(සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය පැට්ටි්‍රක් රත්නායක යන විද්වතුන්ගේ අදහස් ඇසුරින් මෙම සටහන සැකසිණි)
‘කන්ද උඩ ගින්දර වනාහී සිංහල ඓතිහාසික නවකතා නාමාවලියට එක්වන තවත් සුවිශේෂ කෘතියකි. ඊට පාදක වී ඇත්තේ අප හැමදාමත් කියවා ඇති, අසා ඇති, දැක ඇති දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තය වුවත්, මෙම අභිනව කියවීම සාම්ප්‍රදායික පුවතට හාත්පසින්ම වෙනස්ය; අපූර්වය.
මෙය රචනා කරන්නේ ජැක්සන් ඇන්තනී නමැති නවකතාකරුවාය! එය ඔහුට ආගන්තුක ආමන්ත්‍රණයකි. බොහෝ දෙනා ඔහු හඳුනාගෙන සිටියේ විශිෂ්ට වේදිකා නළුවකු හැටියටය. රූපවාහිනි සහ සිනමා නළුවකු හැටියටය; චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු හෝ ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු හැටියටය; තීරු ලිපි රචකයකු හැටියටය; සම්ප්‍රවේශකයකු හැටියටය; ගේය කාව්‍ය කර්තෘවරයකු හෝ ගායකයකු හැටියටය.
මෙතැන් පටන් ඔහු ප්‍රශස්ත නවකතාකරුවකු ලෙස රසික ප්‍රජාව හඳුනා ගන්නවා ඇත.
බොහෝ වෙහෙස මහන්සිවී ඒකරාශී කළ ඓතිහාසික දත්ත සම්භාරයක් ස්වකීය ප්‍රබන්ධය සමග ඓන්ද්‍රීය ලෙස බද්ධ කරමින් ඔහු ‘කන්ද උඩ ගින්දර’ රචනා කරන්නේ කෘතහස්ත නවකතාකරුවකු පරිද්දෙනි.
ඔහුගේ කාව්‍යාත්මක භාෂා භාවිතය ගැන, රචනා ශෛලිය ගැන හටගත් විස්මය, දුරීභූත වූයේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විෂය පිළිබඳ ගෞරව උපාධිධරයකු බව මෙනෙහිවීමෙන් පසුවය.”
සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ බැව් සටහන් කළේ පසුගියදා අප අතරින් සදහටම වෙන්ව නික්ම ගිය ජැක්සන් ඇත්තනී නම් වූ සම්මානනීය ප්‍රතිභාපූර්ණ රංගධරයා විසින් රචිත ප්‍රථම නවකතාව වූ ‘කන්ද උඩ ගින්දර’ කෘතිය පාඨකයාට හඳුන්වා දුන් හමාර සටහන වශයෙනි.
සීමාසහිත ඇම්. ඩී. ගුණසේන ප්‍රකාශනයක් වූ තම කෘතිය පිළිබඳව මීට වසර කීපයකට ඉහතදී (2019) ජැක්සන් ඇන්තනී නම් කතාකරුවා මෙවන් සටහනක් තැබීය. මේ ජැක්සන්ගේ හඬ පෙළහරයි.
“දීප වංශය, ථූප වංශය, මහා වංශය අප සතු වූවාට ‘සිතුවිලි වංශය’ කියා ඉතිහාස මූලාශ්‍ර කෘතියක් අප සතුවී නැත. ඍග් වේදය, යජුර් වේදය, සාම වේදය, අථර්ව වේදය, බ්‍රහ්මණ සහ උපනිෂද් අද ඉපැරණි ලියවිලි වනාහී ආදී ඉන්දීයයන්ගේ සිතුවිලි වංශය යැයි කෙනකුට තර්ක කළ හැක. ඒ දාර්ශනික සිතුවිලි රචනාව පසුකාලීනව ඔවුහු මහා භාරතාදී ෆැන්ටසි වීර කාව්‍යකරණයටත් අර්ථ ශාස්ත්‍ර, මනුස්මෘති සහ කාම සූත්‍රාදී සමාජානුයෝජන රචනා බවටත් පත්කර ගත්තේය.
භාරතීයයාට අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ කියා සිව් වැදෑරුමක සිතුවිලි වගාවක් තිබූ අතර අපි ථෙරවාදී බුදු දහමින් හික්මවී ධර්ම සහ මෝක්ෂ යන මාර්ග කෙරෙහි පමණක් අපේ සාහිත්‍යයේ වැඩි නැඹුරුවක් ලබා ගත්තෙමු. එහෙයින් අපේ වංශකතාවල අපට හමුවන චරිතයන්හි දේශපාලන හා ආගමික ක්‍රියාකාරකම් හැර ඔවුන්ගේ සිතුවිලි කෙරෙහි පාඨක අවධානය යොමුවන අවස්ථා විරලය.
නිර්මාණකරුවා වනාහී සිතුවිලි අනුමානය මත සන්දර්භය ගොඩනගා ගන්නා කලාත්මක භාවිතාවක රැඳෙන්නේය. එහෙයින් ඔහු ඉතිහාසය අන්වීක්ෂණය කරන්නේ අධ්‍යාත්ම අන්තඃකරණයකින් සිතුවිලි අනුමාන කර ගනිමින් යැයි මට සිතේ. අනුමානය ඉතිහාසඥයාගේ ශබ්ද කෝෂයට අකැප වචනයකි. එහෙත් කලාකරුවා අනුමාණයෙන් මහත් ඵල ලබයි.
‘කන්ද උඩ ගින්දර’ වනාහී ලංකා ඉතිහාසයේ මධ්‍යකාලීන යුගයේ මහනුවර අවධියේ, වංශකතාගත රාජ්‍ය දේශපාලන ඉතිහාසය දෙස සිතුවිලි අනුමානයකින් බලන්නට ගත් සාහිත්‍යයික උත්සාහයකි. මෙහි ඇතුළත් බොහෝ චරිත, සිද්ධි, ස්ථාන, වර්ෂ සහ කාව්‍ය ආදිය පර්යේෂණයෙන් නිරීක්‍ෂණයෙන් සහ ශාස්ත්‍රෝද්ග්‍රහණයෙන් සොයාගත් දුර්ලභ ඓතිහාසික සාධකයන්ය. ඒ ඓතිහාසික කාරණා කාරකයන්ගේ ගැටුම සඳහා පාදක වන සිතුවිලි සහ ස්මෘති වනාහී නිර්මාණාත්මක අනුමානයන්ය.
ඉතිහාසය ගවේෂණය කරන නිර්මාණකරුවාට වංශ කතාවන්හි හමුවන චින්තනමය රික්තයන් පියවීම සඳහා ඔහු යොදන අනුමානය අවසාන විග්‍රහයේදී මූලාශ්‍රය මත සමපාත විය යුතු වන්නේය. එසේ නොවූ කල ඔහු ඉතිහාසය විකෘති කළේ යැයි ප්‍රාමාණිකයෝ දොස් නගති. ‘කන්ද උඩ ගින්දර’ සඳහා පාදක වන්නේ ලංකා ඉතිහාසයේ හමුවන ඉතා ගැටුම්කාරී අවධියකි. එය 1706 දී ආරම්භ වී වසර දහයක පමණ කාලයක් තුළ සිදුවන සිද්ධිදාමයක් මත පදනම ලබයි.
මහාවංශයේ ලන්දේසි යුගයේ ඉතා කුඩා පරිච්ඡේදයකින් දැක්වෙන මේ දශකය වනාහී ලාංකේය ඉතිහාසයේ ඉදිරි අවධිවල මහා දේශපාලන ගින්නක් හටගන්නට අවශ්‍ය ගිනි පුළිඟු දල්වනු ලැබූ අවධියයි. එහෙයින් මේ සංක්‍රාන්ති කලාපය ගැටුම්කාරීය. නාටකීයය. උත්ප්‍රාසාත්මකය. ඒ තරමින්ම දේශපාලනිකය.
‘කන්ද උඩ ගින්දර’ ලංකා රාජාවලියේ හමුවන අවසාන සිංහල රජ්ජුරුවන් වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රාජ්‍ය කාලයෙන් කාර්තුවකට සමාන වකවානුවකි. එතුමෝ ක්‍රි.ව. 1707 සිට 1739 දක්වා වසර 32ක් මෙරට රජකම් කළෝය. එහෙත් ඒ දීර්ඝ කාලය සඳහා මහාවංශයේ සුළු ඉඩක් වෙන්කිරීම හේතුවෙන්, මේ යුගය ඉතිහාස විද්‍යාවේ අඳුරු කාලපරිච්ඡේදයක් බවට පත්වීමට හේතුවී තිබේ.
එහෙත් නූතන ඉතිහාසඥයින්ගේ සොයා ගැනීම් අනුව මේ යුගය ලක් ඉතිහාසයේ ඉතා වැදගත් කාලයකි. දෙවන විමලධර්මසූරිය, ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (කුණ්ඩසාලේ කුමාරයා), දස්කොන් අධිකාරම, ප්‍රමිලා දේවී, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිලමේ, රම්මොලක මහාධිකාරම, යාලේගොඩ දෙවන අධිකාරම, ලෙව්කේ නිලමේ, වැලිවිට සරණංකර සාමණේර,
සූරියගොඩ උන්නාන්සේ, පට්ටිය බණ්ඩාර, පිට්ටි නායක්කර්, ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා,
ඉග්නේෂියස් අල්මේදා පියතුමා, කීරවැල්ලේ බිසෝ බණ්ඩාර, උනම්බුවේ කුමාරයා, විජයරාජ කුමාරයා, අලගු නායිදු නම් නාඩගම් ගුරුවරයා ආදී ඓතිහාසික චරිත සමූහය මේ වෘතාන්තය තුළ ජීවත් වෙති.
මේ චරිත එකිනෙක ගැටෙන විට ඇතිවන අන්තර් සිතුවිලි සහ සංවේදනා ‘කන්ද උඩ ගින්දර’ තුළ අන්වීක්ෂණය කරන්නට උත්සාහ කළෙමි. මීට වසර 320 කට පෙර මේ මහ පොළොවේ සත්‍ය වශයෙන්ම ජීවත් වූ මට නවකතාවකට පාදක කර ගන්නට තරම් උදාරවූ මේ කෘතියේ හමුවන සියලුම ඓතිහාසික මිනිසුන්ට සහ ගැහැනුන්ට පින්සිදු වේවා!”
අප මීළඟට අවධානය යොමු කරන්නේ ජැක්සන් ඇන්තනී විසින් රචිත 1998 දී ප්‍රකාශයට පත් කළ “එබැවින් බිහිවිය මනමේ” නමැති විචාර ග්‍රන්ථය කෙරෙහිය. සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක වියතාණන් ජැක්සන්ගේ මෙම ශාස්ත්‍රීය හා විචාරාත්මක වෑයම පිළිබඳව මෙසේ සටහන් කර සිටියි.
“1956 වසර ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි මෙන්ම කලා ඉතිහාසයෙහි ද සන්ධිස්ථානයක් විය. එම වසරේ මුල් වරට වේදිකාගත වුණු ‘මනමේ නාටකය’ අද දක්වාත් සිය දහස් ගණනින් රසික මනදොළ සපුරාලමින් වේදිකාගත වෙයි. මනමේ නාටකය සිංහල නාට්‍ය වංශයේ මං සලකුණක් වශයෙන් සැලකෙන්නේ කවර හේතු සාධක නිසාද? එය බිහිවූයේ කවර කාලපරිච්ඡේදයක කවර සමාජ පසුතලයකද?
කවර කලා කෘතියක හෝ අගය විමසා බැලීමේදී ඊට පසුබිම් වුණු කාල, දේශ, සමාජ ආදී සාධකයන් එහි නිර්මාතෘවරයා තුළ යථාර්ථය පිළිබඳව පවත්නා අවබෝධයත් හඳුනාගත යුතු වෙයි. ජැක්සන් ඇන්තනී සිය කෘතියෙන් උත්සාහ කරන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් යථාර්ථය ග්‍රහණය කොටගෙන සිටි ආකාරය සාවධානව විවරණය කිරීමටයි.
නළුවකු ගායකයකු නිවේදකයකු මෙන්ම විචාරකයකු ද වන ජැක්සන් මේ කෘතිය සම්පාදනය කිරීමෙහිලා උපයෝගී කොට ඇත්තේ තමා කලාකරුවකු මෙන් ලත් පරිචියත්, කොළඹ විශ්වවිද්‍යාලයේදී සිංහල සාහිත්‍ය හා විචාර කලාව හැදෑරීමෙන් ලත් දැනුමත්ය. මේ කෘතිය හේතු කොටගෙන, ‘මනමේ’ නාටකය දෙස නව ඇසකින් බලන්නටත්, සිංහල විචාර කලාව නව මං තලයකට පිවිසවන්නටත් ජැක්සන් සමත් වුවහොත් එය විශ්වවිද්‍යාල ගුරුවරුන් වන අපගේත් අමන්දානන්දයට හේතු වෙයි.”
‘එබැවින් බිහිවිය මනමේ’ සිය කෘතිය පිළිබඳව එදා ජැක්සන් ඇන්තනී තැබුවේ මෙවැනි සටහනකි.
“මනමේ නාටකය අප රට තුළ සිදු කළ සමාජ කාර්යය කුමක්ද? නොඑසේ නම් අප රට තුළ සිදුවූ කවරාකාර සමාජ කාර්යයක් හේතු කොටගෙන මනමේ බිහිවූවාද? එය දිගු සංවාදයකට මූලයකි. පුරෝගාමී නාට්‍ය කෘතියක් ලෙස මනමේ නාට්‍යය අඩසිය වසකට වැඩි කාලයක් අප අතර සම්භාවනාවට පාත්‍ර වී ඇත. එහෙත් වැඩි ප්‍රතිශතයකින් යුතුව අප සරච්චන්ද්‍ර සහ මනමේ දකින්නේ සෞන්දර්යවාදියකුගේ මනෝවෘතයක් ලෙසයි. සමාජ මානවයකු ලෙස සරච්චන්ද්‍රයන්ගේ සමාජ කාර්යය සංවාද කළ අවස්ථා විරලය.
මේ කෘතියේ ආරම්මණය එයයි. මනමේ යනු සරච්චන්ද්‍රයන්ගේ පුද්ගලභාවයේ පිළිසිඳගත් මනෝමූලික හිතළු කතාවක් නොවේ. එය මේ රටේ අනාදිමත් සිතුවිලි පරම්පරාව දෙස විචක්ෂණව බලා සිටි සංවේදී නිර්මාණ ශිල්පියකුගේ නිස්සරණාධ්‍යාශයක අනගි විලාගමයකි. එහෙයින් අප මනමේ වින්දනය කළ යුත්තේ විමර්ශනය කළ යුත්තේ සමාජ කාර්යයකට සෑහෙන විචාර කෝනයකිනි.
මනමේ යනු මේ රටේ පොදු මහජනතාව පිළිබඳව, ඔවුන් වෙතම කළ නිර්මාණයකි. නමුත් මෙතුවක් මනමේ පිළිබඳ සංවාද ගොඩනැගුවෝ පොදු මහජනතාව නොවූහ. නාගරික ඉහළ මධ්‍යම පංතියේ මතධාරී බුද්ධිමතුන් විසින් සෞන්දර්යවාදීව, රසවාදීව එය විඳගත්හ. එහෙයින් මනමේ බුද්ධි ගෝචර සම්භාවනාවට පාත්‍ර විය. මෑතක සිට අ.පො.ස. උසස් පෙළ සඳහා මනමේ නිර්දේශ වී තිබේ. මෙය එක් අතකින් මනමේ පොදු ජනතාව අතර සංවාදයට විවර කිරීමක් ලෙස පෙනෙතත්, තරග විභාගයක ප්‍රශ්න පත්‍රයක හිරවීමෙන් සිදුවී ඇත්තේ මේ මහා කලා කෘතිය උත්තර පත්‍රයක කටපාඩම් උත්තරයක් බවට ලුහු වීමයි.”
ජැක්සන් ඇන්තනී විසින් සම්පාදිතව මෑතකදී අප අතට පත් නවතම කෘතිය වූයේ ‘මාලිනී න්‍යාය’ නමැති මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා හෙළයේ මහා රංගවේදිනිය පිළිබඳ ලියැවුණු කෘතියයි. ෆාස්ට් පබ්ලිෂින් සුරස පොතක් ලෙස එළිදැක්වුණු සිංහල හා ඉංග්‍රීසි ද්විභාෂිත මෙම කෘතිය පිළිබඳව මහාචාර්ය පැට්ටි්‍රක් රත්නායකයන් මෙසේ පවසයි.
“සෞන්දර්ය වේදයේ සෛද්ධාන්තික මානයන් මනා ලෙස යා කළ හැකි අපූර්ව කලා මාධ්‍යය වනුයේ මහා සිනමාවයි. චිත්‍රපට නැරඹීමෙන් ලැබූ උපරිම ආස්වාදනීය ආස්ථානය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරය ඉතා විශිෂ්ට ලෙස අත්පත් කරගනු ලැබුවේ 1970 දශකය හා ඒ කාලවකවානුවට තදාසන්න කාලය තුළ බිහිවූ චිත්‍රපට තුළින් බව සඳහන් කළ යුතුය.
ජන කලාවන්ගේ ඇසුරට අමතරව අපූර්ව ප්‍රවේශයක් වූ චිත්‍රපටයෙන් ඉස්මතු වූ සිනමාත්මක අත්දැකීමේදී සමාරම්භක සිහිවටනය වූයේ රුක්මණී දේවියයි. ඇයගේ කිරුළු පැළඳීම ප්‍රථම ශ්‍රී ලාංකේය සිනමා රාජධානියේ ප්‍රථම අග රැජින අභිෂේකයයි.
ශ්‍රී ලාංකේය සිනමා රාජධානියේ දෙවනුව අභිෂේක ලබන්නට චිත්‍රපට ලෝලී හදවත්වල නොමැකෙන සිහිවටන තබන මාලිනි සෙනෙහෙලතා ෆොන්සේකා නම් ඇය වාසනාවන්ත වනුයේ ජනහදවත් තුළින් ඉස්මතු වුණු සිනමාත්මක වාසනා ගුණය පාදක කර ගනිමිනි. ඒ අනුව දකුණු ආසියාතික ඉන්දීය ආභාෂය ද මිශ්‍රව ඇතිවුණු ශ්‍රී ලාංකීය අපූර්ව සිනමාත්මක ලෝකයේ සිහින රැජින වූයේ ද මාලිනී ෆොන්සේකාය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘මාලිනි ෆොන්සේකා රංගවේදය’ පිළිබඳ න්‍යායික විවරණයක යෙදෙන සිනමාවේදී, ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රධාරී ජැක්සන් ඇන්තනී විද්වතාණන් කර ඇති ප්‍රශස්ත මෙහෙය ශාස්ත්‍රාලයීය අධ්‍යයන සංස්කෘති හිතකාමී සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුය.”
ජැක්සන් ඇන්තනී නම් ලේඛකයා තම ‘මාලිනී න්‍යාය’ ග්‍රන්ථය පිළිබඳව මෙසේ සටහන් තැබීය.
“ලාංකේය සිනමා රංගනයේ අනාගත හැදෑරීම සඳහා අධ්‍යාපන ග්‍රන්ථයක පර්යේෂණ මූලය වන්නට මා කළ ගෞරවාරාධනය ඉතා සිතින් ඉවසූ මාලිනි ෆොන්සේකා රංගධාරිණියගේ නිහතමානී සෙනෙහසට මාගේ පළමු ස්තුතිය හිමිවේ.
භාරතීය රස සිද්ධාන්තයේ පැහැදිලි කිරීමක් වූ “ධී ශක්ති” වාසනා ගුණය ආසියාතික විඥානය ඔස්සේ ගොඩනැගුණු සංකල්පයක්. මාලිනි ෆොන්සේකා තම රංගාරම්භයේදීම දක්වා තිබූ ප්‍රවීණතාව කෙලෙසක උත්පාද වූවා දැයි ඇසෙන පැනයට දිය හැකි පිළිතුරත් එයම නොවේදැයි මම ඔබෙන් අසමි.”
එවැනිම ධී ශක්ති වාසනා ගුණයක් සහිතව ලක් පොළොව මත පහළ වී සාහිත්‍යයේද, නාට්‍යයේ ද, රූපවාහිනියේද, සිනමාවේද, සංගීතයේද, වාදනයේද, නර්තනයේද, ගායනයේ ද, පූරක භූමිකාවේද, මහා සිංහලේ වංශ කතාව ලේඛනයට නගමින් ලේඛක භූමිකාවේද, සකල කලාවන්ම ස්පර්ශ කරමින් ජන මනස පුබුදු කළ හදවත් සුවපත් කළ යුගයක් තැනූ මහා කලාකරුවාණනි ඔබේ මෙහෙවර සැමදා අප හද රැඳෙන අරුමයක්මැයි.