලා, මම හිතන්නේ ගිය නොවැම්බර් 24 වැනිදා වගේ, කිව්වා මේ අදානි සමාගමට දෙන්න, මේක ඉන්දීය අගමැති මෝදි කියනවා මට බල කරනවා මේක දෙන්න කියලා කියනව යි කියලා. පස්සේ මම ඒ වේලාවේ කිව්වා මේකේ මේ මටවත් විදුලිබල මණ්ඩලයටවත් අයිති ප්‍රශ්නයක් නෙමෙයි, මේක ආයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා. නෑ නෑ ඔයා මේක හින්දා ලියුමක් ලියලා දැම්මා, මට මෙන්න මෙහෙම ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා ය කියලා මුදල් අමාත්‍යාංශ ලේකම් කිව්වා, මේක ඔහෙන් කරගන්න, මේක විදුලිබල මණ්ඩලයට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි කියලා. හැබැයි මං කිව්වා මේක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් රික්වයර්මන්ට් එකක් තියෙනවා, ඒ අනුව තීරණය කර ගන්න කියලා. අපි දුන්නේ ෆීසිබිලිටි එකක් කරන්න.” (උපුටනය අවසන්) විදුලිබල මණ්ඩල සභාපතිවරයා එම ප්‍රකාශය සිදුකර පැය 24ක් ගත වන්නටත් මත්තෙන් කෝප් කමිටුව හමුවේ තමා කළ ප්‍රකාශය ඉවත්කර ගන්නා බව පවසා තිබිණි. නොයෙක් බලපෑම් නිසා ඔහු ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන්නට ඇති බව පැහැදිලිය. නමුත් ඉන්දීය අගමැතිවරයා කෙලින්ම අදානි වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකට රහසකි.
අදානි සමාගම මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගත වී තිබේ. ඊට අමතරව, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග 2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ගිවිසුම් අත්සන් කළේ ය. එමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදුකෙරුණකි. කෙසේ වෙතත්, අදානි සමාගම සමග ඇති කර ගත් ගිවිසුම අනුර දිසානායක මහතා බලයට පත්වීමෙන් පසු අත්හිටුවා ඇති අතර, එය සමාලෝචනය කරමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් අනාවරණය කර තිබිණි. එහෙත් ඉන්දීය ආණ්ඩුව නම් ලංකාවේ අදානි ව්‍යාපාර අත්හිටුවීම ගැන සතුටු වන්නේ නැත, ඇමෙරිකාවේ නව ජනපති බවට ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වීමෙන් පසුව සමාජ මාධ්‍ය ඔස්සේ, අදානි ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතූ අතර එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට පොරොන්දු විය. එහෙත් නිව්යෝර්ක් නඩුව දැන් අදානිට පරාවලල්ලක් වී තිබේ.
චතුර පමුණුව