අධ්‍යාත්මක පදනම මොඩලය කරගත් සර්වෝදය කැපවීම

274
සර්වෝදය ව්‍යාපාරයට දෙසැම්බර් 8 වැනි දිනට වසර 65 ක් පිරීම නිමිත්තෙනි.

සර්වෝදය වචනය මුල්වරට භාවිතා කොට ඇත්තේ මහත්මා ගාන්ධිතුමා විසිනි. ගාන්ධීගේ අභාවයෙන් පසුව ඔහුගේ දේශපාලන ජීවිතයට ශ්‍රී නේරු උරුම කරුවූ අතර අධ්‍යාත්මික හා දාර්ශනික උරුමය ඉදිරියට ගෙන ගියේ සර්වෝදයේ මාර්ගෝපදේශකයා වශයෙන් සැලකෙන විනෝබා භාවේ තුමන් විසිනි. ඉන්දීය නිදහස් සටනට ජීවය දුන් ප්‍රබල නායකයෙකු වූ ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් 1948 සේවා ග්‍රාමයේදී පැවැති රැස්වීමේදී සර්වෝදය සමාජ ක්‍රමයක් ඇති කිරීමේ මූලික පියවර ගෙන තිබේ. දුප්පත් කමින් තොර සුඛෝපභෝගී බවෙන් තොර සියල්ලන්ගේ උදාව ලෙස සර්වෝදය අර්ථ දක්වා තිබේ.

දිවයිනේ දීප්තිමත් පාසලක් වන කොළඹ නාලන්දා විද්‍යාලයේ සමාජ සේවා සංගමය සර්වෝදය බවට රූපාන්තරනය වන්නේ 1962 දීය. නාලන්දා සමාජ සේවා සංගමයේ උප සභාපති වූ ඒ. ටී. ආරියරත්න මහතා නාලන්දා විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙකි. පාසල් දරුවන්ට පන්ති කාමරයෙන් බාහිරව සමාජ සේවා අත්දැකීම් ලබාදීමට දරන ලද උත්සාහයක් ලෙස 1958 දෙසැම්බර් 8 වැනිදා පැවැති කනපුලුව ශ්‍රමදාන කඳවුර හැඳින්විය හැකිය. කිසිදු ලාභ අපේක්‍ෂාවකින් තොරව නිස්සරණාධ්‍යාශයෙන් ශ්‍රමය කැප කිරීම ශ්‍රමදානය ලෙස අර්ථ දක්වා තිබේ. කොළඹ ආනන්ද, නාලන්ද මහ විදුහල් දෙකෙහිම වරින්වර විදුහල්පතිකම් දැරූ දිවංගත එස්. ඩබ්. කරුණානන්ද මහතා එදවස නාලන්ද විදුහල්පතිවරයාය. දැනට 93 වැනි වියේ පසුවන ශ්‍රී ලංකා සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ. ටී. ආරියරත්න මහතා එදවස වයස 26 ක තරුණ ගුරුවරයෙකි.

1959 මාර්තු මාසයේ අවසන් සතියේ නවදිල්ලියේදී පැවැති New education fellow ship සමුළුවේදී මහාචාර්ය ඒ. රාමචන්ද්‍රන් පැවැත්වූ දේශනයේදී සර්වෝදයේ දාර්ශනික පදනම විග්‍රහ කොට තිබේ. සමුළුවට සහභාගි වී සිටි ඒ. ටී. ආරියරත්න ගුරුවරයා මෙම අදහස මැනවින් අවබෝධ කරගත්තේය. එදවස සර්වෝදය දර්ශනය ඉන්දීය සංවර්ධනය මෙහෙයවූ මතවාදයක් විය.

අප රටට බුදුසමය ලැබුණේ ඉන්දියාවෙනි. සර්වෝදය ද එසේමය. ථෙරවාදී බුදුසමය අසිරිමත්ව පවතින්නේ ශ්‍රී ලංකාවේය. ශ්‍රී ලංකාවේ තරම් දීප්තියක් අන්තර් ජාතික පිළිගැනීමක් ඉන්දීය සර්වෝදය ව්‍යාපාරයට නැත. ඔවුන් ගුරුකොට ගන්නේ ශ්‍රී ලංකා ජාතික සර්වෝදය ශ්‍රමදාන සංගමයයි. ඒ. ටී. ආරියරත්න මහතා ඉන්දීය ජනතාව අතර සම්භාවනාවට පාත්‍රව ඇත්තේ ශ්‍රී ලංකා ගාන්ධි නමිනි. ඉන්දීය රජය විසින් ගාන්ධි සාම ත්‍යාගයෙන් ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සම්භාවනාවට පත්කළේ 1996 දීය. ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා සර්වෝදය ව්‍යාපාරයේ සම්මානිත සභාපතිවරයා ලෙස වගකීම දරයි. සර්වෝදය සභාපතිවරයා ලෙසට සේවය කරන්නේ විශේෂඥ වෛද්‍ය ඒ. ටී. ආරියරත්න මහතාය. හෙතෙම ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.

1958 පැවති කනතොලුව ශ්‍රමදාන කඳවුරට එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් පණිවිඩයක් එවා තිබුණි. පණිවිඩය රැගෙන පැමිණියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ‘සෙසු ජනතාව විසින් නොසලකා හරින ලද අවාසනාවන්ත ජනයා වෙසෙන ඒ ගමේ වැසියන්ගේ උන්නතිය සැලසීමට නාලන්දා සමාජ සේවා සංගමය ගත් පියවර ඉතා විශිෂ්ට ජන සේවා ක්‍රියාමාර්ගයක් ලෙස සලකමි.’ අගමැතිවරයාගේ මෙම පණිවිඩය සැබවින්ම ශක්තියක් විය. 60 දශකයේදී සර්වෝදය ගම් 100 සංවර්ධන ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර 1969 පිලිපීන රජයෙන් රැමෝන් මැග්සයිසේ සම්මානය පෞද්ගලිකව ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතාට පිරිනමනු ලැබීය. සම්මානය සමග ලද ඇමෙරිකානු ඩොලර් දසදහසක මුදල සර්වෝදයට පරිත්‍යාග කිරීමට ආරියරත්න මහතා කටයුතු කළේය.

කනතොලුව මෑනෑව කඳවුරුවලින් පසුව පාසල් දරුවන් සහභාගිකර ගනිමින් දිවයින පුරා ශ්‍රමදාන කඳවුරු පවත්වා තිබේ. දෙනියාය, වතුරව, ඕපනායක අකරැල්ල, මඩකලපුව, පනිච්චංකර්නි, යාපනේ නිර්වේල් කයිතඩි උදාහරණ කිහිපයකි. 1958 බණ්ඩාරනායක රජයේ අමාත්‍යවරු සංඛ්‍යාව 14කි. 1959 ජුනි 09 දින සංශෝධනයෙන් සමාජ සේවා හා සංස්කෘතික වශයෙන් ඇමැතිවරුන් දෙදෙනෙක් පත්විය. සමාජ සේවා අමාත්‍යාංශය බිහිවීම සඳහා මෙම ශ්‍රමදාන සමාජ මෙහෙවර බලපා ඇති බව බොහෝදෙනෙක් නොදන්නා කරුණකි.

වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා, එදවස ශ්‍රමදාන කඳවුරට එක්වූ රාජකීය විද්‍යාල ශිෂ්‍යයෙකි. හිටපු ඇමැතිවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා හා දිවංගත ඉන්දික ගුණවර්ධන ඇමැතිවරයා ආරියරත්න මහතාගේ සර්වෝදය ශ්‍රමදාන කඳවුරු එතුමාට සමීපව සිට සංවිධානය කළ සිසුන් දෙදෙනෙකි. මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් රැසක් මෙම අත්දැකීමෙන් ජීවිත මුවහත් කරගෙන තිබේ. ප්‍රවීණ සිනමා නළු ගාමිණී ෆොන්සේකා එදා ශ්‍රමදාන කඳවුරුවලට නිතර සහභාගි වූ තරුණයෙකි.

බෞද්ධ පාසලක උපත ලද නමුදු ජාතිවාදී ආගම්වාදී ව්‍යාපාරයක් බවට සර්වෝදය පත් නොවීය. බුදු සමයේ සහනශීලී බව ඒ සඳහා බලපෑ ප්‍රධාන කරුණකි. සෑම ආගමකම ඉගැන්වීම්වලින් මෙම දර්ශනය පොහොසත් විය. 1986 කතරගම කිරිවෙහෙරේ සිට යාපනය නාගදීපය දක්වා සාම පාගමනක් ආරම්භ කළේ උතුරේ හිංසාවාදී ක්‍රියා ප්‍රබලව පැවති අවධියකය. මෙය පුළුල් ජන සහභාගීත්වයක් ලද ආධ්‍යාත්මික ප්‍රයත්නයකි. වව්නියාවේ සිට පාගමනින් ගමන් කිරීමට ඉන්දීය ආගමික නායකයන් විසින් එකඟතාව පළකර තිබුණි. යාපනයට ඇතුළුවීමට අපේක්‍ෂා කළේ සත්‍ය ශ්‍රී සායි බබා තුමන් ඇතුළු ඉන්දීය ආගමික නායකයන්ගේද සහභාගීත්වය ඇතිවය. බලයේ පැවති රජය මෙම උත්සාහය වළක්වාලීය. ඒ සඳහා බලපෑ හේතු විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. මහත්මා ගාන්ධි විනෝබබා විසින් සර්වෝදය විග්‍රහකර තිබුණේ වේදය පදනම් කරගෙනය. සර්වෝදය අධ්‍යයන කවය මෙයට බෞද්ධ මුහුණුවරක් ලබාදුන්නේය. සර්වෝදය යනු ක්‍රියාත්මක බුදුදහම බව බලංගොඩ ආනන්ද මෛත්‍රය නාහිමියෝ ප්‍රකාශ කළෝය. විවිධ ආගම් හා ජන කණ්ඩායම් සමග කටයුතු කරන ජාතික ව්‍යාපාරයක් බවට පසුගිය වසර 65 ක කාලය තුළ සර්වෝදය පත්වී තිබේ. සර්වෝදය සමාජ සේවා ව්‍යාපාරයක් පමණක් නොවේ. එය සමාජ වෙනසක් අපේක්‍ෂා කරන ජාතික ආයතනයකි. ආධ්‍යාත්මික පදනම උපයෝගී කරගත් සංවර්ධන මොඩලයක් ලෙස සර්වෝදය අන්තර් ජාතික සම්භාවනාවට පාත්‍ර වී තිබේ. 1960 සිට එක් එක් දශක ඒ ඒ අවධීන්හි සමාජ දේශපාලන ගැටලුවලට මුහුණදෙන ආකාරයට කටයුතු කර ඇති බව වසර 65 ක පරිණාමය විමසීමේදී පැහැදිලිය.

● මහාචාර්ය කමල් වලේබොඩ

advertistmentadvertistment
advertistmentadvertistment