ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරග හෙට සිට

1

යුපුන් හෙට පිටියට

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි සහ කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේ 102 වැන්න ජූනි මස 25, 26, 27 හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද (25දා) පෙ.ව. 07.45 ට පැවැත්වෙන පිරිමි හෙල්ල විසිකිරීමේ තරගයෙන් පිටිය තරග ඉසව් ආරම්භ කෙරෙන අතර පෙ.ව. 07.30 ට පැවැත්වෙන කාන්තා මීටර් 10,000 අවසාන තරග ඉසව්වෙන් ජවන තරග ඉසව් ආරම්භ කෙරේ.

මෙවර තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව ජය ගැනීම සඳහා සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග අතර තියුණු තරගකාරිත්වයක් නිර්මාණය වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අද පෙරවරුවේ මෙරට උපරිම හෙල්ල විසිකිරීමේ දක්ෂතාව ප්‍රදර්ශනයවනු ඇතැයි අනුමාන කළ හැකිය.

පසුගිය 2016 “රියෝ” ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කර ඇති සුමේධ රණසිංහ (මීටර් 83.04) මෙන්ම වත්මන් හෙල්ල විසිකිරීමේ ජාතික වාර්තා ලාභී රුමේෂ් තරංග (මීටර් 85.45) මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට වරම් ලබාගැනීමේ උත්සාහයක නිරතවීම අද දිනයේ දී කැපී පෙනෙයි.

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩඉම් තරගයක් ලෙස මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන දක්ෂතා පිළිගැනීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

දකුණු ආසියාවේ වේගවත්ම කෙටි දුර ධාවකයා ලෙස විරුදාවලී ලැබ සිටින යුපුන් අබේකෝන් හෙට (26) දිනයේ දී තම ප්‍රියතම ඉසව්ව වන මීටර් 100 ට එක්වීමට නියමිතය. මාස ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේදී තරග වදින අවස්ථාවක් බැවින් ඔහු තම උපරිම දක්ෂතාවය මෙරට තුළදී ප්‍රදර්ශනය කරනවාට නිසැකය. පාදයේ ඇති වූ සුළු ආබාධය සුවවීමෙන් අනතුරුව තම උපරිම දක්ෂතාවයට ළඟාවීම මෙම තරගාවලිය තුළ ඔහු අපේක්ෂා කරයි.

එබැවින්, මෙම ක්‍රීඩකයින්ට අමතරව මෙවර ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ තෝරා ගත් ඉසව් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ අතිශය තියුණු හා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි ද අනුමාන කළ හැකිය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සපිරි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම මෙරට ජාතික තලයට එබී බලන දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙවර තරගාවලිය සඳහා සහභාගි වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment