ජාතිය බල ගන්වන ලක්විජය

207

නොරොච්චෝලේ – ගල් අඟුරු මෙරට සමාජයට යුගල පද ලෙස දැනෙන පද වේ. ඒ තරමට ඒ වචන සමාජයට හුරුය. එසේ වීමට හේතු වන්නේ වයඹ පළාතේ කල්පිටිය – නොරොච්චෝලේ ගම්මානය ජාතියේ බලශක්ති අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සපයන භූමිය වීමත් ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන් පුවත් මැවීමත් නිසාය.

ලංකා විදුලි බල මණ්ඩලයට අයත් මෙරට ප්‍රථම සහ එකම ගල් අඟුරු තාප බලාගාරය වන ලක්විජය බලාගාරය මෙගාවොට් 900 ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි. 2006 වසරේ ජනවාරි මස, අදියර දෙකකින් ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කළ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ පළමු අදියර ලෙස 2011 ජූලි මාසයේදී මෙගාවොට් 300 ක් ජාතික පද්ධතියට එක් විය. දෙවන අදියර යටතේ 2014 මැයි මාසයේදී මෙගාවොට් 300ක් සහ 2014 ඔක්තෝබර් මාසයේදී තවත් මෙගාවොට් 300 ක් ලෙස ජනන යන්ත්‍ර 2 සහ 3 ජාතික විදුලිබල පද්ධතියට එකතු විය.

● අවශ්‍යතාවයෙන් 36%ක්

ලක්විජය බලාගාරයේ ධාරිතාව හා නිපදවිය හැකි ඒකක ප්‍රමාණයේ විශාලත්වය මත බලාගාරය ජාතික විදුලිබල පද්ධතියේ මූලික ජනන සැපයුම් (Base load) බලාගාරය ලෙස කටයුතු කරයි. වාර්ෂිකව ඒකක මිලියන 5,400 ක් පමණ නැතහොත් ශ්‍රී ලංකාවේ වාර්ෂික ගෘහස්ථ විදුලි අවශ්‍යතාව සම්පූර්ණයෙන්ම සපුරාලීමට ප්‍රමාණවත් ජනනයක්, ලක්විජය බලාගාරයෙන් සපයනු ලබයි. එය සංඛ්‍යාලේඛන ලෙස විස්තර කළහොත් රටේ වාර්ෂික විදුලි අවශ්‍යතාවයෙන් 36%කට ආසන්න බව ගණන් බලා තිබේ. බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා වාර්ෂිකව ගල් අඟුරු මෙටි්‍රක් ටොන් මිලියන 2.25 ක් අවශ්‍ය වන බව හඳුනාගෙන තිබේ. ගල් අඟුරු ගොඩබෑමේ කාලය තුළ ගල් අඟුරු නැව් 40ක් පමණ අපේක්ෂා කරන අතර, එක් නැවක ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 60,000 ක් පමණ අඩංගුය. එක් ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මකවීමේදී පැයකට ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 110 ක් පමණ බොයිලේරුව තුළදී දහනය කරයි. ලක්විජය බලාගාරය ජාතිය බල ගන්වන පරිමාවය එයයි.

ගල් අඟුරු යනු කාර්මික විප්ලවයේ පටන් අද දක්වා වැදගත්ම බලශක්ති ප්‍රභවයක් වූ ස්වාභාවිකව පොසිල ඉන්ධනයකි. එය අද වන විට ද ලෝකයේ විදුලි බල සැපයුමෙන් 36%ක් පමණ ප්‍රමාණයක් සපයන ප්‍රධානතම ඉන්ධනයක් වෙයි. මේ වන විට ද ඇතැම් දියුණු රටවල මෙන්ම දියුණු වන රටවල් රැසක ද ප්‍රධානතම ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිත කරයි. සෙසු පොසිල ඉන්ධන ඉදිරි දශක 5 – 6කට අඩු කාලයක දී අවසන් වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබුව ද තවත් වසර 100 – 150ක් හෝ ඊටත් මදක් වැඩි කාලයක් සඳහා භාවිතයට ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත තිබීම, ඒ පිළිබඳ අවධානය යොමු වීමට හේතුවකි.

ගල් අඟුරු යනු මේ වන විට ලෝකයේ ඇති ලාබදායකම පොසිල ඉන්ධන ප්‍රභව අතරින් එකකි. මේ නිසා දියුණු වන රටවල බලශක්ති උත්පාදනයේ විශේෂ වැදගත්කමක් ගල් අඟුරුවලට ලැබී ඇත. ගල් අඟුරු නොතිබෙන්නට අපේ රටේ විදුලිබල නිෂ්පාදන පිරිවැය මේ වන විට අදට වඩා සැලකිය යුතු තරමකින් ඉහළ යා හැකි බව සත්‍යයකි. ගල් අඟුරු බලශක්තියක් ලෙස භාවිතා කිරීමේ වාසි ලෙස දීර්ඝකාලීනව ගල් අඟුරු ලබා ගැනීමේ හැකියාව, තාක්ෂණයේ දියුණුවත් සමග කාර්යක්ෂම පරිහරණය, පිරිවැය අඩුය, ස්ථායි බලශක්ති ප්‍රභවයක් වීම, අතුරු ඵලවල භාවිතය සඳහන් කළ හැකි වේ.

● ප්‍රධාන බලශක්ති උත්පාදනය

ගල් අඟුරු බලාගාරයක විදුලිය නිපදවනු ලබන්නේ අධි පීඩනයක් සහ අධි උෂ්ණත්වයක් සහිත හුමාලයේ ගැබ් වී ඇති ශක්තියෙන් තල බමනයක් කරකැවීම මගිනි. හුමාලය සෑදීම සඳහා ඉන්ධනයක් ලෙස ගල් අඟුරු යොදාගනු ලබයි. එක් ජනන යන්ත්‍රයක් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වීමේදී පැයකට ගල් අඟුරු මෙටි්‍රක් ටොන් 110 ක් පමණ බොයිලේරුව තුළදී දහනය කරයි. දහනය කිරීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රවාහන පටි මගින් බලාගාරය තුළට රැගෙනවිත් ගල් අඟුරු අඹරන යන්ත්‍ර මගින් ඉතා සියුම් කුඩු බවට අඹරා අධිපීඩිත වාතය සමග මිශ්‍ර කර බොයිලේරුව තුළට විදීම සිදු කරනු ලබයි. මෙසේ ඇතුළත් කරන ලද වායුව සමග මිශ්‍ර වී ඇති ගල් අඟුරු කුඩු දහනය වීමක් සිදු කරයි. එයින් නිපදවන තාප ශක්තිය මගින් ජලය හුමාලය බවට පත් වේ. බලාගාරය පණගැන්වීමේ දී සහ නැවැත්වීමේ දී දහන ඉන්ධනය ලෙස ඩීසල් භාවිත කෙරේ.

ජල විදුලි බලාගාරයක තල බමනය කැරකැවීමට ජල ප්‍රවාහයක් භාවිතා කරන පරිද්දෙන් අධිපීඩිත හුමාලය මගින් තලබමනය මිනිත්තුවකට වට 3000ක වේගයකින් කරකවනු ලබයි. ජනන යන්ත්‍රය (Generator) තල බමනය (steam turbine) සමග සෘජුවම සම්බන්ධ කර ඇති අතර ජනනය කරන ලද විදුලි බලය, බලාගාරයේ වායු පරිවරණ ග්‍රිඩ් උපපොළ (Gas Insulated Substation-GIS) මගින් අනුරාධපුර හා හලාවත උපපොළ මධ්‍යස්ථාන (Grid substation) හරහා ජාතික විදුලිබල පද්ධතියට එක් කරයි. ජනනය කරන විදුලිය 20 Kv වෝල්ටීයතාවයකින් වන අතර සම්ප්‍රේෂණයට පෙර එය 220 Kv වොල්ටීයතාවයකට වර්ධනය කරනු ලබයි.

● බලාගාරයේ මෙහෙයුම් කටයුතු

ලක්විජය බලාගාරයේ සියලු මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන්නේ සුවිශේෂිත පරිගණක පද්ධතියකින් සමන්විත ප්‍රධාන පාලන මැදිරියේ සිටය. බලාගාරයේ ස්ථාපිත සියලු යන්ත්‍රෝපකරණවල තත්ත්වය හා ක්‍රියාකාරිත්වය මෙම මැදිරියේ සිට විධිමත් ලෙස නිරීක්ෂණය හා පාලනය සිදු කරනු ලැබේ. ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්‍යස්ථානයේ අවශ්‍යතාව අනුව බලාගාරයෙන් නිපදවන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට මුදා හරිනු ලබයි.

2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ශුද්ධ ශක්තිය විදුලි ප්‍රමාණය නිපදවීමට, ගල්අඟුරු සඳහා වියදම රුපියල් බිලියන 292ක් පමණ වූ අතර එම විදුලි ප්‍රමාණයම ඒකාබද්ධ චක්‍ර බලාගාරය (combined cycle power plant) නිපද වූයේ නම් රුපියල් බිලියන 965ක් පමණ වැයවනු ඇත. ඒ අනුව ලක්විජය බලාගාරය නිසා අත්වූ ලාභය ආසන්න වශයෙන් රුපියල් බිලියන 673 කි. ලක්විජය විදුලි බලාගාරය ඉදිකිරීම සඳහා වැයවූ මුළු මුදල රුපියල් බිලියන 138ක් පමණ වේ. එසේ සලකන විට, 2021 වර්ෂයේ අවසානය වනවිට ලක්විජය බලාගාරය එය ඉදිකිරීමට වැය වූ මුදල මෙන් හතර ගුණයකටත් වැඩි ප්‍රමාණයක ඉතිරියක් අත්කර දී තිබේ.

ජාතියේ බලශක්ති බලවතා ලෙස අනභිභවනීය සේවයක් සලසන ලක්විජය බලාගාරය නූතන ලක්දිව ශිෂ්ටාචාරයේ බලශක්ති බර දරා ගත් කුලුන ය. ලක්විජය බලාගාරය සැබැවින් ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර විය යුතු සම්පතකි.

advertistmentadvertistment
advertistmentadvertistment