ජාතිවාදීන් පක්‍ෂයට ආවා ඒ නිසා මම අස්වුණා

437

මව්බිම ජනතා පක්‍ෂයෙන් අස්වුණු ආචාර්ය සරත් අමුණුගම

තමාගේ මුළු දේශපාලන ජීවිතයේම අන්තවාදීන් හා ජාතිවාදීන් සමග ගමනක් නොතිබූ බවත් එවැනි අන්තවාදීන් සහ ජාතිවාදීන් සමග මව්බිම ජනතා පක්‍ෂය එකතුවීම නිසා එම පක්‍ෂයේ තමා දැරූ සියලු තනතුරුවලින් ඉවත්වූ බවත් හිටපු ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ‘දිවයිනට’ ඊයේ (29දා) පැවසීය.

අවස්ථාවාදය සහ ජනතාව ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවත් පැවසූ අමුණුගම මහතා තමා මව්බිම ජනතා පක්‍ෂය තුළින් නූතන තාරුණ්‍ය ආකර්ෂණය කර ගනිමින් ජනතාවාදී දේශපාලන ගමනක් අපේක්‍ෂා කළ බවත් කීය.

අන්තවාදය සහ ජාතිවාදය එදා මෙන්ම අදත්, හෙටත් තමා බැහැර කරන බවත්, දේශමාමකත්වය හා අන්තවාදය එකිනෙකට වෙනස් බව අවබෝධ කරගත යුතු බවත් ඔහු පැවසීය.

ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්‍ෂයේ ගම්මන්පිල යන මහත්වරුන් සමඟ මව්බිම ජනතා පක්‍ෂය සන්ධාන ගතවීම තමා අනුමත නොකරන නිසා එම පක්‍ෂයේ තනතුරුවලින් ඉවත් වූ බවද ඔහු කීය.

එවැනි පිරිස් සමග ගිය පිරිස්වලට අත්වූ ඉරණමට උදාහරණ පවා ඇතැයි කී අමුණුගම මහතා එවැනි පිරිස් සමඟ එකතුවීමේදී වරක් දෙවරක් නොව කිහිපවරක් සිතාබැලිය යුතු බවද වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment