ජනපති ධජය සොරා ගත් සජබ වෘත්තීය සමිති නායකයා අත්අඩංගුවට

385

ජනාධිපති මන්දිරයට කඩාවැදී ජනාධිපති ධජය සොරාගෙන ගොස් එය අවභාවිතා කළ බව කියන සිද්ධියට සම්බන්ධ වරාය සේවකයකු වේල්ලවීදිය පොලිසියට නීතිඥවරයකු මාර්ගයෙන් ඊයේ (29 දා) භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සමගි ජනබලවේගය පක්ෂයේ වාත්තීය සමිති නායකයකු බව පොලිසිය පවසයි.

මොහු ජනාධිපති නිල නිවසට ඇතුළුවී ජනාධිපතිවරයාගේ ධජය සොරාගෙන එය සරමක් ලෙස ඇඳගෙන මහ මඟ ගමන් කර ඇති අතර පසුව එය ඇඳ ඇතිරිල්ලක් ලෙස ද පාවිච්චි කර ඇත.

මොහු මෙම ධජය අවභාවිතා කරන ආකාරය ජංගම දුරකථනවලින් පටිගත කර සමාජජාලා වෙබ් අඩවිවලටද මුදාහැර ඇත.

එම වීඩියෝපට ඔස්සේ විමර්ශන පැවැත්වූ වේල්ලවීදිය පොලිසිය සැකකරු හඳුනාගෙන ඔහු පදිංචි මාලබේ පිහිටි නිවස පෙරේදා වටලා තිබිණි.

ඒ වනවිට ඔහු නිවසින් පලාගොස් සිට ඇති අතර පසුව නීතිඥවරයකු මාර්ගයෙන් වේල්ලවීදිය පොලිසියට ඊයේ පෙරවරුවේ භාර විය.

සැකකරු සොරා ගන්නා ලද ජනාධිපති ධජය මේ වනතුරු සොයාගෙන නැති අතර එය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

සැකකරු අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment