ජිනීවා යෝජනාවට රටවල් 20 ක් පැමිණ නැහැ: යුක්රේනය ද ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

842

51 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට රටවල් 20ක් එකඟ වූ අතර රටවල් 20ක් ඡන්ද දීමට පැමිණ සිටියේ නැත.

රටවල් 7ක් යෝජනාවට එරෙහි විය.

බෙනිස්, බ්‍රසිලය, අයිවරිකෝස්ට්, ගාබන්, ඉන්දියාව, ජපානය, ලිබියාව, නැම්බියාව, නේපාලය, කටාර්, සෙනිගාලය, සෝමාලියාව, සුඩානය සහ එමීර් රාජ්‍යය ඡන්දය දීමට පැමිණ සිටියේ නැත.

ශ්‍රී ලංකාවට එරෙහි වූ රටවල් අතර යුක්රේනය ද විය. නෙදර්ලන්තය, ආර්මේනියාව, චෙක්, පින්ලන්තය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව, කොරියාව, පෝලන්තය, පැරගුවේ, ලක්සම්බර්ග්, ලිතුවේනියාව, ආර්ජන්ටිනාව, ජර්මනිය, මෙක්සිකෝව යන රටවල් ශ්‍රී ලංකාවට එරෙහි විය.

ඡන්දය විමසීමට පෙර කොටිඩයස්පෝරාව ජිනීවා තානාපතිවරුන් හමුවී ශ්‍රී ලංකාවට විරුද්ධ යෝජනාව වැඩි ඡන්දයෙන් ජයග්‍රහණයට කිරීමට දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන්, තමිල්නාඩුවේ පසුපති නායගම් නමැති කොටි හිතවාදී සංවිධානයට මුවාවී ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑමට මහත් පරිශ්‍රමයක් දැරීය.

ජිනීවා යෝජනාවට රටවල් 20 ක් පැමිණ නැහැ: යුක්රේනය ද ශ්‍රී ලංකාවට එරෙහි වෙයි

කොළඹ ඇමරිකානු තානාපතිනි ජූලි චුන් සහ බි්‍රතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ෆ්ට් ද එවැනිම උත්සාහයක් දරනු ලැබුවත් ඔවුන්ට පක්ෂව ලැබුණේ ඡන්ද 20 කි.

මැද පෙරදිග බලවත් කටාර් සහ එමීර් රාජ්‍ය සමූහය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඉන්දුනීසියාව ද ඡන්දය දීමට පැමිණ සිටියේ නැත. බොලිවියාව, කියුබාව, එරිටි්‍රයාව, පාකිස්තානය, උස්බෙකිස්තානය සහ වෙනිසුලාව, ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

ජිනීවා ආරංචි මාර්ග හෙළි කළේ මානව හිමිකම් සමුළුවට පැමිණ සිටි රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහිව අතිවිශාල මුදල් සම්භාරයක් වැය කළ බවයි. මැලේසියාව පවා ඡන්දය දීමෙන් වැළකී සිටියේය. නව ජිනීවා යෝජනාවට ඡන්ද 20ක් ලැබීම බටහිර රටවල පරාජයකි. ඉන්දියාවේ ඡන්දය ලබාගැනීමට රාජ්‍ය නොවන සංවිධාන දැරූ උත්සාහය ද අසාර්ථක විය. ඉන්දියාව ඡන්දය දුන්නේ නම් ඉන්දීය හමුදා භටයන්ට එරෙහි යුද අපරාධ චෝදනාවලට ද මුහුණ දීමට සිදුවන බව ඉන්දීය රජයට ඒත්තු ගැන්වී තිබිණි.

එසේම අනාගතයේදී ශ්‍රී ලංකාව යුද අපරාධ කළහොත් ඒ සඳහා සාක්ෂි සංරක්ෂණ කරලීමට ද නව යෝජනාවෙන් අවසර හිමි වේ. විදේශ ඇමැති අලි සබ්‍රි පැවසුවේ ඩයස්පෝරාව බරපතළ ලෙස ජිනීවා යෝජනාව සම්මත කිරීමට බලපෑම් කළ බවයි.

එසේ නම් ඩයස්පෝරාව සමග එක්ව කටයුතු කිරීමට රජය එකඟ වූයේ ඇයි? මහජන වැටුප් ලබන සුමන්තිරන් බදු රහිත වාහන සහ වෙනත් පහසුකම් ද ලබයි. ඔහු ජිනීවා ගියේ කෙසේද? ඒ පසුපති නායගම් සංවිධානයේ පිහිටෙනි. ඉන්දියාවේ දේශපාලනඥයෙක් මෙලෙස ඉන්දීය රජයට එරෙහිව ජීනීවා ගියේ නම් ඉන්දියාව ඔහුට එරෙහිව පියවර නොගනු ඇතැයි කිව හැකිද?

ශ්‍රී ලංකාවට මෙවැනි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදුවූයේ හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අඥාන දේශපන උපදෙස් ලැබීමයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ රටවල් යුද අපරාධ කර ඇත. එහෙත් ඊට අභියෝග එල්ල කිරීමෙන් වැළකුණි. නේස්බි සාමිගේ රහස් වාර්තාව පවා ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කිරීමට කිසිදු රජයක් ක්‍රියා කළේ නැත. එසේම ශ්‍රී ලංකාව මෙවර ද සිදු කළේ ජිනීවා යෝජනාවට විරෝධය පෑම පමණකි. මානව හිමිකම් සමුළුව ඇමතූ චීනය සහ පාකිස්තානය ජිනීවා යෝජනාව දේශපාලන මෙහෙයුමක් බව කියා සිටියේය.

මෙයට පෙර පැවැති මානව හිමිකම් යෝජනාවල දී බටහිරට රටවලට ඡන්ද 22ක් ලැබුණත් මෙවර එයට ඡන්ද 2ක් අඩු විය. මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව පසුබිමේ සිටියේ මානව හිමිකම් කවුන්සිලයේ උසස් නිලධාරිනියක් වූ යස්මින් සුකාය.ි ජර්මනියේ බර්ලින් නුවර දී මානව හිමිකම් ඔටෝ ගාන් සංවිධානය පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊශ්‍රායලය මැදිහත් වී එය නතර කරනු ලැබීය.

සුකා ඊශ්‍රායලය ද යුද අපරාධකරුවන් කිරීමට ක්‍රියා කිරීම නිසා ඊශ්‍රායලය ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට පියවර ගත්තේය. මෙම සම්මාන උත්සවය පැවැත්වීමට නියමිතව තිබූ බර්ලින් නගර ශාලාවේය. බර්ලින් නගරාධිපතිනි ෆ්‍රෙඩ්රිකා ජෙස්රේ තහනම් කර ඇත.

මින් හැඟ වෙන්නේ ඊශ්‍රායලය කෙතරම් බලවත් ද යන්නයි. මෙවන් පසුබිමක් මැද රටවල් 7ක් යෝජනාවට එරෙහි වී රටවල් 20 ක් ඡන්දය දීමෙන් වැළකී සිටිය ද ඡන්ද 20 ක් ලබා යෝජනාව සම්මත විය. එහිදී යුක්තිය ඉටුවී තිබේ ද?

එසේම එදා ජිනීවා යෝජනාවලට එරෙහිව ජිනීවා ගොස් විවිධ නාඩගම් දැක්වූ පාර්ශ්ව අද ශබ්දයක්වත් නැත. ඇතැමුන් රජයේ තනතුරුවලට රිංගා ගත් අතර තවත් පාර්ශ්ව දේශපාලන පත්වීම් ලබා ගත්හ.

ජිනීවා සටන තවමත් නතර වී නැත. කොටි ඩයස්පෝරාවේ ප්‍රධාන අරමුණ ගෝඨාභය රාජපක්ෂ පන්නා දැමීම ය. 2 වැනි අරමුණ හමුදාව යුද අපරාධකරුවන් කිරීමය. එය ද ඉටු විය. 3 වැනි අරමුණ දෙමළ ජනතාව සංහාරයට ලක්වූ බව ජාත්‍යන්තර ප්‍රජාව ලවා තහවුරු කර ගැනීමයි. එහෙත් රජය බලා සිටී. මේ අතර මානව හිමිකම් කවුන්සිලය බටහිර රූකඩයක් බව සනාථ වේ. බි්‍රතාන්‍ය රජය 2000 දී ත්‍රස්ත මර්දන පනතක් සම්මත කළ අතර මේ දක්වාම එය අහෝසි කර නැත.

එසේම ඇමරිකාව රෝම සම්මුතියට අත්සන් කර නැති නමුත් මානව හිමිකම් කවුන්සිලය එම සම්මුතියට අත්සන් කරන ලෙස ශ්‍රී ලංකාවට කියා සිටී.

ඇමරිකානු සෙබළුන්ට ජාත්‍යන්තර අධිකරණය විසින් නඩු පවරන බව පැවසූවිට ඇමරිකානු හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැවසුවේ ජාත්‍යන්තර අධිකරණයේ නඩුකාරයන්ගේ වත්කම් තහනම් කරන බවයි.

එහෙත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට එවන් අභියෝගයක් කර නැත. මේ පසුබිම මැද සිම්බාබ්වේ රාජ්‍යය මානව හිමිකම් කවුන්සිලයට චෝදනා කරමින් ත්‍රස්තවාදය මර්දනය කළ ශ්‍රී ලංකාවට නැඟී සිටීමට ඉඩදෙන ලෙස ද මානව හිමිකම් ප්‍රශ්නයට දේශපානනය භාවිත කිරීමෙන් වළකින ලෙස ද කියා සිටියේය. නයිජීරියාව ද එම ප්‍රකාශයට එකඟ විය. මේ ප්‍රකාශවලින් තහවුරු වූයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කළ බවට එල්ල වන චෝදනා දේශපාලනීකරණය වී ඇති බවයි. ඒ සඳහා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට තර්ජනයකර ඇත.

පසුගිය දිනෙක යුද අපරාධ ගැන සාක්කි සෙවීමට මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණ කණ්ඩායමක් එවීමට ගත් උත්සාහය ද ව්‍යාර්ථ විය. එසේම නව ජිනීවා යෝජනාව වූ 46/1 ද රජය ප්‍රතික්ෂේප කර ඇත. මේ අතර අලුත් සාක්කිකරුවන් ද එළියට පැමිණ ඇත. ජිනීවා වෙත පැමිණි හිටපු කොටි පිරිසක් ජෝශප් පරරාජසිංහම් නඩරාජා රවිරාජ් සහ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතන ගැන තොරතුරු හෙළි කරමින් මොවුන් පිල්ලෙයාන් සහ
කරුණාගේ හිතවතුන් බව ද පවසා තිබේ. එහෙත් වසර ගණනකට පසු මොවුන් සාක්කි දීමට ඉදිරිපත් වූයේ මන්ද යන්න බරපතළ සැකයට කරුණකි.

මේ පසුබිම මැද රුසියාව, චීනය, ඉරානය, සිම්බාබ්වේ සහ නයිජීරියාව යන රටවල් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය දේශපාලන සංවිධානයක් බවට පත් වී ඇතැයි චෝදනා නඟා ඇත. එහෙත් එම චෝදනාවලට ප්‍රතිචාර නො දක්වන මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමේ ඒකපාක්ෂික ක්‍රියාමාර්ගයකට පිවිස තිබේ. මේ වනවිට ලොව කිසිදු රටකට ඉදිරිපත් නොවූ තරම් ජිනීවා යෝජනාවන් 6ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී තිබේ. ඊට හේතුව වූයේ පසුගිය ආණ්ඩු දුර්වලව එකී යෝජනාවලට මුහුණ දීමයි.

● කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment