ජනවාර්ගික සහ ආගමික ගැටලු‍වලට විසඳුමක් ලබාගැනීමට සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරනවා

76

මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ 150 වැනි සංවත්සර උත්සවයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියයි

ජනවාර්ගික සහ ආගමික ගැටලු‍වලට විසඳුම් ලබා නොදී රටක් ලෙස ඉදිරියට යා නොහැකි බවත් ඒ සඳහා කඩිනම් විසඳුමක් ලබාගැනීමවෙනුවෙන් තමන් සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනවාර්ගික සහ ආගමික ගැටලු‍වලට විසඳුමක් ලබාගැනීමට සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරනවා

පසුගිය සමයේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටීම හේතුවෙන් අත්විඳින්නට සිදු වූ දරුණුම අත්දැකීමට ජාති, ආගම් බේදයකින් තොරව රටේ සියලු‍ ජනතාවට මුහුණ පෑමට සිදුවු බව සිහිපත් කළ ජනාධිපතිවරයා සියලු‍ බෙදීම් අවසන් කර අද රට වෙනුවෙන් සියලු‍දෙනා එකට එක්ව ඉදිරියට ගමන් කළ යුතුව තිබෙන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේබව සඳහන් කර සිටියේ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පෙරේදා (07) පැවති උත්සවයට එක්වෙමිනි.විද්‍යාලයටපැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය. පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ඨතා දැක්වූ විද්‍යාලයේ සිසුන්ට තිළිණ පත් ලබාදීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය. විද්‍යාලයේ සිසුන් විසින් ජාතික ගීය සිංහල මෙන්ම දමිළ භාෂාවෙන්ද ගායනා කිරීම විශේෂත්වයක් විය.

එහිදී වැඩිදුරටත් උත්සව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

60 දශකයේ අප පාසල් යන සමයේ කියමනක් තිබුනා තේජස දෙවියන්ට, ආශ්චර්ය ශාන්ත මයිකල්ට කියලා, මොකද ඔබේ පාසල එදා පැසිපන්දු තරගාවලියෙන් අඛණ්ඩවජයග්‍රහණය ලබාගත්තා. ශාන්ත මයිකල් පිලට එරෙහිව පැසිපන්දු තරගයක් ජය ගැනීම අසීරු වුණා. එසේ වුවද කණ්ඩායම් පැසිපන්දු ක්‍රීඩා කිරීමට අප එදා මඩකලපුවට පැමිණයා. ඒ ජයග්‍රහණය ලබා ගැනීමට සිතාගෙන නොවෙයි. තරගය අවසන් වූ විට එළරසිංහම් මහත්මයාගේ පොල් වත්තට ගොස් නාන්නයි. එම ස්ථානයේ තමයි අද පාසිකුඩා සංචාරක නිකේතනය තිබෙන්නේ. ඉතින් ශාන්ත මයිකල් විද්‍යාලය එදා හැඳින්වූයේ එලෙසයි.

පළමුව මෙම ශාන්ත මයිකල් විද්‍යාලය ආරම්භ කළ ජේසු නිකායික පියතුමන්ලාට අප ස්තූතිවන්ත විය යුතුයි. මෙය අද ජාතික පාසලක්. මම විදුල්පතිතුමාට කිව්වා මෙහි

ශ්‍රවණාගාරය අලු‍ත්වැඩියා කිරීමට යන වියදම මට දන්වා එවන්න කියලා. ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට මම සූදානම්. පාසල පුළුල් කිරීම සඳහා ඉඩම් අවශ්‍ය බව මට දැනුම්දී තිබෙනවා. ශාන්ත මයිකල් විද්‍යාලයට පමණක් නොවෙයි අනෙකුත් පාසල්වලටත් අවශ්‍ය ඉඩම් ඉදිරියේදී ලබාදීමට කටයුතු කරනවා. ආණ්ඩුකාරතුමා සහ රාජ්‍ය අමාත්‍යවරුන් එක් වෙලා සාකච්ඡා කර මීට අදාළව යෝජනාවක් මට ලබාදෙන්න කියා මම ඉල්ලනවා. ‍ මෙය කතෝලික ජේසු නිකායිකයින් විසින් ආරම්භ කරන ලද පාසලක්. ඔබේ වඩාත් ප්‍රසිද්ධ ආදි ශිෂ්‍යයා ස්වාමි විපුලානන්දන්ය.

ත්‍රිකුණාමලය නැගෙනහිර පළාතේ අගනුවර වන අතර නැගෙනහිර පළාතේ අධ්‍යයන මධ්‍යස්ථානය, මඩකලපුවයි. ඒඅනුව බුද්ධිමය ප්‍රාග්ධනය ඇති ස්ථානය මෙයයි. ඉතින් ඒතුළ ඔබ සියලු‍දෙනා රටට සේවයක් කර තිබෙනවා.

මගේ පාසල් කාලයෙන් පසු ඊළඟ වතාවේ මම මේ ප්‍රදේශයට පැමිණියේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි. ඒ වගේම ශාන්ත මයිකල් විද්‍යාලයට ඉල්ලීම් ගොඩක් තිබුණා. පාසල දියුණු කිරීමට යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට අපට හැකි වුණා.

පසුගිය යුද සමයේ ඔබට අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවුණා. මීට වසරකට පෙරත් එවැනිම අසීරු තත්ත්වයකට අප මුහුණ දුන්නා. කෙසේ වෙතත්, දැන් අප රටක් ලෙස අනාගතය දෙස බැලිය යුතුයි. එහිදී මෙම ශාන්ත මයිකල් විද්‍යාලයට මඟපෙන්වීමක් ලබාදිය හැකියි.

සංවර්ධනයට පෙර, මෙම ප්‍රදේශවල ජනතාව අතර සමගිය ගොඩනැගිය යුතුයි. මා ඉතා හොඳින් හඳුනන බිගේඩියර් බල්තසාර් මහතා මෙම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඔහු හමුදා මෙහෙයුම්වලට සහභාගී වූ නිලධාරියෙක්. ඒ වගේම එල්.ටී.ටී.ඊ. ව්‍යාපාරයට සහභාගි වූ ශිෂ්‍යයනුත් සිටියා. ඉතින් මේ පාසල තුළ සමාජයේ සෑම කොටසකම අය සිටියා. දැන් අප සියලු‍දෙනා එකට එක්ව ඉදිරියට යා යුතුයි. මට මෙතනදී සෑම සංගීත මාදිලියක්ම ඇසුණා. දෙවියන්ට යාඥා කරන හඬ, හින්දු සුභ පැතුම් පණිවිඩය, සිංහල ජයමංගල ගාථා සියලු‍ දේ මෙතනදී ඇසීමට ලැබුණා. ඒවගේම මෙතන දැකපු භරත නාට්‍යය ඇතැම් බාලිකා පාසල්වල දැකපු දේට වඩා හොඳ මට්ටමක තිබුණා. ඉතිහාසයේ යම් යම් බිඳිම් තිබුණා. අප එකිනෙකා හා සටන් කළා. එයින් සිදු වුණේ මේ රට අගාධයට ඇද වැටීම පමණයි. අප දේශපාලනික වශයෙනුත් සටන් කළා. එයින් අපි තවත් පහළට වැටුනා. අපි රට සම්පූර්ණයෙන්ම කඩා වැටීම හමුවේ අත්විඳින්න සිදුවෙන දරුණුම අත්දැකීම ලැබුවා. යුද්ධය පැවති සමයේදීවත් එලෙස සිදු වුණේ නැහැ.

මේ රට මම භාරගන්නා අවස්ථාව වන විට රටේ ගෑස් තිබුණේ නැහැ. පෙට්‍රල් තිබුණේ නැහැ.අපිට ආහාර තිබුණේ නැහැ. කොඩිවි වසංගතය පාලනය කිරීම කෙතරම් දුෂ්කර වූවාද කියා ඔබ දන්නවා. ජාති ආගම් බේදයකින් තොරව එම බලපෑමට අප සියලු‍දෙනාට මුහුණදීමට සිදු වුණා. අප සියලු‍දෙනාම පීඩාවට පත් වුණා.

දැන් අපි එයින් මිදිය යුතුයි. රජයට සැලසුම් සකස් කරන්න පුළුවන්. අපගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද කියා අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටිනවා.

රටක් ලෙස අප සියලු‍දෙනා එකට එක්ව ඉදිරියට යා යුතුයි. ආර්ථික සැලසුම් සකස් කළයුතුයි. ඒ අනුව රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට හැකියාව තිබෙනවා. ආගමික ප්‍රශ්න ජනවාර්ගික ප්‍රශ්න වෙනුවෙන් සටන් කරලා රට අගාධයට ඇද දමා තිබූ කාලය ඔබට මතක ඇති. එවන් කාලයකට නැවත අප ගමන් නොකළ යුතුයි.

වාර්ගික හෝ ආගමික වශයෙන් ඔබ සියලු‍දෙනා අනන්‍ය වූ ප්‍රශ්න තිබෙනවා. ඒ වගේම ගොවීන්ට, ධීවරයන්ට මේ සෑම සමාජ කණ්ඩායමකටම ප්‍රශ්න තිබෙනවා. අප මේවා විසඳාගෙන ඉදිරියට යා යුතුයි.

ශාන්ත මයිකල් විද්‍යාලයේ සිසුන් නමෝ නමෝ මාතා දෙමළ බසින් ගායනා කරන විට එය ඉතා පැහැදිලිව පෙන්නුම් කළා. මේ දෙකම එකයි. අපි හැමෝම කියන්නේ අපි එක මවකගේ දරුවෝ කියලා. ඔබ එය සිංහලෙන්

ගායනා කළත් දෙමළෙන් ගායනා කළත් ප්‍රශ්නයක් නැහැ.

අපි විශ්වවිද්‍යාලයට ගිය විට අපට විවිධ ප්‍රදේශවල, විවිධ ජාතිවල අය හමු වෙනවා. ඒ වගේම මෙම ප්‍රදේශවලටත් පැමිණි විට එවැනි ජන කොටස් හමුවෙනවා. අප සියලු‍දෙනා එකතුවෙලා කොහොමද ඉදිරියට යන්නේ. ඒ නිසා මෙම ජනවාර්ගික ප්‍රශ්නය සහ ආගමික ප්‍රශ්නය විසඳා ගැනීම පිළිබඳ මම සියලු‍ නායකයන් සමඟ සාකච්ඡා කරනවා. අපි ජනවාර්ගික ප්‍රශ්න සහ ආගමික ප්‍රශ්න විසඳා ගත යුතුයි. දෙවනුව, පළාත් සභාවලට වැඩි බලයක් බෙදාදීමට මා කැපවී සිටින බව කිව යුතුයි. පොලිස් බලතල පිළිබඳ කතාව පසෙකින් තැබිය හැකියි. එය ඔබට අවශ්‍ය අවස්ථාවක පසුව කරගත හැකියි. නමුත් බලතල ගොඩක් බෙදිය යුතු වෙනවා. පළමුව අප දේශපාලන ප්‍රශ්න සාකච්ඡා කර විසඳුමකට යා යුතුයි. දෙවනුව, බලය බෙදීම සම්බන්ධයෙන් පියවරින් පියවර ඉදිරියට යාමට අවශ්‍යයි. එය වේගයෙන් යා හැකි ගමනක් නොවෙයි. මානව හිමිකම් උල්ලංඝනය වීමක් සිදුවෙනවා නම් එය රට තුළම නිවැරදි කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා ජාත්‍යන්තරයට යාමට අවශ්‍යයි කියා මම විශ්වාස කරන්නේ නැහැ. අපි මෙය රට තුළම විසඳාගත යුතුයි. මෙහිදී සියලු‍ ප්‍රමිතීන් සපුරාලන බවට සහතික වී අප ඉදිරියට යමු.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්, රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්. වියාලේන්ද්‍රන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් යන මහත්වරුන්ද මඩකළපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ විදුහල්පති ඇන්ටන් බෙනඩික් මහතා, ආචාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් හා මව්පියන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment