චැනල් ෆෝ බොරුකාරයන්ගෙන් වන්දි ඉල්ලන්න ඕනෑ – එස්.එම්. චන්ද්‍රසේන

74

කරපු වංචාව සනාථ වෙලා ඉවරයි:

මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ සහරාන් හමු වූ බවට පිළිගත හැකි සාක්ෂි නොමැති බව චැනල් 4 නාලිකාවේ අධ්‍යක්ෂ සහ විධායක නිෂ්පාදකවරයා ප්‍රකාශ කිරීමත් සමගම චැනල් 4 චිත්‍රපටය බොරුවක් බව සනාථ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (27) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීවේය.

“හැම මාධ්‍යකම ප්‍රධාන මාතෘකාව බවට පත්වුණේ බුද්ධි අංශ ප්‍රධානි මේජර් ජෙනරල් සුරේෂ් සලේ සහ සහරාන් අතර සම්බන්ධයක් තිබුණා කියලා. ඒක ලොකුවට අඬබෙර ගහලා කෑගැහැව්වා. චෝදනාවට ලක්වෙලා තිබුණු පිරිසත් ඒ පැත්තට මේ පැත්තට නවන්න බොහෝම උත්සාහයක යෙදුණා. අන්තිමේදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති කරන්නත්, පොහොට්ටුව ආණ්ඩු හදන්නත් රාජපක්ෂලා කරපු වැඩක් විදිහට කියන්න බොහෝ දෙනෙක් උත්සාහයක යෙදුණා.

චැනල් 4 අධ්‍යක්ෂක සහ විධායක නිෂ්පාදකවරයා පිළිඅරගෙන තිබෙනවා මෙහි කතානායකයා සලේ සමග සම්බන්ධතාවයක් තිබුණු බවට ඔවුන් සතුව සාක්ෂි නොමැති බව. එහි අර්ථය නම් මේ චිත්‍රපටය බොරුවක් වීම සනාථ වීමයි. ඇත්තටම මේ හැම දෙනාගේම, බලාපොරොත්තුව රාජපක්ෂලාට මඩගැසීමයි. මේ වගේ තමයි හැම දෙයක්ම එහාට මෙහාට හරවලා රාජපක්ෂවරුන්ට ගහන්න හදන්නේ. රාජපක්ෂවරු හින්දා තමයි අද අපි මේ හුස්ම ගන්නේ. මේ රටට සාමය ඇති වුණේ ඔවුන් නිසා. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිටියේ නැතිනම් චැනල් 4ට ඕනදේ එදා කරගන්න තිබුණා. අපි දැක්කා චැනල් 4 එදා හැසිරිච්ච හැටි. මේකත් නැවත නොයෙක් ආකාරයේ වැරදි තොරතුරු ඉදිරිපත් කරලා මේ රාජපක්ෂවරු කරපිට පටවන්නයි ඕන වුණේ. ඒක අද ව්‍යර්ථ වෙලා තිබෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තරයටම ගියා. ඒ නිසා මම පෞද්ගලිකව නායකවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මඩගැසීමෙන්, අපකීර්තියට පත් කිරීම නිසා මේ සඳහා වන්දි මුදලක් ඉල්ලන්න කටයුතු කරන්න කියලා. හැමදාම නොයෙක් ආකාරයේ මඩගහනවා. මෙහි කෙළවරක් තිබෙන්න ඕනෑ.
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment