ජනපති හා ඉන්දීය විදේශ ඇමැති අතර හමුවක්

26

විවෘත කිරීම්වලටත් දෙදෙනාම එක්වෙති

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර නිල හමුව ඊයේ (20 දා) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ඉන්දියාවේ නව රජය පත්වීමෙන් පසුව එරට රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙරට සිදුකරන පළමු සංචාරය සනිටුහන් කරමින් ඉන්දීය විදේශ ඇමැතිවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්විය.

ජනාධිපති මන්දිරය වෙත පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමැතිවරයා අතර නිල හමුව සිදු වූ අතර දෙරට අතර ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සමාලෝචනය කිරීමේ ද්විපාර්ශ්වික සාකච්ඡා ඉන් අනතුරුව ආරම්භ කෙරිණි.

මේ අතර ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවන් මගින් කෙරුණු ව්‍යාපෘති 03 ක් ජනතා අයිතියට පවරාදීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතාගේ සහභාගිත්වයෙන් සිදු විය.

ඉන්දීය නිවාස ව්‍යාපෘතිය යටතේ මහනුවර, නුවරඑළිය සහ මාතලේ ප්‍රදේශවල ඉදිකෙරුණු නිවාස 106ක් විවෘත කිරීමට අදාළ ඩිජිටල් සමරු ඵලකය නිරාවරණය කිරීමට පළමුව ජනාධිපතිවරයා සහ ඉන්දීය විදේශ ඇමැතිවරයා එක් වූහ.

ඩොලර් මිලියන 6ක ඉන්දීය ප්‍රදානයක් යටතේ ස්ථාපිත ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිල වශයෙන් විවෘත කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය එස්. ජයිශංකර් මහතා එක් වූහ.

මෙම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට කොළඹ නාවික හමුදා මූලස්ථානයේ මධ්‍යස්ථානයක්, හම්බන්තොට උප මධ්‍යස්ථානයක් ඇතුළුව ගාල්ල, ආරුගම්බේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්ලරාව, පේදුරුතුඩුව සහ මොල්ලිකුලම් යන ප්‍රදේශ ආශ්‍රිත මිනිසුන් රහිත සවිකිරීම් ද ඇතුළත් වේ.

විදේශ කටයුතු ඇමැති ජනාධිපති නීතිඥ අලි සබි්‍ර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා ඇතුළු ඉන්දීය දූත පිරිස අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment