කවුරුත් නොදත් නවාතැන්පොළ විස්තර මෙන්න

සමාජ විමර්ශන

තමන්ටම කියා ළඟක පාතක එසේත් නැත්නම් රැකියාව කරන තැනට හෝ ඉගෙන ගන්නා තැනට ආසන්නයේ පිහිටි නිවසක්, ගෙයක්, දොරක් නොමැති කල අපට තාවකාලිකව ලැගුම් ගත හැකි ස්ථාන රැසක්ම අද සමාජයේ දකින්නට තිබේ.

හෝටලය, තානායම, ඇනෙක්සිය, කුලී ගෙය, මහල් නිවස, රූම් එක, හොස්ටල් එක, චමරිය හෝ බෝඩිම ආදී එකී නොකී නම් වලින් ඇමතෙන විවිධ ස්ථාන ගැන අපි දනිමු. මහැදුරු මලලසේකරයන්ගේ ශබ්ද කෝෂයට අනුව (HOSTEL) හොස්ටල් එක යන්නෙන් කියවෙන්නේ ලැගුම් ගන්නා ස්ථානය, නවාතැන්පොළ හෙවත් ශිෂ්‍ය නිවාසයටයි. එසේම (chumery) චමරිය කියා කියන්නේ යහළුවන් කීපදෙනෙක් එකට වසන ස්ථානයටයි. බෝඩිම හෙවත් boarding house කියා අද සමාජයේ සුලබව දකින්නට ඇති නේවාසික ස්ථානයක් ගැන ද අපි හොඳාකාරව දනිමු. හොස්ටල් එක, චමරිය, බෝඩිම ආදී එකින් එකකට මද වෙනස්කම් ඇති නම් වලින් හැඳින්වුවත් මේ සියල්ලන්ගෙන්ම වාගේ කෙරෙන්නේ බොහෝ දුරට එක සමාන සේවාවකි.

අද අපි බෝඩිං ගැන විමසමු

පුඩිං බෝඩිං හා සාඩිං බෝඩිං කියා වර්ග දෙකක් ඇති බව මෙයට කලකට පෙර දිවයින පුවත්පතේ පළවූ තීරු ලිපියකින් මා කියවා ඇත. එහිදී තීරු රචකයා පුඩිං බෝඩිං යනුවෙන් අදහස් කර තිබුණේ හොඳ සැප පහසුකම් ඇති ප්‍රණීත ආහාර ලබාදෙන කෑමෙන් පසු අතුරුපසට පුඩිං අයිස් ක්‍රීම් වැනි රසවත් දේ ලබාදෙන අති සුඛෝපභෝගී බෝඩිං ගැනයි. ඔහු සාඩිං බෝඩිං කියා කිව්වේ කුඩා ටින් එකක සැමන් මාළු හෝ සාඩිං කූරියන් පැක් කලා සේ එකාට එකා ගෑවෙන මහා තදබදයක් ඇති අවම පහසුකම් සහිත බෝඩිං ගැනය.

අද සමාජයේත් මෙවැනි සාඩිං බෝඩිං සහ පුඩිං බෝඩිං මෙන්ම ඊට එහා මෙහා ගිය බෝඩිං වර්ග ද අනේකවත් ඇති නිසා ඒවායේ ලැග ජීවත්වී ඒ ගැන අප වරින්වර කළ සමීක්‍ෂණ වලින් සොයාගත් කරුණු කීපයක් ගැන කතා කරමු. ඊට පෙර මටත් කුඩා කල හා තරුණ කල බෝඩිං ජීවිතයේ අත්දැකීම් ඉතා සුළුවෙන් ඇති නිසා ඒ ගැන ද අතරින් පතරින් කතා කරමි.

ලෙඩ බෝඩිං සාඩින් බෝඩින් සැප සනීපෙට පුඩිං බෝඩිං

බොහෝ අයට බෝඩිං ජීවිතය යනු ඉතා අප්‍රසන්න තිත්ත රස දෙන අත්දැකීමක් වුවද මා ඇතුළු අපගේ පන්තියේ එකල සිටි කොල්ලන් කීපදෙනෙකු නම් ඉත සිතින් පැතුවේ බෝඩිමක සිට පාසල් ඒමටයි. ආචාර්ය දොන් පීටර් පියතුමාගේ ‘විදුහලේ විත්ති නම්’ යොවුන් නවකතාව කීපවරක් කියවා බෝඩිං ජීවිතය ගැන මුසපත්ව සිටි අපට, මඩොල්දූවේ උපාලි ගිනිවැල්ලේ ගෙදරින් පිටව වෙන ගෙදරක සිට පාසල් ගිය අන්දම ගැන සිහිවෙද්දී ඇත්තටම ඇතිවුණේ ඔහු ගැන ඉරිසියාවකි. කෙසේ වෙතත් අගනුවර අප උගත් පාසලට පයින් යන දුරක විසූ අපට බෝඩිමක ඉන්නට කිසිම වරමක් අපගේ දෙමාපියන්ගෙන් නොලැබුණි. එහෙත් උසස් පෙළ පන්තියේ ඉන්නා දක්‍ෂ දීප්තිමත් අන් ළමුන් සමග එකට ඉඳගෙන පාඩම් කිරීමට අවශ්‍ය යැයි මුසාවාද කියමින් අප කළ බලවත් ඇවටිල්ල සහ දැඩි ඉල්ලීම මත විටින් විට අපටත් සති කීපයක් විදුහල් බෝඩිමේ (හොස්ටලේ) ලගින්නටත් බෝඩිං කෑමවල රස බලන්නටත් වාසනාව උදා වුණි. ඒ සඳහා දෙමාපියන්ට අපගේ පන්ති භාර ගුරුතුමාගෙන් අංශ භාර ගුරුතුමාගෙන් මෙන්ම විදුහල්පතිතුමාගෙන් ද විශේෂ අවසර ගැනීමට සිදුවන අන්දම මතකය. සාමාන්‍ය පෙළ ඉහළින් සමත්ව උසස් පෙළ සඳහා අපගේ පාසලට ඈත ගම් දනව් වලින් පැමිණ සිටි අහිංසක කොල්ලන් බෝඩිම යන වචනය ඇහෙද්දී පවා වෙව්ලා මුහුණ ඇඹුල් කර ගනිද්දී අපට නම් ඒ සුන්දර වචනය ඇහෙන විට ඉහේ මල් පිපෙන්නේය. කෙසේ වෙතත් පාඩම් කරන මුවාවෙන් බෝඩිං ගතවී ස්ථාන භාර බෝඩිං මාස්ටර්ට හොරෙන් ජනේලයෙන් වැහි පීල්ල දිගේ බිමට බඩ ගා තාප්පයෙන් පැන යක්කු ගස් නගින වෙලාවේ මරදාන, දෙමටගොඩ, බොරැල්ල, ඇස්වාට්ටුව වැනි නගර වල නිසාචර වවුලන් මෙන් කැරකුණු අන්දමත්, හිමිදිරි පාන්දර මවුන්ට් මේරියේ දුම්රිය නිවාසයක කවුදෝ ඇති කළ කවඩි කුකුළා අඬලන්නටත් කළින් ගිය පාරෙම යළි පැමිණ කිසිවක් නොදන්නා අන්දමට ඇඳට පැන මදුරු දැල අස්සට රිංගා නිදාගත් අන්දමත් අපට සිහිවද්දී තාම ඇඟ හිරිගඩු පිපෙන්නේය. මේවා දැන් සිසු පරම්පරාවට හොඳ ආදර්ශ නොවන නිසා ඒ ගැන යළි කතා නොකර සිටීම හොඳය.

බෝඩිං වර්ග බොහෝ තියෙන අතර ආණ්ඩුවේ බෝඩිම කියා එකක්ද ජනවහරේ පවතී. අද අපේ රටේ ඉන්නා බොහෝ මැති ඇමැතිවරුන් පමණක් නොව අලුතින් පත්වූ අග්‍රාමාත්‍යතුමාත් ජනාධිපතිතුමාත් කලකට පෙර මෙකී ආණ්ඩුවේ බෝඩිමේ නේවාසිකව සිට ඇති නිසා ලාංකේය ජනතාවට එය එතරම් අරුමයක් නොවනු ඇත. අපි ද එහි බෝඩිං කල්දේරම් බත්වල රස බලා ඇති නිසා ඒවායේ යථා තත්ත්වය හොඳින් දනිමු.

ආරක්‍ෂක සේවාවන් හි නියුතු අය රාජකාරියෙන් බැහැරව සිටින කාලයේ විවේක ගන්නා තැනටත් නිදාගන්නා තැනටත් කියන්නේ මෙස් එක හෙවත් බිලට් එක කියාය. ඒවා ගැන බොහෝ සුන්දර රසවත් කතා මෙන්ම අසුන්දර දුක්ඛාන්තද ඇත.

ගමෙන් නගරයට පැමිණ රස්සාවල් කරන හෝ ඉගෙන ගන්නා අයට ඇතිවන ප්‍රධානම ගැටලුව වන්නේ හොඳ බෝඩිමක් සොයා ගැනීමයි. තරුණියකට හෝ කාන්තාවකට නම් මෙය බොහෝ තදින්ම බලපායි. මට හිතවත්කම් පාන ඈත ගම් දනව්වල ජීවත් වන අය අතරින් සමහර දෙනා මගෙන්ද මෙවන් හොඳ නවාතැන්පළක් තම දියණියට හෝ සහෝදරියට සොයාදෙන ලෙස කරන ඉල්ලීම් නැත්තේ නොවේ.

“අනේ මල්ලී අපේ ළමයා ලබන මාසේ ඉඳං කොළඹ වැඩට එනවා. එයාට හොඳ තැනක් හොයල දෙන්න බැරිද” කියා අසා ඊට පසු කියන්නේ මෙවැනි පහසුකම් ද අවශ්‍ය බවයි.

ලෙඩ බෝඩිං සාඩින් බෝඩින් සැප සනීපෙට පුඩිං බෝඩිං

“පාරට ළං වෙන්නත් ඕනි, ලයිට් වතුර අනිවාර්යයි. ඇටෑච් බාත්රූම් තියෙන තනි කාමරයක තනියම ඉන්න ඇත්නම් හොඳයි. තව එක්කෙනෙක් හැබැයි හොඳ ගැහැනු ළමයෙක් එක්ක ෂෙයාර් කලාට කමක් නැහැ. කෑම රහට නැතත් පිරිසිදු වෙන්න ඕනි. වැඩිය පිරිමි ගැවසෙන් නැති ආරක්‍ෂාකාරී බව නම් අනිවාර්යයි. හැබැයි ඉතින් අපිට දරන්න පුළුවන් ඇඩ්වාන්ස් නොඉල්ලන හොඳ වැදගත් නෝනල මහත්තයල ජෝඩුවකගේ ගෙයක් තමයි අපිට ඕනි.”

මේවා අසන මට හිතෙන්නේ හත් දෙයියනේ මෙහෙම තැනක් හොයන්න සක්කරයාගේ පුතා වයිමාටත් පුළුවන්ද කියාය. මන්ද අප දන්නා අප ගැවසී ඇති සමාජයේ සුලබව දකින්නට ඇති බොහෝ බෝඩිංවල මේ ඉල්ලන දේ තියා අවම පහසුකම්වත් නොමැති නිසාය.

“බෝඩිං ගැන ලියනවා නම් යන්න ඕනි කලාපෙ පැත්තෙ. ඒවයෙ තමයි නියම දුක කියන දේ තියෙන්නේ. මගේ මතුරු වේටර්වරයෙක් මාව එසේ දැනුවත් කළ ද කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ පවතින විවිධාකාරයේ නවාතැන්පළ වල් සහ බෝඩිං ගැන මා අවුරුදු විස්සක් තිස්සේ දන්නා බවත්, ඒවායේ ගැවසී කරුණු සොයාබලා හදාරා ඇඟිලි ගෙවෙනකන් ඒ ගැන විවිධ පත්තරවලට, කාන්තා සඟරාවලට කරුණු ලියා ඇති බවත් ඔහුට නොකීවෙමි. ඇත්ත වශයෙන්ම අපේ ඇඟලුම් ක්‍ෂේත්‍රයේ සේවය කරන තරුණ ගැමි සහෝදරියන් මෙම බෝඩිංවල ගත කරන දුක්ඛිත අසහනකාරී ජීවිත ගැන අපේ පාඨකයාට අමුතුවෙන් කිව යුතු නැති බව දනිමි. ඒවායේ ඇති අඩු පහසුකම්, හිරිඔතප් බිඳෙන, ලැජ්ජා බය නැතිවන, වතුර කරාම සහිත නාන කාමර ගැනත් හරියට වහං වී ඇඳුමක් මාරුකර ගත නොහැකි අන්දමේ ඉටිකොළ ගැසූ නොහොත් රෙදි ඇද වෙන්කර ඇති ලෑලි කාමර ගැන නිතර නිතර මාධ්‍ය වලින් කතා කරනු අප අසා ඇත.

පැය දොළහක දාසයක වැඩ මුර දෙකක් එක දිගට ඇද නිදිමතේ තෙහෙට්ටුවෙන් කාමරයට එන කෙල්ලක සිතන්නේ වතුර පනිට්ටුවක් ඇඟේ හලාගෙන කුමක් හෝ දෙයක් බඩට දා කුස ගින්දර නිවාගෙන හෙට යළි වැඩට යනු පිණිස ඇඟට නිවනක් දීමට නිදි දෙව් දුව වැළඳ ගැනීමට මිස පයිප්ප කරාම ළඟ ළිං ගාව හොරෙන් බලා සිට විකෘති ආසාවන් සංසිඳවා ගන්නා කාම ලෙඩුන් ගැන නොවේ. නමුත් ගැහැනු නාන තැන්වල සිට ඒවා හොරෙන් බලා කාමාස්වාදයක් විඳින අයත්, කාමරේ ලෑලි අස්සෙන් එබී බලමින් එහි සිටින කෙල්ලන් ඇඳුම් මාරු කරන අන්දමත්, අඩ නිරුවතින් එහෙ මෙහෙ ඇවිදින අන්දමත් බලා ඉන්නට පුරුදු වුණ අසම්මත කාමාතුරයන් අද මෙවැනි කාන්තා බෝඩිං අසල එමටය. සමහරු ගැහැනු නාන දිහා බලා ඉන්නේ අසල ඇති කුඩා කැලෑ රොදක සිටය. තවත් අය ළඟම ඇති ගසකට නැග එහි ඇති අතුපතර සැඟවී සිටියි. ගැහැනු බෝඩිං අසල ගැවසෙන ග්‍රීස් යක්කු සහ රෙදි වැල වල අව්වේ වේලෙන්නට දමා ඇති ගැහැනු යට ඇඳුම් සොරාගන්නා අය ගැන කතා ඒ පැතිවල හරි ජනප්‍රියය.

ලෙඩ බෝඩිං සාඩින් බෝඩින් සැප සනීපෙට පුඩිං බෝඩිං

මේවා බාහිරින් එන ගැටලු වුවද කාන්තා බෝඩිංවලට අභ්‍යන්තරයෙන්ම එන ගැටලු ද බොහෝය. බෝඩිමේ රනර් හෙවත් ඇන්ටි යනු බොහෝ විට සුහදශීලී සෞම්‍ය කාරුණික කතක් විය නොහැකිය. මුලින් එසේ සිටි අයෙක් වුවද පසුව කාලයක් යන විට බහුතරයක් හිමිකාරියන් රළු දැඩි අයෙක් වීම වැළැක්විය නොහැක. ඒ නිසා නිතර නිතර බැණ වැදීම්, කුරිරු වචන, අපහාස වැනි දෙය නිසා කෙල්ලන්ට බෝඩිම නොව සංසාරේ පවා එපා වෙන අවස්ථා අප අසා ඇත. ඇහැට කනට පේන අහිංසක වැදගත් පාට කෙල්ලක් ගමකින් විත් තම බෝඩිමේ ලැඟුම් ගන්නා කල ඇයට තම පුතාව කරකාර බන්දවා දෙන්නට, මල්ලීට ජෝඩු කරන්නට තැත් දරන ඇන්ටිලා ගැන ද අපි දනිමු. මේ සියල්ලටම වඩා හිරිහැර වන්නේ ඇන්ටිගේ සැමියා, පුතා හෝ සහෝදරයා බේබදු සල්ලාල කාමුකයකු නම් ඒ අයගේ ලිංගික හිංසන පීඩාවලට භාජනය වෙන්නටත් සිදුවීමයි. මනුස්ස කම් නොදන්නා මුදල්ම සෙවීම පමණක් අරමුණු කරගත් නියම ප්‍රමිතියෙන් තොර අඩු කුලී බෝඩිංවල මෙවැනි දේ සිදුවන බව අප වගකීමෙන් පවසන්නේ නගරයට එන ගමේ කෙල්ලන් අධෛර්යමත් කිරීමට නොව දැනුවත් කර එවැනි උපද්‍රවයන්ගෙන් බේරී සිටීමටයි.

අද අප රටේ හොඳ වැදගත් කාන්තා නේවාසිකාගාර, හොස්ටල් හෝ බෝඩිං නැත්තේද නොවේ. නමුත් ඒවාට ඇතුල්වීමට තියා ලංවීමටත් අඩු ආදායම් ලබන යුවතියන්ට නොහැක. තනි කාමරක් ඕනිනං, තනි කාමරයක් දෙන්නෙක් එක්ක නම්, එවැන්නක් එසේත් නැත්නම්, බොහෝ දෙනෙක් එකට නිදාගන්නා විශාල ශාලාවක් (ඩෝමිරියක්) මෙන්ම තුන් වේලටම ප්‍රණීත කෑම, රූපවාහිනිය නැරඹීමේ පහසුකම්, අවශ්‍ය වෙලාවට එළියට යෑමට ඒමට හැකියාව, අමුත්තන් සඳහා ශාලාවක්, උපරිම ආරක්‍ෂාව වැනි දේ ඇති
නේවාසිකාගාර ද අද අප රටේ ඇත. හැබැයි ගාන ටිකක් සැරය.

සමහර කිතුනු හෝ කතෝලික නේවාසිකාගාරද අද නගරයේ දකින්නට ඇති අතර, ආගම් බේදයකින් තොරව කාන්තාවන්ට, යුවතියන්ට, සිසුවියන්ට මේවායේ නවාතැන් පහසුකම් ලබාගත හැකි බව අපි දනිමු. එහි ඇති විනය සහ පිරිසිදු බව නිසා බොහෝ අය මේවායේ සේවය ලැබීමට ප්‍රවණතාවයක් දක්වයි. මෙවැනි තැනක් ඇතුළට රිංගා ඒ ගැන කරුණු සෙවීමට මාර්ගයක් පිණිස මා එවන් ස්ථාන අටකට දුරකථනයෙන් අමතා මගේ අක්කා කෙනකුට ඉඩ පහසුකම් ඇද්දැයි සොයා බැලූ අතර ඉන් හයකින්ම කියවුනේ නෝ වේකන්ට්, රූම්ස් ඕල් හා ඔකියුපයිඩ් යනුවෙනි. එනම් ඉඩකඩ නැත, සියලුම කාමර දී ඇති බවයි. ඉතිරි දෙකට ගොස් කරුණු සොයා බලන්නට අවස්ථාව ලද අතර පවතින තත්ත්වය ගැන සෑහීමකට පත්විය හැකි විය. නමුත් එම බොහෝ තැන්වල නේවාසිකව සිටින තරුණියන් උසස් අධ්‍යාපනය ලබන සිසුවියන් මෙන්ම රස්සාවල් කරන මැදි වියේ ගැහැනුන් සියල්ලක්ම පාහේ කුමණ හෝ ප්‍රශ්නයකින් පෙළෙන, ජීවිතයේ ලොකු ප්‍රශ්නයක් ඇති තනිකමෙන් පාළුවෙන් පෙළෙන අය බව දැක ගන්නට ලැබුණි. එමෙන්ම උඩඟු අධිමානයෙන් පෙළෙන්නියන් කීප දෙනෙක් ද මට හමුවිය. මා මේ දැක්කේ එවන් ස්ථාන දෙකක අය පමණක් වුවද සමහර විට අනෙක් නේවාසිකාගාරවල සිටින්නියන් සාමාන්‍ය නිරෝගී අය විය හැකිය. එනිසා මෙය නියමයක් හෝ සිද්ධාන්තයක් ලෙස නොගන්නා ලෙස ඉල්ලමි.

