පොතට කලින් බැලිය යුතු සේකරගේ පිටකවරය

267

ප්‍රතිභාපූර්ණ යන විශේෂණයෙන් හැඳින්වීමට සාකල්‍යයෙන් ම සුදුස්සෙකි, මහගමසේකර. නෙක කලා විෂයයන්හි පැතිරුණු ඔහුගේ සුවිශේෂී ප්‍රතිභාව ගැන අමුතුවෙන් හඳුන්වා දියයුතු නොවේ. අපගේ මේ පොඩි උත්සාහය එකම එක පොත් පිටකවරයක් දෙසට එබී ඒ අසීමිත ප්‍රතිභාවෙන් මඳක් දැකීමට යි.

ගසට පොත්ත මෙන් පොතට පිටකවරය යි. එසේ ම හදෙහි පිළිබිඹුව මුහුණෙහි වැටෙන්නාක් මෙන් පොතෙහි අන්තර්ගතයේ සේයාව පිටකවරයෙහි වැටේ. පොතක පිටකවරය ඉතා වැදගත් අංගයක් වන්නේ පොත කියැවීමට පෙර පොත ගැන කියැවීමට එය උපකාර වන බැවිනි. පිටකවරය නිමැවිය යුතු වන්නේ පොතෙහි තේමාවට, අන්තර්ගතයට මෙන් ම එහි නමට ද සරි ලන පරිදි ය. මේ සියල්ල කිරීමට ඇත්තේ සුළු ඉඩකි. සියල්ල සැකැවින් දැක්විය යුතු වේ. මේ ලෙසින් බලන කල පිටකවරයක් නිර්මාණය කිරීම ලෙහෙසි-පහසු කාරියක් නො වන බව පැහැදිලි ය. චිත්‍ර ශිල්පියකු ද වූ මහගමසේකර එවක පළ වූ පොත්වලට නිර්මාණය කළ පිටකවර ඔහුගේ අනෙක් නිර්මාණ මෙන් ම විශිෂ්ට ප්‍රතිභාවක් උසුලා සිටී.

ගුණදාස අමරසේකරගේ ‘අලියා සහ අන්ධයෝ’ නම් සාහිත්‍ය විචාර සංග්‍රහය පළ වන්නේ 1966 වසරේ දී ය. (දෙවැනි මුද්‍රණය – 2014) මේ විශිෂ්ට විචාර කෘතියේ පිටකවරය නිර්මාණය කොට තිබෙන්නේ මහගමසේකර ය. උක්ත ග්‍රන්ථ නාමයෙන් අමරසේකර අදහස් කරන්නේ ‘අපගේ සාහිත්‍ය විචාරකයින් ද සාහිත්‍යය විග්‍රහ කරන්නේ අලියාගේ හැඩය කී අන්ධයින් පරිද්දෙන් ය යන්න යි. පොතේ නම ‘අලියා සහ අන්ධයෝ’ ය. පිටකවරය කෙසේ විය යුතුද? සේකරගේ ප්‍රතිභාව එළියට එයි;

පිටකවරයේ දැක්වෙන්නේ ඇසක කොටසකි. සමීප අයුරින් එය දැක්වෙන අතර පහළ තුනෙන් දෙකක පමණ කොටසක කණිනිකාව නැත්නම් කළු ඉංගිරියාවේ කොටසක් ද ඉහළ අනෙක් කොටසෙහි පිටත සුදු ඉංගිරියාවේ කොටසක් ද දැක්වේ. සුදු, කළු හා නිල් වර්ණ පමණක් භාවිත කොට තිබේ. නිල් හා කළු පැහැවලින් කළු ඉංගිරියාව දක්වන්නේ මෙසේ ය; ඇසට වැටෙන ආලෝකයක් නිසා දිලිසෙන කොටස නිල් පැහැ ගනී. අනෙක් කොටස කළු ය. එම කළු පැහැ කොටස පෙනෙන්නේ අලියෙකුගේ ශරීරයේ ඉදිරි පස කොටසෙහි ඡායාවක් ලෙසිනි. නිල් පැහැය යොදාගෙන එහි සොඬය හා කකුල් අතර ඉඩ වෙන් කොට තිබේ. මෙසේ ඇස තුළ අපට පෙනෙන්නේ අලියෙකි! ‘අලියා’ සහ ‘අන්ධයාගේ ඇස’ මීළඟට ඉහළ සුදු පැහැ කොටසෙහි පොතේ නමත් (අලියා සහ අන්ධයෝ) කතුවරයාගේ නමත් (ගුණදාස අමරසේකර) ලියා තිබේ. නිකම් ම නිකම් අකුරෙන් නොවේ. අලි හැඩයේ වටකුරු අකුරෙනි. වෙසෙසින් ම ‘අලියා’, ‘අන්ධයෝ’ යන වචන දෙකෙහි අකුරු වඩා විශාල වත් පෘෂ්ඨිමත් වටකුරු හැඩයෙනුත් ලියා තිබීමෙන් අපගේ මනසට හසු කැරෙන්නේ අලියෙකුගේ හැඩය පිළිබඳ හැඟීමෙකි. අකුරු පටන්ගන්නේ හකුළුවාගත් සොඬක ආකාරයෙනි. හල් කිරීම් පෙනෙන්නේ අඹරවාගත් වලිග කෙළවරක් අයුරෙනි. මේ නිසා එම අකුරු දැකීමෙන් ම පොතේ නම සිතෙහි සටහන් වේ. මීළඟට කතුවරයාගේ නම වන ‘ගුණදාස අමරසේකර’ යන්න ලිවීමේ දී ද තවත් අපූරුවක් එක් කොට තිබෙනු පෙනේ. ‘ගු’ අකුර අවසන් කොට තිබෙන්නේ ඔසොවාගත් වලිග කෙළවරක් මෙනි. ‘දා’ අකුර දෙස බලතොත් එය අකුරක් නොව මුහුණකි! පැත්තට හැරී සිටින මුහුණක් ඇඳ දක්වන රේඛාවක් ලෙසිනි, ඒ අකුර ලියා ඇත්තේ. මේ අන්ධයාගේ මුහුණ ද? මෙසේ ලියා ඇති අකුරුවලින් ද පොතේ නම යළි යළි රැවු නැඟෙන්නාක් මෙන් අපට දැනෙනු නොවේ ද?

එකවර බැලූ කල මේ පිටකවරය මහත් සේ සිත් ඇද බැඳගන්නා විචිත්‍රවත් නිර්මාණයක් ලෙස නො පෙනෙනු ඇත. එය වර්ණවත් ද නොවේ. ඉහළ සුදු පාට මත කළු පාටින් ලියූ අකුරුත් පහළ නිල් හා කළු පාටවල් යොදා ඇති අයුරකුත් පමණක් ලෙස යමෙකු මෙය දැකිය හැක. එහෙත් මෙහි සඟවා තිබෙන අපූරුව අල්ලාගන්නා තැනැත්තා විඳින්නේ මහත් රසයෙකි. මේ පිටකවරය ද පරෙස්සමෙන් කියැවිය යුතු, වටහා ගතයුතු, රස විඳියයුතු නිර්මාණයෙකි. අප මුලින් කියූ ලෙස පොතේ නමටත් තේමාවටත් අන්තර්ගතයටත් සැකැවි සේයාවක් සැපයීමට මේ පිටකවරය සමත් වී තිබේ.

පොතක පිටකවර නිර්මාණය ලෙහෙසි-පහසු කාරියක් නො වන බව අප මුලින් කීයේ මේ හෙයිනි. එයට නිර්මාණාත්මක ඇසක් තිබිය යුතු වේ. එසේ ම සමස්තයක් එක මිටට හකුළුවා සංකේතවත් කිරීමෙහි සමත් ප්‍රතිභාවක් ද අවශ්‍ය වේ. පොත් පිටකවර නිර්මාණය ද මහගමසේකර වැනි අසීමිත ප්‍රතිභාවෙකින් හෙබි නිර්මාණකරුවන් අතින් පෝෂණය වියයුතු කලාවෙකි.

එහෙත් අද තත්ත්වය කෙසේද? ඇත්තට ම අද නිර්මාණාත්මක පොත් පිටකවර නිර්මාණය වේද? පරිගණකයෙන් මුහු කොට සැකැසෙන නොයෙක් දෑ විනා සිතුවම්, රටා, අකුරු ඇඳීමක් සිදු වේද? කොහි හෝ තිබෙන පින්තූරයක් ගෙන ඒ මත අකුරු යෙදීම කවර නිර්මාණයක්ද? ඛේදය නම් එසේ කොහෙන් හෝ පිටපත් කැරගන්නා පිටකවරවලට සම්මාන පවා පිදීම යි! පොතක පිටකවරය ද පොත මෙන් ම වැදගත් නිර්මාණ කාර්යයෙකි. මන්ද යත්, පොතට කලින් කියවන්නේ පිටකවරය වන හෙයිනි.

චන්දන ඉලන්දාරිගේ

advertistmentadvertistment
advertistmentadvertistment