වනවාසලදී දුම්රියේ ගැටුණු මෝටර් රථය ගිනිගෙන ඉංජිනේරුවා මියයයි

706

දවල්ට කෑම ගේන්න ගිහින්

මෙතන දැනට මරණ 20කට වැඩියි

ගේට්ටුවක් ඉල්ලා ලියුම් ලිව්වත්  වැඩක් වෙලා නෑ


කැලණිය වනවාසල දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරකින් සුඛෝපභෝගි මෝටර් රථයක ගමන් ගත් පුද්ගලයෙක් වාහනය තුළදීම පිළිස්සී  මියගියේය.

වනවාසලදී දුම්රියේ ගැටුණු මෝටර් රථය ගිනිගෙන ඉංජිනේරුවා මියයයි


කංකසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ ‘උත්තරදේවී’ දුම්රිය පළමුවැනිදා දහවල් 12.30ට පමණ වනවාසල දුම්රිය හරස් මාර්ගය පසුකරද්දී මෙම අනතුර සිදුවී ඇත.

මෙම අවාසනාවන්ත මරණයට ගොදුරු වී ඇත්තේ වත්තල හුණුපිටිය කල්‍යාණී මාවතේ පදිංචිව සිටි ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු නමැති 54 හැවිරිදි විවාහක තිදරු පියෙකි. පෞද්ගලික ආයතනයක ඉංජිනේරුවරයකු ලෙස සේවය කර ඇති ඔහු බිරිඳ අසනීපයෙන් පසුවූ බැවින් එදින දහවල් ආහාරය පිටතින් රැුගෙන ඒමට යන අතරතුරදී මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුවී ඇත.

වනවාසලදී දුම්රියේ ගැටුණු මෝටර් රථය ගිනිගෙන ඉංජිනේරුවා මියයයි

මියගිය තැනැත්තා නිවසින් පිටවීමට පෙර සිය පුතුටද තමා සමග එන ලෙස පවසා ඇති මුත් දරුවා වෙනත් වැඩක යෙදී සිටි බැවින් ඔහු තනිව නිවසින් බැහැර ගොස් ඇත.

විදුලි සීනුව හා ආලෝක සංඥා දැල්වෙමින් තිබියදී රථයේ රියැදුරු වාහනය ඉදිරියට ධාවනය කිරීම නිසා දුම්රියේ ඉදිරිපස පිහිටි යකඩ රවුමේ ඇමිණී රථය මීටර් 150ක් පමණ දුරට ගිනිගනිමින්ම ඇදී ගොස් ඇත. දුම්රිය එංජිම හා වාහනය ගිනි ගනිමින් රේල්පාරේ ඉදිරියට ඇදී ගොස් ඇළ මාර්ගයක් අසල නැවතී ඇත. මියගිය පුද්ගලයා වාහනය තුළ සිහිසුන්ව සිරවී සිට ඇත.

වහාම ක‍්‍රියාත්මක වූ ප‍්‍රදේශවාසී තරුණ පිරිස ඇළ මාර්ගයෙන් ජලය ගෙන ගින්න නිවා දමා රථයේ සිරවී සිටි පුද්ගලයා ඉවතට ගෙන සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට යවා ඇතත් ඒ වන විට ද ඔහු ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

ප‍්‍රදේශවාසීන් විසින් පෑලියගොඩ පොලිසියට සුවසැරියට සහ කොළඹ ගිනිනිවීම් අංශය ද දැනුවත් කර ඇති අතර මුදා ගැනීමේ කණ්ඩායමක් ද එහි පැමිණ ඇත. ගින්න නිවා දැමූ ප‍්‍රදේශවාසීන් වාහනයේ තිබී සොයාගත් මියගිය පුද්ගලයාගේ ජාතික හැඳුනුම් පතේ තිබූ ලිපිනයට අනුව ගොස් බිරිඳට දැනුම් දීමෙන් පසුව එහි පැමිණි බිරිඳ මහත් කම්පාවට පත්වෙමින් දරුවන්ට දහවල් ආහාරය ගෙන ඒමට සිය සැමියා නිවසින් පිටව ගිය බව පැවසුවාය. මෙම අනතුරින් සුඛෝපභෝගී මෝටර් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබුණි. දුම්රියේ ඉදිරිපස කොටස සහ එංජිමට ද බරපතළ හානි සිදුවී තිබිණි. ඉන්දියාවෙන් ආනයනය කළ එස් 13 වර්ගයට අයත් බලවේග කට්ටලයක් මෙලෙස අනතුරට ලක්වී ඇත.

වනවාසල ප‍්‍රජා පොලිස් කමිටුවේ සභාපති දයානන්ද විජේසේකර මහතා මෙම අනතුර පිළිබඳව මෙසේ පැවසුවේය. වනවාසල දුම්රිය හරස් මාර්ගයට ආරක්ෂිත ගේට්ටුවක් ඉල්ලා බලධාරීන්ට යවපු ලියුම් ගණන මතකයේ නැහැ. ඒ ඉල්ලීම ඉටු කර දෙන්න තවම කටයුතු කර නැහැ. මේ සිද්ධ වුණේ පළවෙනි අනතුරත් නොවේ. මෙතන අනතුරු වෙලා මීට පෙර විසිදෙනකුට වැඩි පිරිසක් මිය ගිහින් තියනවා. ගේට්ටුවක් නොමැති නිසා රියැදුරන් ඉවක් බවක් නැතිව වාහන දානවා. දැන්වත් මෙතනට ගේට්ටුවක් දෙන්න. විදුලි ආලෝක සංඥා පමණක් මෙතනට ප‍්‍රමාණවත් නෑ. සමහර වාහනවල රේඩියෝ දාලා. එක්කෝ රියැදුරෝ කනේ හෙඞ්සෙට් ගහලා. ඔවුන්ට බෙල් ඇහෙන්නේ නෑ. ලයිට් පේන්නේ නෑ.

කොළඹ ජාතික රෝහල් මෘතශරීරාගාරයේ තබා තිබූ ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතාගේ දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් පසුව 2 වැනිදා පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතව තිබිණි.

පෑලියගොඩ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් පරීක්ෂක මහින්ද සේනානායක මහතා ඇතුළු නිලධාරීහු සහ සොකෝ අංශයේ නිලධාරීහු අනතුර වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකළහ.

කැලණිය – මංගලා මදුරප්පෙරුම  – ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්,

advertistmentadvertistment
advertistmentadvertistment