ජාති, ආගම්, කුල ගෝත්‍ර, පක්ෂ බේදයකින් තොරව ශ්‍රී ලාංකික ජනතාව අතිශයින් සංවේදී කළ පුවතක් පසුගිය සති අන්තයේ වාර්තා විය. ඒ වූ කලී ඉරාන ජනාධිපතිවරයා ගුවන් ගමනකදී අතුරුදන්වීම පිළිබඳ ආරංචියයි. මීට සති කීපයකට පෙර ලංකාවට පැමිණ තම රජය ආධාර උපකාර කළ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරමින් ලංකාවට දයාබරත්වයේ දෑත දිගු කරමින් ආපසු ගිය ඒ ලෝක නායකයාගේ මෙම ආන්දෝලනාත්මක පුවත අපේ රටේ ලොකු පුංචි කාටත් හද සසල කරවන ආරංචියක් විය.

එම කනගාටුදායක පුවත ආරංචි වන අලුයම යාමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වෙන ජල සමුළුවට සහභාගි වීම සඳහා යෑමට පැමිණ කටුනායක ගුවන්තොටුපළේය. ඉරාන නායකයා වැනි බලසම්පන්න අයකුත් ගුවන් ගමනක් අතර අතුරුදන්වීම පිළිබඳ සිද්ධිය ජනාධිපතිවරයාගේ හද සසල කළේ මීට සති කීපයකට කලින් ඔහු ලංකාවට පැමිණ ගිය සංචාරයෙන් ඇති වූ අවබෝධය හා ළෙන්ගතුකමත් සමගය.

ඉන්දුනීසියා ගිය කවුද මේ අමුත්තෝ…

ජනාධිපතිවරයාගේ ඉන්දුනීසියානු ගමනට රුවන් විජේවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ජීවන් තොන්ඩමන්, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වී සිටියහ. ඊට අමතරව තවත් විශේෂ පිරිසක් සම්බන්ධ වී සිටීම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වූහ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, නිමල් ලන්සා ඇතුළු නව සන්ධානයේ මන්ත්‍රීවරු මීට සහභාගී වූයේ ඇයි…? දේශපාලන නිරීක්ෂකයෝ ඒ ගැන විමසිල්ලෙන් පසු වූහ.

කෙසේ වෙතත් මේ පිරිස මෙම සංචාරයට එක්ව සිටියේ ජල සමුළුවට සහභාගිවීමට නොව, ඉදිරියේදී එන මැතිවරණවලදී රනිල් ජනාධිපතිවරයා සමග අවබෝධයෙන් කටයුතු කිරීම පිළිබඳ ඇතිව තිබෙන නව තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට බව පැහැදිලි විය. නව සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල – මහින්ද අමරවීර පාර්ශ්වය අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිව තිබිණි. නිමල්- අමරවීර පාර්ශ්වයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද ජනාධිපතිවරයාගේ මෙම ව්‍යාපෘතියට වක්‍රාකාරයෙන් සම්බන්ධ වී ඇති තරම මෙම ඉන්දුනීසියානු සංචාරයට ඇයගේ එක්වීම තුළ වඩාත් තහවුරු විය.

එම සාකච්ඡාවන්හි තත්ත්වය කවරක් වුවත් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස සහභාගි වූ ජලසමුළුව ශ්‍රී ලංකාවට වඩාත් ඵලදායී අවස්ථා රැසක් උදා කළ විශේෂ සමුළුවක් විය. එහිදී වඩාත් කැපී පෙනුණු සිද්ධිය වූයේ ලොව ප්‍රමුඛ බිලියනපතියා වූ star link ආයතනයේ හිමිකරු ඉලෝන් මස්ක් මෙහිදී ජනාධිපති රනිල්ට මුණ ගැසීමයි. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන විසින් එම දෙදෙනා අතර හමුව සංවිධානය කිරීම විශේෂත්වයකි.

ස්ටාර්ලින්ක් ආයතනයේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාවේ ආරම්භ කරන්නට මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉලෝන් මස්ක්ට ආරාධනාවක් ලැබිණි. ඒ සඳහා දෙපාර්ශ්වය අතර නීතිමය කටයුතු ඉතා ඉක්මනින් සම්පාදනය කරන බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. ඒ අතර ලංකාවට සංචාරයක් සඳහා පැමිණෙන්නයි ජනාධිපතිවරයා ඔහුට ආරාධනයක් කළේය. ආරාධනාව ඉතා ඉහළින් පිළිගත් ඉලෝන් මාස්ක් තමන්ට මේ වන විට පෙළ ගැසී ඇති වැඩ රාජකාරි මධ්‍යයේ එම සංචාරය මේ වසර අග දක්වා කල්යා හැකි බව දන්වා සිටියේය.

ඉන්දුනීසියානු ජනාධිපති ජාකෝ විඩාඩෝ මහතා සමග ද ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසට හමුවක් සූදානම් වී තිබුණේ ඒ අතරය. ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී දෙරට ඉදිරියේදී අවබෝධයෙන් වැඩ කරන ආකාරය ගැන සාකච්ඡාවක් සිදුවිය.

සාකච්ඡා සියල්ල සුහදව පැවති අතර ජල සමුළුවට සහභාගි වූ රාජ්‍ය දූත පිරිස් සහභාගි වන විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණි. ඒ රට දේශීය පොප් ගායකයන් සහභාගි වූ විශේෂ සංගීත සම්භාෂණයක් ලෙස මෙම උත්සවය සංවිධානය වී තිබිණි. සමුළුවට පැමිණි රාජ්‍ය නායකයින්ට අමතරව ඉන්දුනීසියානු මැති ඇමැතිවරුද ඒ ප්‍රිය සම්භාෂණයට එක්ව විනෝද වන්නට වූහ.

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ද ඔහුගේ මැති ඇමැතිවරුන්ද එකට එක් වී සංගීත සම්භාෂණය මධ්‍යයේ නටමින් විනෝද වීම ශ්‍රී ලාංකික දූත පිරිසට තරමක් අමුතු අත්දැකීමක් වුවත් මෙවන් විශේෂ සම්භාෂණවලදී එය එරටේ සම්ප්‍රදායක් බව රුවන් විජේවර්ධනට පැහැදිලි කළේ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති ජයනාත් කොළඹගේ විසිනි.

අතුරුදන්ව සිටි ඉරාන නායකයා ගුවන් අනතුරකින් මියගොස් ඇති බවට අලුත් ආරංචිය ජනාධිපති ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසට දැනගන්නට ලැබුණේ ඒ අවස්ථාවේය. විශේෂයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහට එය අතිශයින් කනගාටුදායක ආරංචියක් විය. ඒ මොහොතේම ශ්‍රී ලංකාවට කතා කළ ජනාධිපතිවරයා අගමැතිවරයාටත් විදේශ අමාත්‍යවරයාටත් උපදෙස් දුන්නේ තමන් යළි ලංකාවට එනතුරු ශෝක දිනයක් ද නම් කරමින් රාජ්‍යතාන්ත්‍රිකව අවශ්‍ය කටයුතු නොපමාව සම්පාදනය කරන ලෙසයි.

මාලිමා – ටෙලිෆෝන් විවාද නොකෙරෙන සෙල්ලමක්..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ සංචාරයේ නිරතව සිටින අතරතුර මෙරට දේශපාලන කරළියේ දක්නට ලැබූ උණුසුම් සිදුවීම් කීපයක් ද විය. ඒ අතර එකක් වූයේ මාලිමාවත් සමගි ජන බලවේගයක් අතර රටේ ආර්ථික අනාගතය සම්බන්ධ විවාදයයි.

මෙම විවාදයට දිනයක් දෙන්නට සමගි ජන බලවේගය මුලදී අපොහොසත් වුවත් මාලිමාව විසින් ලබාදෙන දිනයන්ට එකඟ වන්නට සජිත්ලාට සිදුවිය. ඒ අනුව ලබන ජුනි මාසයේ හයවෙනිදා මෙම විවාදය පවත්වන්නට සජිත් කැමැත්ත පළ කළේය.

සමගි ජන බලවේගය කැමැත්ත පළ කළේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු දෙක අතර විවාදයක් වුවත් මාලිමාව දිගින් දිගටම ඉල්ලා සිටියේ නායකයින් දෙදෙනා අතර විවාදයකි. පහුගිය දිනක අම්බලන්තොට රැස්වීමකට ගිය සජිත් තමන් මේ දෙකටම සූදානම් බව එළිපිට ප්‍රකාශ කළේය. එහෙත් කසකරුවන්ගේ සද්දය මිසක් තවමත් පෙරහැර සඳහා සූදානමක් දෙපාර්ශ්වයේම නැති බව දේශපාලන නිරීක්ෂකයෝ කියන්නට වූහ.

නලින්ද ජයතිස්සලා, හරිනි අමරසූරියලා, සුනිල් හඳුන්නෙත්තිලා ආර්ථික කමිටුවේ විවාදය සඳහා ඇති සූදානම ගැන කොතෙකුත් කීවත් මේ පසුගිය 21 වැනි දා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් සජබයේ මරික්කාර් ප්‍රකාශ කළේ ආර්ථික කමිටු දෙක අතර මිස නායකයින් දෙදෙනා අතර වාදයක් නැති බවය. යුද්ධ කරන්නේ දෙපාර්ශ්වයේ හමුදාවන් මිස හමුදාවන් සිටියදී නායකයෝ යුද වදින්නේ නැති බව ඔහුගේ ප්‍රකාශය විය.

මේ අතරතුර සමග ජන බලවේගය සිය මුඛ්‍ය අවධානය යොමු කර සිටියේ ඉදිරියේදී පැමිණෙන්නට නියමිත මැතිවරණ ගැනයි. මැතිවරණවලදී ඒ ඒ දිස්ත්‍රික්කවල කටයුතු කිරීම සම්බන්ධයෙන් ද සමගි ජන බලවේගයේ නායකයෝ මෙහිදී අවධානය යොමු කරන්නට වූහ.

ඉස්සර වෙලාම පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් නොව මහ මැතිවරණයක් බවට ආණ්ඩුවට සම්බන්ධ එක්තරා ප්‍රකාශකයෙක් මතයක් නිකුත් කරනු ලැබුවේ මේ අතරතුරයි. ආණ්ඩුවට සම්බන්ධ යයි කීවේ ඔහු ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ශ්වයට ඇති නෑකම හා හිතවත්කම නිසාය. ඒ උදයංග වීරතුංගයි.

පසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක විවාදයකට සම්බන්ධ වූ ඔහු කෙළින්ම කීවේ ජනාධිපතිවරයා ලබන මාසයේ මැද නිසැකවම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට දින ලබාදෙන බවය. වටින් ගොඩින් කීවත් ඔහු කීවේ බැසිල් රාජපක්ෂ ගැන බව සැකයක් නොවීය. ජනාධිපතිවරයා බැසිලුත් අතර පැවැති සාකච්ඡාවකදී ඒ පිළිබඳ නිසැක එකඟතාවක් ඇති බව උදයංග වගකීමකින් යුතුව ප්‍රකාශ කළේය.

ඒ හා සමානවම සමගි ජන බලවේගය හා සම්බන්ධ තවත් ප්‍රකාශකයකු වන ඩිලාන් පෙරේරා ද මහ මැතිවරණය ගැන කීවේය.

උදයංග වීරතුංගත් ඩිලාන් පෙරේරාත් සැක හැර මහ මැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන කරළියේ පැවසීමෙන් සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් බලධාරීන් වඩාත් කලබලයට පත් වූහ. ඒ මන්ද… මහ මැතිවරණයකදී ඒ ඒ දිස්ත්‍රික්කවල මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමේදී ප්‍රධාන වගකීම ඇත්තේ කාටදැයි කලක පටන් ඔවුන්ට බරපතළ ප්‍රශ්නයක් තිබිණි.

ජාතික තලයේ නායකයා සජිත්ය. එහි ගැටලුවක් නොවීය. එහෙත් මේ වනවිට ආර්ථික, වෘත්තීය සමිති, මාධ්‍ය, සෞඛ්‍ය, අධ්‍යාපන, ශිෂ්‍ය, නාගරික සංවර්ධන, කර්මාන්ත, කෘෂිකර්ම වැනි අනු ක්‍ෂේත්‍රවල හා දිස්ත්‍රික්කවල මෙතෙක් කලක් සාම්ප්‍රදායිකව වැජඹුණු නායකයින්ගේ නායකත්වය අද වන විට අභියෝගයට ලක්ව තිබුණි. ඒ වූ කලී සමගි ජන බලවේගය හා පසුකාලීනව ඒකරාශී වූ උගතුන් බුද්ධිමතුන් හා ක්‍රියාකාරිකයින් නිසාය.

උදාහරණයක් හැටියට මෙතෙක් දිනක් සමගි ජන බලවේගයේ ආර්ථික විෂය පථය සම්බන්ධයෙන් ප්‍රබලයා වූ හර්ෂ ද සිල්වා වර්තමානයේ අභියෝගයට ලක්ව ඇත්තේ ආචාර්ය නාලක ගොඩහේවාගේ පැමිණීම නිසාය. අද ආර්ථිකය සම්බන්ධයෙන් සජිත්ට උපදෙස් දෙන්නේ නාලක ද නැත්නම් හර්ෂ ද කියා ලොකු ප්‍රශ්නයක් තිබේ.

මහාචාර්ය ජී එල්ලා චන්න ජයසුමනලා ඩිලාන්ලා වසන්ත යාපලා නිසා ඉහත කී ක්‍ෂේත්‍රවල පමණක් නොව නායකත්වය සම්බන්ධයෙන් ද ප්‍රශ්න තිබිණ. පසුගිය සතියේ එවන් දිස්ත්‍රික් ප්‍රශ්නයක් මහනුවර දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් ද එළියට ආවේ ලක්ෂ්මන් කිරිඇල්ල හා වසන්ත යාපා අතර ගැටුමක් ලෙසයි.

පහුගිය දිනෙක එක්තරා පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ලක්ෂ්මන් කිරිඇල්ල පසුකාලීනව පක්ෂය හා එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ලවක් දෙවක් නොමැතිව පහර දෙන්නට පටන් ගත්තේය.

“රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා රට විනාශ කරපු අය ඒ පැත්ත බිඳ වැටුණම මහජන අපවාදයෙන් බේරෙන්න අපේ පැත්තට ඇවිල්ලා. මේ අයට නාමයෝජනාවක් දෙනවද නැද්ද කියන එක ගැනත් දැන් අපිට කල්පනා කරන්න වෙලා…” කිරිඇල්ල මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ ප්‍රශ්න කීපයක් සම්බන්ධයෙන් මෙසේ කෙළින්ම දෝෂාරෝපණය කළේ වසන්ත යාපාට බව සැකයක් නැත. වසන්ත යාපාගේ දිස්ත්‍රික් ක්‍රියා කලාපය ගත්විට කිරියල්ල හා ගැටුම් ඇතිකර ගන්නට කරුණ කාරණා බොහොමයක් ඔහුට තිබිණි. ඔහු දිස්ත්‍රික්කයේ සමාජ ක්‍රියාකාරිකයින් පිරිසක් සමග හන්තානයේ ඉඩම් කොල්ලයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කළේය. මේ හන්තාන ඉඩම් අකරතැබ්බය සම්බන්ධයෙන් කිරිඇල්ලලාටද ඇඟිලි දිගුව තිබෙන පසුබිමක වසන්ත යාපා මෙසේ යුද ප්‍රකාශ කිරීම කිරිඇල්ල නොරිස්සුවේය. කිරිඇල්ලලාගේ සාම්ප්‍රදායික දේශපාලනය වසන්තලා නිතර ප්‍රශ්න කළේය. දෙදෙනා අතර මත ගැටුම් බොහෝමයක් විය.

මේ වන විට එම තත්ත්වය සජබ නායක සජිත් ප්‍රේමදාසට ද ආරංචි වී තිබිණ. ඔහු පසුගිය සතියේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැති පක්ෂයේ උත්සවයකදී මේ සියලු කලබැගෑනි අල්ලා හොඳ උත්තරයක් දුන්නේ කාටත් වදින්නටය.

“සමගි ජන සන්ධානයට මම පිටස්තර පක්ෂවලින් නායකයො ගත්තේ ඒ අයත් එක්ක හොඳට කතාබහ කරලා අවබෝධ කරගෙන. දැන් ඒ අය අපිත් එක්ක වැඩ කරනවා. ඒ අයට අපහාස වෙන විදියට පුවත්පත් සාකච්ඡා තියලා බැණ වදින්න ප්‍රකාශ නිකුත් කරන්න කාටවත් බෑ…” සජිත් ඉතා තදින් කීවේ කිරිඇල්ලට පමණක් නොව පසුගිය දිනවල නාලක ගොඩහේවාට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කළ ටෙලිෆෝනයේ ආර්ථික ඔස්තාර්ලාට ද වදින්නට බව සැකයක් නොවීය.

ආණ්ඩුව ඇතුලේත් දැන් පොහොට්ටුවට කෙනෙහිලි

උදයංග වීරතුංගගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊට පහුවදාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාගර කාරියවසම් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා ප්‍රකාශයක් නිකුත් කළේය. උදයංගගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බැහැර කළ ඔහු කීවේ රාජපක්ෂවරුන්ගේ පණිවිඩ නිකුත් කිරීමට කිසිදු තෝල්කයකු අවශ්‍ය නැති බවකි. මෙහිදී මාධ්‍යවේදීන්ට ද ඔහුගෙන් අසන්නට බොහෝ ප්‍රශ්න පැන නැගුණු බව සැබෑය.

බොහෝ ඒවාට ඔහු එළිපිට ප්‍රසිද්ධියේ උත්තර දුන්නේ නැත. එහෙත් අවශ්‍ය දේ පමණක් කියාගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ උදයංගගේ ප්‍රකාශයේ සත්‍යයක් නැති බව රටට පණිවිඩයක් දීමටය.

කෙසේ වෙතත් ළඟ ළඟ මහ මැතිවරණයක් ඒ ඇයි කියන කතාව තුළ පොහොට්ටුව අභ්‍යන්තරයේත් මේ වන විට සැක සංකා මතු වී තිබීම මුසාවක් නොවීය. ඒ නිසා පොහොට්ටුවේ බොහෝ දෙනෙක් එහි අභ්‍යන්තර රැස්වීම්වලදී නායකයන්ට කියා සිටියේ දිස්ත්‍රික්වල තිබෙන නායකත්ව ප්‍රශ්නවලට නිසි විසඳුමක් ලැබෙන තුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා ඉදිරියට වැඩ කිරීමට එකඟතාවක් ඇති කරගන්නට එපා කියාය.