ලෙඩ බෝඩිං සාඩින් බෝඩින් සැප සනීපෙට පුඩිං බෝඩිං

ඇත්තම කීවොත් සමස්තයක් ලෙස ගත් කල බහුතරයක් බෝඩිම්වල ආහාරවල තත්ත්වයේ එතරම් සතුටුදායක බවක් නොපෙනෙයි. එනිසා බොහෝ අය කරන්නේ ඇන්ටි හෝ පාලකයන් දෙන කෑමවලට අමතරව පාන් ගෙඩියක්, බටර් කාලක්, ජෑම් බෝතලයක්, සීනි සම්බෝලයක්, ලුණු දෙහි ටිකක් කාමරයේ තම ඇඳ අසල තියා ගනී. කාමරයේ කුඩා ගෑස් ළිපක්, හොට් ප්ලේට් එකක් තියාගෙන බිත්තරයක් බැදගන්නා, නෙස්ටමෝල්ට් එකක් හදාගන්නා තමාටම කියා රූපවාහිනියක්, විදුලි පංකාවක්, ශීතකරණයක්, වායුසමීකරණයක් පරිහරණය කරන බෝඩිංකාරියන්ද මට හමුවිය. ඒ මුදල් ඇති අයයි. ගමෙන් එන අපේ දුප්පත් අක්කලා නංගිලාට ඒ කිසිත් නැත. සමහරු වැඩ ඇරී මහන්සිවී පැමිණ ඇඳගෙන සිටින දාඩිය ගඳ ගහන ගවුම පිටින්ම හෝ උඩ ඇඳුම ගලවා දමා යට සාය සහ බැනියම පිටින් බූරු ඇඳක හෝ පැදුරු කඩමාල්ලක බුදියාගනී. සමහරුන්ට දපන්නට ඇත්තේ නවා, තලා බිම එලන ලද ලොකු කාඩ්බෝර්ඩ් පෙට්ටියකි. දුප්පත්කමත් වලිගය නැති ගොනා වැනි කියා කියන්නේ මෙවන් අවස්ථාවලටය. සුඛෝපභෝගී පහසුකම් නැති බෝඩිංවල කෙල්ලන් බහුතරයකගේ හොඳම සුරතලා හෝ මිතුරා බවට අද පත්වී ඇත්තේ ජංගම දුරකථනය බව අපට දැක ගන්නට ලැබිණි. බෝඩිං බහුල පැතිවල ඇති කුඩා කඩවලට හෝ කොමියුනිකේෂන්වලට සවසට එන කෙල්ලන් වැඩිපුරම ඉල්ලන්නේ රීලෝඩ් සහ පින් නම්බර් ටෙලිෆෝන් කාඩ් බව අපට දැක ගන්නට හැකි විය.

“ඇත්තම තමයි, මල කරදරේ අයියේ. දවසේ එකම සැනසීම තමයි ටිකක් නිදාගන්න එක. ඒකත් හරියට කරගන්න බැහැ මුන්ගෙ ‘මල් කැඩිල්ල’ නිසා. එස් එම් එස් ගහද්දී එන සද්දෙයි රිඟින් ටෝන් නිසයි අපේ කන් දැන් පැසවල තියෙන්නෙ.”

ඒ මා දන්නා එක් ගාමන්ට් මිතුරියක් මට තම අදහස දක්වා සිටි ආකාරයයි. මොනරාගල පැත්තේ සිට කටුනායකට පැමිණ සිටින ඇය මේ ගෙවන්නේ තම දහතුන් වන බෝඩිං වසරයි. මේ වනවිට කාමර සහ බෝඩිං ශාලා විස්සකට අධික ගාණක් ඇය මාරු කර ඇත. තිත්ත මෙන්ම සුන්දර අත්දැකීම් ද අති බහුල ඇය මට වැඩිපුරම කියා සිටියේ බෝඩිං කෙල්ලන් විසින් කරන ජංගම දුරකථන දුර්භාවිතය සහ පිරිමින් විසින් තම ජංගම දුරකථන යොදා කෙල්ලන්ට කරන ජඩ වැඩ ගැනයි. කෙල්ලන් නාන කාමරයේ ඉන්න අන්දම රූපගත කිරීම, කාමරවල සිදුවන දේ පටිගත කිරීම සහ මෝඩ කෙල්ලන්ව හාද කරගෙන ලැගුම්පළකට රැගෙන ගොස් නිරුවත් කර සහ ලිංගිකව හැසිරෙද්දී ඡායාරූප ගැනීම මෙම බෝඩිං ආශ්‍රිතව අනන්තවත් සිදුවන බව ඇය මට පැවසීය.

සමලිංගික සේවනයද බෝඩිම හොස්ටලය යන වචන සමග නිතර ඇහෙන වචනයකි. විශේෂයෙන්ම මේවා සිදුවන්නේ කාන්තා විද්‍යාලවල නේවාසිකව සිටින සිසුවියන්ට සහ පිරිමි පාසල් සිසුන් සිටින බෝයිස් හොස්ටල් වල බව මා කියූවොත් දරුවන් නේවාසිකව තබා ඇති දෙමාපියන් බිය නොවනු ඇතැයි සිතමි.

ලෙඩ බෝඩිං සාඩින් බෝඩින් සැප සනීපෙට පුඩිං බෝඩිං

“ඇත්තටම මෙය අපට සාමාන්‍යයෙන් ඇහෙන අසාමාන්‍ය දෙයක්. දරුවන්ගේ හෝර්මෝන මෝරන කාලෙට ලිංගික උත්තේජනයන් සිදු වෙද්දී මෙවැනි දේ වලින් ඔවුන් යමක් සොයන්න උත්සාහ කරනව. ඒත් මං වගකීමෙන් කියනව අසූව අනූව දසකයට වඩා අද මේ නව සහස්‍රයේ එවැනි සමලිංගික කටයුතු හොස්ටල් වල වෙනව හරිම අඩුයි. මොකද අපි ඒ ගැන නිතරම සොයාබලනව. එවන් දේ කරන ළමයි ගැන අපි විමසිල්ලෙන් ඉන්නව. අහු වුණාම මුලින්ම දැඩි දඬුවම් දෙන්න යන්නැතිව ආදරයෙන් ඒ අයට කරුණු කාරණා තේරුම් කරල දෙනවා. අපි හිතනවා හැම නේවාසිකාගාරයකම ඉන්න නව යොවුන් දරු දැරියන්ට සමලිංගික සේවනය ගැනයි අනවශ්‍ය ලිංගික සබඳතා ගැනයි ඒ අයට තේරෙන භාෂාවෙන් වඩාත් ලංවෙලා දැනුවත් කළොත් අනාගතේ එවන් අසම්මත විෂමාචාර දේවලින් අපේ සමාජය පිරිසිදු වෙයි කියල.”

ඒ මා දන්නා කාන්තා විදුහලක හොස්ටල් මේට්‍රන්වරියකගේ අදහසයි. ඇත්තටම කාරුණික මවක් වන ඇය දරුවන්ට මග පෙන්වන මනෝ උපදේශන සපයන්නියක්ද වෙයි. ඇගේ නේවාසික දැරියන් ඇයට මමා, මමී, අම්මා, අම්මී, ආන්ටී, ආදී ආදර වචනයෙන් අමතන අයුරු ද මට ඇසුනි.

පිරිමි බෝඩිං ගැනත් කතා කළ යුතුමය. “ඇන්ටිගෙ ළිඳ ජඹුර නිසා ළමයිනේ බෝඩිමෙ උන් පහළ ළිඳෙන් නාන්නේ වැනි ගීතත්, බෝඩිම, බෝඩිංකාරයෝ වැනි නාට්‍යත් නිර්මාණය වුණේ එනිසාය. ඒවා ගැන ලියන්නට අද ඉඩකඩ අවම වීම අපට බාධාවකි. එනිසා ඉදිරි ලිපියකින් බොහෝ රසවත් කතා අපට ඉගෙන ගත හැකි බොහෝ පාඩම් ඇති සාඩිං බෝඩිං හා පුඩිං බෝඩිං ගැනත් ලෙඩිං බෝඩිං ගැනත් ලියන්නට සිතාගෙන අදට අවසන් කරමි.

මිත්‍ර ශ්‍රී කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment