ඝාතන ප්‍රයත්නයකින් ට්‍රම්ප් දෙවැනි වරටත් දිවි රැකගනී – 58 හැවිරිදි තුවක්කුකරු අල්ලයි

371

අමෙරිකාවේ හිටපු ජනාධිපති සහ වත්මන් රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරටත් ඝාතන ප්‍රයත්නයකින් ගැලවී තිබේ.

පසුගිය ඉරිදා (15දා) සවස ෆ්ලොරිඩාවේ පිහිටි සිය ගොල්ෆ් පිටියේ සිටින අවස්ථාවක ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. ට්‍රම්ප්ට වෙඩි තබා ඇත්තේ අසල ළඳුකැලෑවක සැඟවී සිටි තුවක්කුකරුවකු බව ඇමෙරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීහු පවසති. වෙඩි ප්‍රහාරය එල්ල වනවිට ට්‍රම්ප් සිටියේ තුවක්කුකරුට මීටර් 275ත් 455ත් අතර දුරකින් බව එෆ්.බී.අයි. කියයි. වෙඩි ප්‍රහාරය එල්ල වනවිට රහස් ඔත්තු සේවා නියෝජිතයන් විසින් තුවක්කුකරුට පෙරළා වෙඩි තබා තිබේ. රහස් ඔත්තු සේවා නියෝජිතයන් වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පඳුරු අතරින් දිව ගොස් කළු නිසාන් රථයකට ගොඩ වී ඇති බව සිද්ධිය දුටු සාක්ෂිකරුවෙක් පැවසීය. පසුව එම ස්ථානයෙන් AK – 47 රයිෆලයක්, කැමරාවක් සහ බෑග් 2ක් සොයාගෙන ඇති අතර මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ප්‍රාන්ත පොලිසියට හැකිව තිබේ.

“අපි පසුව එම ස්ථානයේ සිටි සාක්ෂිකරුවකු රැගෙන ගියා අත්අඩංගුවට ගත් පුද්ගලයා පෙන්නන්න. ඔහු තුවක්කුකරු හඳුනාගත්තා” යනුවෙන් පොලිස් ප්‍රධානියෙක් පවසා තිබේ. තමා ආරක්ෂිතව සහ හොඳින් සිටින බව ට්‍රම්ප් ආධාරකරුවන්ට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කර තිබේ.

“මා නැවැත්වීමට කිසිවකුට නොහැක. මම කිසිදා යටත් නොවෙමි” යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සටහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හවායි හි උපන් 58 හැවිරිදි රයන් වෙස්ලි රූත් ලෙස හඳුනාගෙන තිබේ. මේ පුද්ගලයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ දැක්වෙන්නේ රුසියාවට එරෙහිව සටන් කිරීමට යුක්රේනයට යන ලෙස විදේශීය සොල්දාදුවන් ගෙන් ඉල්ලා සිටින බවයි.

ජූලි 13 දා පෙන්සිල්වේනියාවේ බට්ලර්හි ඝාතන තැතකදී ට්‍රම්ප් තුවාල ලැබීය. අසල ගොඩනැඟිල්ලක වහලය මත සිටි තෝමස් මැතිව් ක්‍රෝක්ස් AK – 47 රයිෆලයකින් ට්‍රම්ප්ට වෙඩි තැබුවේය. වෙඩි තැබීමෙන් අසල සිටි අයෙක් මිය ගියේය. වෙඩික්කරු 20 හැවිරිදි කෲක්ස් ද රහස් සේවා නියෝජිතයන් විසින් වෙඩි තබා මරා දමන ලදී. මේ හේතුව නිසා ඇමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම්බර්ලි චෙටල් සති දෙකක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ට්‍රම්ප් ආරක්ෂිත බවත්, ඔහුට කරදයක් නොවීම ගැන සතුටු වන බවත් ධවල මන්දිර ප්‍රකාශකයෙක් සඳහන් කර තිබේ.

කමලා හැරිස් සිය එක්ස් පිටුවේ සඳහන් කර ඇත්තේ ට්‍රම්ප්ට එල්ල වූ ප්‍රහාරය ගැන තමාට දැනුම් දුන් බවත් ට්‍රම්ප් කිසිදු හානියකින් තොරව බේරීම ගැන සතුටු වන බවත්ය. ඇමෙරිකාවේ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නොමැති බව ද කමලා කියයි.

චතුර පමුණුව


advertistmentadvertistment