“අපේ ජාතික සංවිධායකතුමා ඉස්සර වෙලාම ජනාධිපති රනිල් එක්ක එකට වැඩ කරනවා නම් එකඟතාවක් ඇති කරගත යුතුයි කියලා කියපු කාරණා කීපයක් තිබුණා. ඒ අතරින් එකක් තමයි දිස්ත්‍රික් නායකත්වය. සන්ධානයක් විදිහට වැඩ කරද්දි අනුරාධපුරේ නම් නායකයා කවුද. ඒ දුමින්ද ද ෂෙහාන්ද නැත්නම් අපේ චන්ද්‍රසේනද. කුරුණෑගල නම් අකිල ද අනුර යාපා ද අපේ ජොන්ස්ටන්ද. ගම්පහ නම් රුවන්ද ප්‍රසන්නද. හම්බන්තොට නම් අමරවීරද නාමල්ද. ඒ ප්‍රශ්නවලට එකඟතාවක් නැතුව ඡන්දයකදී එකතුවෙලා අපිට වැඩ කිරීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්” පොහොට්ටුවෙන් නායකයෙක් මාධ්‍යයට කිව්වේ එසේය.

රාජපක්ෂලා ඉන්නකම් අපට එන්න බැහැයිලු

එහෙත් නායකයෝ මෙම බරපතළ ප්‍රශ්න සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිවන්නට පෙර රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ සාකච්ඡා ආරම්භ කළේය. සිදු වූයේ එහිදී බරපතල ගැටුම් ඇතිවන්නට පටන් ගැනීමයි.

පසුගිය දිනක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ තිබූ රැස්වීමක් නව සන්ධානයේ පිරිසක් වර්ජනය කර සිටියහ. ඔවුන් කීවේ රාජපක්ෂලා පැමිණෙන කිසිදු රැස්වීමකට තමන් සහභාගි නොවන බවයි. රාජපක්ෂලා සමග සිටි තමන් කලකිරීමකින් යුතුව ඔවුන්ගෙන් වෙන්ව පැමිණ ඇත්තේ නැවත කවර හෝ හේතුවක් නිසාවත් රාජපක්ෂලා සමග එක මේසේ වාඩිවීමට හෝ එක වේදිකාවේ නැගීමට නොවන බව ඔවුන්ගේ ස්ථාවරය වූහ.

මේ ස්ථාවරයේ නව සන්ධානයෙන් නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා යන දෙදෙනා දැඩිව සිටියහ. එහෙත් නව සන්ධානය සමග මේ වන විට සහයෝගයෙන් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හෝ අනෙකුත් ක්‍රියාකාරීහු මේ ගැන අදහස් පළ කරේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. රාජපක්ෂ විරෝධය මෙහි කිහිප දෙනකුට පමණක් සීමා වූ බව පැහැදිලි විය.

ජනපතිවරණයට පෙර මහ මැතිවරණ නෑ

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් සම්බන්ධයෙන් උදයංග වීරතුංග හා ඩිලාන් පෙරේරා ඉදිරිපත් කළ අදහස්වලට ජනාධිපතිවරයා කෙළින්ම උත්තර දුන්නේ ඉන්දුනීසියානු සංචාරය අවසන් කර පැමිණ පැවැත්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. නිසැකවම ජනාධිපතිවරණය නිසි කාලවකවානුවල පැවැත්වෙන බව ඔහු සැක හැර කීවේය.

පසුගිය බදාදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට වැඩ අධික දවසක් විය. එදින පාර්ලිමේන්තු දිනයකි. කැබිනට් මණ්ඩල රැස්වීම ද එදින ඒ නිසා පැවැත්වුණේ පාර්ලිමේන්තුව පවතින අතර කාමර අංක හතරේදී පෙරවරු එකොළහටය. ඒ අතර පාර්ලිමේන්තුවේ සභාව කල්තැබීමේ විවාදය දිගින් දිගටම පැවැත්විණි. ආණ්ඩුව නිසි ලෙස ක්‍රියාත්මක නොකරන බව රටට තහවුරු කිරීම සඳහා සමගි ජන බලවේගය මෙම විවාදය ඉල්ලා ඒ වෙනුවෙන් කතා කරමින් සිටියේය.

කෙසේ වෙතත් එදින මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය වෙනදාට වඩා ලොකු අඩුවක් තිබෙන බව පෙනෙන්නට විය. ඇමැතිවරුන්ට අමතරව රාජ්‍ය ඇමැතිවරුනුත් එදින කැබිනට් මණ්ඩල රැස්වීමට ගෙන්වා තිබූ නිසා එදින දහවල් පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අඩුවක් දක්නට ලැබිණ.

“මහ මැතිවරණ නෑ. ඉස්සෙල්ලම එන්නේ ජනාධිපතිවරණයක්. ඔයගොල්ලෝ ඒකට ලෑස්ති වෙන්න.” උදයංගලාගේ කතාව ගැන නොකියාම ජනාධිපති එසේ ස්ථිරසාරව කියා සිටියේය.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ නොමැති වාසිදායක වාතාවරණය උඩ දිවා ආහාර විවේක කාලයේදීත් පාර්ලිමේන්තු රැස්වීම පවත්වාගෙන යන්නට කිරිඇල්ල යෝජනාවක් ගෙන ආ අතර එය සම්මත විය. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ සිට ඇත්තේ අරවින්ද කුමාර් නම් රාජ්‍ය ඇමැතිවරයා පමණි. ඔහු ඊට එකඟ වී ඇත. එම නිසා පාර්ලිමේන්තුව දිගින් දිගටම පැවැත්විණි.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාගැබේ හිඟ මොහොතක කුමක් හෝ උපායක් යොදන්නට විපක්ෂයේ මන්ත්‍රීවරු සැලසුම් කරන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග දැනගත්තේය. ඔහු මධුර විතානගේ මන්ත්‍රීවරයා ගෙන්වා ඔහුට යම් සැලසුමක් භාර දුන්නේය.

ඒ වෙලාවේ සභාගැබට ගිය මධුර ටික වේලාවක් බලා සිට යෝජනාවක් කළේය. සභාවේ ගණපූරණයක් නොමැති බැවින් පූරණය කැඳවීමේ සීනුව නාද කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. සීනුව නාද කළත් ගණපූරණය සම්පූර්ණ වූයේ නැත. ගණපූරණය නොමැති බැවින් පාර්ලිමේන්තුව කල් තබන්නට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කරන්නට කළින් කථානායකට එය ක්‍රියාත්මක කරන්නට සිදුවිය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව කල් වේලාසන අවසන් වීමෙන් එදින කතාබහ කරන්නට බලා සිටි මන්ත්‍රීවරුන්ට කතා කරන්නට අවස්ථාවන් ද අහිමි වූහ. ඒ පිළිබඳ කතාබහක් පාර්ලිමේන්තු ආලින්දයක හර්ෂ සිල්වා, ගෙවිඳු කුමාරතුංග ඇතුළු මන්ත්‍රීවරු කීපදෙනෙක් සිටින තැනක ඇසුණේ මෙසේය.

“අද ජනරජ දිනය. පසුගිය 19 වැනිදා මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන අවුරුදු පහළොවක් සම්පූර්ණ වුණ රණවිරු සැමරුම් දිනය. මම මේ දෙකම අල්ලලා කතාවක් කරන්න හිටියේ. පාර්ලිමේන්තුව කල් තියා අවසන් වුණානේ…” එසේ කීවේ ගෙවිඳු කුමාරතුංගයි.

ගෙවිඳු කතා කළොත් කුමක් හෝ වැදගත් දෙයක් මතු කරන බව දැනගත් මන්ත්‍රීවරු ඒ ගැන විස්තර විමසූහ.

“මේකයි… අද අපේ ආණ්ඩුවට ජනරජය අමතක වෙලා. එදා විජයග්‍රහණයේ සමරුව තිබුණේ රාජ්‍ය නායකයා නොමැතිව. මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන අවුරුදු 15 පිරීම සමරන්න පවත්වපු සැමරුම් දිනය. ඒ වුණත් කාටවත් ඒ ගැන හැඟීමක් නෑ…

මේ රටේ විපක්ෂ නායකතුමා ඒ ගැන නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එතුමා කියනවා මේ රටේ ත්‍රස්තවාදය ඇතිවුණේ 1956දී රජය සිංහල රාජ්‍ය භාෂාව කළ නිසාලු. එතකොට මේ යුද්ධයට වරදකරුවා සිංහල භාෂාවද. ඒකද මේ විපක්ෂ නායකතුමා කියන්නේ. මට ඒක අහන්න උවමනාව තිබුණා. අනිත් එක දැන් ජනරජය අමතක වෙලා. රාමායනයේ මංපෙත් හොයනවා කියලා හැම තැනම රාම කෝවිල් හදනවා. හනුමන් කෝවිල් හදනවා. බලශක්තිය මුළුමනින්ම අදානිට දෙනවා. යුද්ධ කාලෙත් අපි දිස්ත්‍රික්ක විසිපහේම දෙමළ ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළා. පහ වසර ශිෂ්‍යත්වය ගත්තත් හැම දිස්ත්‍රික්කයකම දෙමළ භාෂාවටත් කටවුට් මාක් එකක් දුන්නා. යුද්ධය ඉවර වෙලා අවුරුදු පහළොවක් වෙලත් තාමත් කෝ යාපනේ මඩකලපුව සිංහල ඉගෙන ගන්න ළමයින්ට ශිෂ්‍යත්වෙ කටවුට් මාක් එක. බහුභූත නෙවෙයි මං ඔන්න ඔය වගේ වැදගත් කරුණු ටිකක් මතු කරන්නයි බලා හිටියේ’ කියමින් ගෙවිඳු ලොකු ගැටලු රැසක් මතු කරද්දි කුෂානි රෝහණදීරත් එතන සිටියාය.

බදාදා හැන්දෑවේ කැබිනට් ඇමැතිවරු පාර්ලිමේන්තුවෙන් පසු වෝටර්ස් ඒජ් හෝටලය වෙත ගියේ ප්‍රසන්න රණතුංග යොදාගෙන තිබූ සාකච්ඡාවකට සහභාගි වන්නටය. කැබිනට් ඇමැතිවරු පමණක් නොව මේ හමුවට ආණ්ඩුවේ රාජ්‍ය ඇමැතිවරුත් පැමිණ සිටියහ.

සාකච්ඡාව වේලාසන අවසන් විය. තවදුරටත් එතන සාකච්ඡා කරමින් මධුවිතක් තොළ ගාන්නට වූ පිරිසක් ද වූහ. ප්‍රසන්න, මහින්දානන්ද, ලොහාන්, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර ඇතුළු කිහිපදෙනෙක්ද එතන සිටියහ.

මේ පිරිස අනාගත මැතිවරණ ගැන කතා කරමින් සිටින අතර රාජ්‍ය ඇමැතිවරු වැඩ කළ යුත්තේ කෙසේද යන මාතෘකාව ද මතුවිය.

“රාජ්‍ය ඇමැතිවරු දැනගන්න ඕන තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න. සමහරු එයාර්පෝට්වලට ගිහිල්ලත් රස්තියාදුකාරයෝ විදිහට හැසිරෙන්නේ… හැම තැනම සීසීටීවී කැමරා හයි කරලා. මුළු රටම බලාගෙන ඉන්න බව සමහරු දන්නෙ නෑ…” ලොහාන් ලොකු විවේචනයක් කළේය.

පසුගිය දිනක කටුනායක ගුවන්තොටුපළේදී පෝටර්වරයෙකුට පහර දුන් බව කියන ප්‍රසන්න රණවීරට මේ කතාවට යකා නැග්ගේය.

“මට කියන්නෙ තමුසෙ රැක්කද ගෞරවය. එතකොට තමුසෙ අර කවුදත් එක්ක අනුරාධපුරේ බන්ධනාගාරයට කඩා වැදිලා හිරකාරයන්ට හයිරම් පෙන්නන්න ගියේ රාජ්‍ය ඇමැතිවරුන්ගේ ගෞරවය රකින්නද…” ප්‍රසන්න රණවීර ගුගුරන්නට විය. අවසානයේ දෙදෙනා අතින් පයින් ගුටිබැට හුවමාරු කරගන්නා තත්ත්වයට මේ ගැටුම පත් වන්නට ඔන්න මෙන්න තිබීයදී අවසන් වූයේ ප්‍රසන්නත් මහින්දානන්දත් මැදිහත් වී දෙන්නා දෙපසට කළ නිසාය. ඒ සාදය ද එතකින් අවසන් වූහ.

සජිත්ව පරද්දන්න අමරවීර සූදානම් ලු

ආණ්ඩුව ඇතුලේ රාජපක්ෂවරුන්ට එරෙහිව අරගලයක් කරන්න දැන් නව සන්ධානයේ කණ්ඩායමක් සූදානම්ය. ඔවුන් ඒ සටන පසුගිය සතියේ ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහට සහයෝගය දීම සඳහා පොහොට්ටුවේ රාජපක්ෂලා සහභාගි වන කිසිදු රැස්වීමකට තමන් සහභාගි නොවන බව කල් තියා දැනුම් දීමෙනි.

ඔවුන්ගේ මේ ස්ථාවරය නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොකු හිසරදයකට මුහුණ දුන් බව නම් ඇත්තය. මැතිවරණයක් දිනන්නට නම් ඔහුට පොහොට්ටුවේ සහයෝගය අත්‍යවශ්‍ය බව පැහැදිලිව පෙනෙන අවස්ථාවක නව සන්ධානය මෙවන් පියවරක් ගැනීම කෙරෙහි ජනාධිපති රනිල් ද සිටියේ දෙගිඩියාවකය.

නව සන්ධානය කීවේ දැනට විපක්ෂයේ සිටින පුළුල්ම සන්ධානය තමන් හදන බැවින් ඉදිරියේදී ජනාධිපති රනිල්ට පොහොට්ටුව පස්සෙන් යෑමට අවශ්‍යතාවක් නොමැති බවය.

ඔවුන් මෙම තත්ත්වය විදහා පෙන්වීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේම මහ රැලියක් පවත්වන්නට තීරණය කළේය. හම්බන්තොට වැඩි ජනබලය ඇත්තේ පොහොට්ටුවට ද සජිත්ට ද නැත්නම් තම සන්ධානයට ද කියා උරගා බලන්නට ඔවුන් සැලසුම් කළේ ඒ අනුවය.

ඒ සඳහා ලබන අටවැනිදා හම්බන්තොට, අම්බලන්තොට නගරයේ පසුගියදා සජිත් ප්‍රේමදාස මහ රැලියක් පැවැත්වූ ස්ථානයේම නව සන්ධානයේ රැලියත් පවත්වන්නට ඔවුන් තීරණය කරන්නේ ඒ අනුවය. පසුගිය දිනක ඒ පිළිබඳ කතාබහ කරගන්නට පාර්ලිමේන්තුවේ නිමල් සිරිපාල ද සිල්වාට අයත් කාමරයේ සාකච්ඡාවක් පැවැත්විණ.

සාකච්ඡාවට අනුර යාපා, නිමල් ලන්සා, නිමල් සිරිපාල, මහින්ද අමරවීර, නලින් ප්‍රනාන්දු, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

“ඔබතුමාලා කවුරුවත් පාක්ෂිකයෝ එක්ක එන්න එපා. මේකට මම සම්බන්ධ කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්න මගේ පාක්ෂිකයෝ විතරමයි. 1500කට අධික ජනතාවක් ගෙනල්ල මම ඔය පිට්ටනියේ සජිත් කළාට වඩා ලොකු රැස්වීමක් තියලා පෙන්නනවා” අමරවීර හිනාවෙමින් කීවේය.

“එහෙම නම් ඉතිං අපට ලේසියි.. අපට තියෙන්නේ සහභාගී වෙලා බලාගෙන ඉන්න විතරයි” අනුර යාපා කීවේය.

“මාලිමාව කළාට වඩා සාර්ථකව රැස්වීම කරලා පෙන්නන්නයි ඕන…”

“මාලිමාවේ රැස්වීමට වඩා දෙගුණයක් සෙනඟ සජිත්ට හිටියා. ඒ වගේ දෙගුණයක් අපි ගේන්නයි ඕනා. හම්බන්තොට වැඩි බලය තියෙන්නේ අපිට ද පොහොට්ටුවට ද ටෙලිෆෝන් එකටද කියලා ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් මේ රැලියෙන් පස්සේ” අමරවීර විස්තර කළේය.

රාජපක්ෂවරු පැමිණෙන වේදිකාවකට හෝ රැස්වීමකට සහභාගි නොවන්නට නව සන්ධානය ගත් තීන්දුව ගැන අගය කිරීමක් ද මෙහිදී සිදුවිය. ඉන් පසුව ඔවුන් කතාබස් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය පිළිබඳවයි.

“පක්ෂ ව්‍යවස්ථාවේ පැහැදිලිවම තියෙනවා සාමාජිකයකු වෙලා මාස හයක් යනකන් තනතුරකට එන්න බෑ කියල. ඉතින් විජයදාස රාජපක්ෂට මාස හයක් නෑ. විජයදාස මැතිතුමාගේ මාර්තු පඩියෙනුත් සාමාජික මුදල් කැපිලා තියෙනවා පොහොට්ටුවට. ඉතින් නීතිය හොඳටම පැහැදිලියි… අධිකරණ ඇමැති වුණත් එයාට කටඋත්තර නෑ..” ලසන්ත අලගියවන්න පෙන්වා දුන්නේය.

“ජුනි 8 වෙනිදාට පස්සේ තේරුම් ගනීවි කාටද වැඩිපුර ජන බලයක් තියෙන්නෙ කියල… ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම බලය අයිති වෙන්න ඕන කාටද කියලා අධිකරණය තීන්දු කරාවි. නිමල් සිරිපාල කීවේය.

ඒ අනුව සාකච්ඡාව අවසානයේ ඊළඟ රැස්වීම පවත්වන දිස්ත්‍රික්කය ගැන ද කතාබහක් ඇති විය.

පොහොට්ටුවේ බලකොටුවක් වන හම්බන්තොට ජන බලය පෙන්නුවාට පසු ඊළඟට එම මස අවසානයේ මොනරාගල පැත්තට ගොස් ජන බලය පෙන්විය යුතු යැයි ජගත් පුෂ්පකුමාර කළ යෝජනාව එහිදී පිළිගැනීමට ලක් විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment