ජර්මන් නැටුමෙන් දෙමාපියන් වසඟකර ලක්‍ෂ 50කට විදලා! ජාත්‍යන්තර පාසල් ගුරුවරිය රිමාන්ඩ්

1147

ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කරවීමට යැයි පවසා දෙමව්පියන්ගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් රැගෙන වංචාකළ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලබන 23 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉකුත් 18 වෙනිදා නියම කළාය.

ගම්පහ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ ගම්පහ, ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි සැකකාර ගුරුවරියක් මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි.

ගම්පහ ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ලෙස සැකකාරිය සේවය කරන බව පොලිසිය පවසයි. ගුරු වෘත්තියේ නිරත සැකකාරිය එම ජාත්‍යන්තර පාසලේ දරුවන්ව ජර්මනියේ පැවැත්වෙන නර්තන වැඩමුළුවකට සහභාගි කළ හැකි බව දෙමාපියන්ට පවසා තිබේ. ඊට අවශ්‍ය ලිපි ලේඛන සෑදීම සඳහා යැයි පවසමින් සැකකාරිය දෙමාපියන්ගෙන් මුදල් ඉල්ලා ඇති බව අධිකරණයේදී සඳහන් විය. සැකකාරිය ලබාදුන් බැංකු ගිණුමට දෙමාපියන් වරින් වර මුදල් බැර කළද දරුවන්ව විදේශ ගත කිරීමට සැකකාරිය උනන්දුවක් නොදක්වා මුදල් වංචාකර ඇති බව පොලිසිය කීය.

දෙමව්පියන් සිව්දෙනකු කළ පැමිණිලි මත පරීක්ෂණ පවත්වා සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් මෙම පැමිණිලිකරුවන් සිව්දෙනාගෙන් පමණක් රුපියල් ලක්ෂ 50 කට ආසන්න මුදලක් සැකකාරිය වංචනික ලෙස ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.

පරීක්ෂණ අවසන් නොමැති බව පැමිණිල්ල මෙහෙයවමින් ගම්පහ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපතිනි පො.ප. ප්‍රියදර්ශනී සේනාරත්න නිලධාරිනිය අධිකරණය හමුවේ පවසා සිටියාය. ගම්පහ මූලස්ථාන ප්‍ර.පො.ප. මොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment