ඡන්ද කල්දාන්න පොහොට්ටුව ඉඩදෙන්නේ නැහැ

100

ශ්‍රීලපොපෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මොනරාගල ආසන බල මණ්ඩලයේදී කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කල්දැමීමට කිසිවිටෙක ඉඩදෙන්නේ නැහැ. ජනතාවගේ ඡන්ද අයිතිය රැකීමට අපි දිවිහිමියෙන් කටයුතු කරනවා. ඇතැම් දේශපාලඥයින්ගේ දේශපාලන උවමනාවන් ඉටුකරගැනීමට රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට විකුණා දැමීමට ඉඩදෙන්නේ නැහැ. ආයෝජන මුවාවෙන් රජයේ දේපළ විකිණීමටද අප ඉඩ තබන්නේ නැතැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙලෙස පැවසූයේ මොනරාගල පොළ භූමියේදී ඉකුත් (06)දා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොනරාගල ආසන බල මණ්ඩලය අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපපොළ අපි ඉඳිකළේ හම්බන්තොට සංවර්ධනය කිරීමට පමණක් නොවේ. එම සංවර්ධන වැඩසටහනෙන් මොනරාගල බදුල්ල ප්‍රදේශ සංවර්ධනය කිරීමට සැලසුම්කර තිබුණා. කොළඹ මත්තල අධිවේගී මාර්ගය මොනරාගල හරහා අම්පාර දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබුණා. හම්බන්තොට වරාය ආශ්‍රිතව ආයෝජන කලාපයක් පිහිටුවා කර්මාන්ත දියුණුකිරීමටත් මොනරාගල, බදුල්ල දිස්ත්‍රික්කවල කෘෂිකර්ම කටයුතු නංවාලීමටත් සැලසුම් කර තිබූ අතර මොනරාගල සංචාරකයින්ගේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කොට ඇල්ල, පොතුවිල්, මඩකලපුව ප්‍රදේවලට විදේශ සංචාරකයින් වැඩි වැඩියෙන් ගෙන්වා එම ප්‍රදේශ දියුණුකිරීමට අප බලාපොරොත්තු වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රට සංවර්ධනය කිරීමේ පැහැදිලි දැක්මක් තිබුණා. පසුගිය කාලයේදී ඇතිවූ කොරෝනා තත්වය නිසා රට වසාදැමීමට සිදු වූ හෙයින් නිෂ්පාදන කටයුතු අඩාලවී විදේශ සංචාරකයින්ගේ පැමිණීමද නතර වුණා. එම තත්ත්වය මත රටේ ආදායම පහත වැටුණා. ජනතාවට දුෂ්කරතාවයන් රාශියකට මුහුණ පෑමට සිදුවුණා. ඉදිරියේදී සෑම දරුවෙකුටම ඔවුන්ගේ නිපුණතාව මත නිසි අධ්‍යාපනයක් සහ පුහුණුවක් ලබාදී ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට සුදුසු තරුණ පිරිසක් බිහිකරනවා. විවිධ හේතූන් මත පොදුජන පෙරමුණේ හිතවත් සාමාජිකයින් නිහඬ වුණා. නමුත් මහින්ද රාජපක්ෂ කෙරෙහි විශ්වාසය තැබූ විශේෂයෙන් ග්‍රාමීය ජනතාව පක්ෂය සමඟ තාමත් සිටිනවා. ඉදිරි සෑම මැතිවරණයකදීම ඒ පිරිස සමඟ අත්වැල් බැඳගෙන පක්ෂය ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවට කිසිම සැකයක් නැහැ.

රාජ්‍ය ඇමැතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාරසිරි රත්නායක, ඩී. වීරසිංහ, ජානක තිස්සකුට්ටිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක


advertistmentadvertistment