ඡන්දයක් පවත්වා ජනමතය උරගා බැලීම පාලකයන්ගේ වගකීමයි

67

මැතිවරණ නිරීක්‍ෂණ සංවිධානවලින් ඒකාබද්ධ නිවේදනයක්

මැතිවරණයක් පවත්වා එමඟින් ජනමතය උරගා බැලීම සහ ඊට අනුගතව ක්‍රියා කිරීම රටෙහි තාවකාලික භාරකරුවන් පමණක් වන පාලකයන්ගේ වගකීම බවත් එහිලා වැයවන පිරිවැය අනාගත ආයෝජනයක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඒකාබද්ධ ප්‍රකාශයකින් අවධාරණය කරයි.

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සඳහා මෙරට ක්‍රියාත්මක මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ඉල්ලීම් කර ඇතැයි යනුවෙන් වන මතයක් නිර්මාණය කිරීම සඳහා යම් පිරිසක් වෙහෙසන බව පෙනී යන බවත් එවැනි කරුණක් පිළිබඳව නිරීක්‍ෂණ සංවිධාන දක්වන පොදු අදහස මෙයින් පෙන්වා දෙන බවත් එම ඒකාබද්ධ ප්‍රකාශය මගින් කියා සිටී.

එම ඒකාබද්ධ ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

දැනටමත් නාමයෝජනා භාර ගැනීම ආශ්‍රීත දින වකවානු ප්‍රකාශයට පත්කොට ඇති පරිදි, යෝජිත පළාත් පාලන ඡන්ද විමසීම ඉතා නුදුරු දිනකදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනිමින් සිටී. එනමුත් කවරාකාරයෙන් හෝ එම ඡන්ද විමසීම තවදුරටත් කල් දැමීම සඳහා විවිධ වගකිවයුතු පාර්ශ්ව උපාය උපක්‍රම අත්හදා බලමින් සිටීම නිසා මැතිවරණය නිශ්චිතවම පැවැත්වේදැයි යන්න පිළිබඳව ඇත්තේ ද යම් අවිනිශ්චිත බවකි.

මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන මැතිවරණ පැවැත්වීම පිළිබඳව ප්‍රශ්න කරනු ලබන්නේ යම් මැතිවරණයක් අදාළ නෛතික පරිපාටින් උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධීව පවත්වන අවස්ථාවකදී පමණි. එහෙත් මෙවර පවත්වන පළාත් පාලන ඡන්ද විමසීමේ එවන් ගැටලුවක් දිස්නොවන බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මැතිවරණයක් පැවැත්වීමේදී සලකා බැලිය යුතු තාක්‍ෂණික මෙන්ම නෛතික කරුණු පිළිබඳව නිවැරදි තීරණ ගත යුත්තේ මැතිවරණ කොමිෂන් සභාවයි. එමඟින් යම් අගතියක් වන්නේ නම් ඊට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තම බහුතර කැමැත්ත යටතේ පොදු තීරණ වෙත එළඹිය හැකිය. අධිකරණ ක්‍රියා මාර්ග වෙත අවතීර්ණ වීමද තවත් එක් පරිචයකි. එබැවින් මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන ලෙස අප කටයුතු කරනු ලබන්නේද මෙම පසුබිම යටතේය. විවිධ පාර්ශ්ව තම පටු සහ කෙටිකාලීන දේශපාලන අභිලාශ සමනය කර ගැනීම සඳහා මැතිවරණ කල් දැමීම නම්වූ සාහසික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග වෙත එළඹුණද අපි කිසිදු විටෙක ජනතා පරමාධිපත්‍ය අවතක්සේරු කරන අගතිගාමී අදහස් ප්‍රවර්ධනය නොකරන්නෙමු.

මැතිවරණයක් පවත්වා එමඟින් ජනමතය උරගා බැලීම සහ ඊට අනුගතව ක්‍රියා කිරීම රටෙහි තාවකාලික භාරකරුවන් පමණක් වන පාලකයන්ගේ වගකීමයි. එකී අත්‍යවශ්‍ය කාර්යය ඉටුනොකොට රටෙහි උසස් මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා සමාජ මැදිහත්වීමක් දක්වන පාර්ශ්ව කෙරෙහි මත භේදාත්මක අදහස් පතුරුවමින් සැඟවී සිටීම ඔස්සේ මෙරටේ යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි නොවන බව අදාළ පාර්ශ්ව තරයේ අවබෝධ කරගත යුතුය.

මෙම ඒකාබද්ධ නිවේදනය නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය, ලක්බිමේ මව්වරු හා දියණියෝ, මැතිවරණ නිරීක්‍ෂණ මධ්‍යස්ථානය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ මැතිවරණ අධ්‍යයන ආයතනය එක්ව නිකුත් කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment