ජුවප්පු ගුරුන්නාන්සේ නායකයා වූ ලංකාවේ මුල්ම සිංහල ගීතිකා කාණ්ඩායම

481

මර්සලීන් ජයකොඩි පියතුමා මූලිකත්වය ගත් තවත් “සිංහල” වැඩක්

සිඹි මුව ඔබ සිරි පා කමලා
බඳි මුව ඔබ ගෙල දෑත වෙලා
වඳිමුව කැකුළු නෙලා පුදලා
ඇති විලේ කැලේ පිපිලා

අප පෙම්බරියේ කුමරිය මරියේ
සිරි සැම නොමදින ඔබ පිරියේ
ඔබ උයනේ අපි කොඳ කැකුළු
ඔබ අප සැම ඔබ ගෙලේ පබලු…….

ජුවප්පු ගුරුන්නාන්සේ නායකයා වූ ලංකාවේ මුල්ම සිංහල ගීතිකා කාණ්ඩායම

මීට අවුරුදු ගණනකට ඉස්සර ඇන්ඩෘ මාම හැරමිටියේ වාරුවෙන් අසීරුවෙන් තම කාමරයේ සිට විසිත්ත කාමරයට ආවේ එම ගීතය ගායනා කරමින්.

එකල මා හමුවන විට අනූ දෙහැවිරිදි වියේ පසු වුවද, ඇන්ඩෘ මාමාගේ එම ගීතවත් කටහඬ වියකී තිබුණේ නැත.

“…..මග්ගොන අපේ දේව මෑණියන්ගේ පල්ලිය මංගල්‍යයට 1944 දෙසැම්බර් 8 වැනිදා තමයි, මර්සලීනු ජයකොඩි ස්වාමි ඔය ගීතිකාව ලියලා, තාලය දාලා, අපිට පුරුදු කරලා අපි ලවා කියෙව්වේ…..”

මග්ගොන, උස්වැල්ලේ සින්න හැංදිගේ ඇන්ඩෲ ප්‍රනාන්දු ගීතිකාවේ ඉතිහාස කතාව කියන්නට පටන් ගත්තේය.

එම ගීතිකාව මුලින්ම ගායනා කරන විට ඇන්ඩෘ මාමා ගේ වයස අවුරුදු 32ක් විය.

ගීතිකා කණ්ඩායමේ සිටි වැඩිමහල්ම පුද්ගලයා ඔහුය.

වයස අවුරුදු තිස් දෙකේ සිට, වයස අවුරුදු 12 දක්වා වූ විවිධ කණ්ඩායම්වල පිරිම අය පහළොස් දෙනකු ගරු මර්සලීනු ජයකොඩි පියතුමා පුහුණු කළ මුල්ම සිංහල ගීතයා කණ්ඩායමේ විය.

“…..ගරු මර්සලීනු ජයකොඩි ස්වාමි, මග්ගොන ශාන්ත මරියා පල්ලිය භාර පියතුමා වශයෙන් පත්වෙලා ආවේ 1944 ජනවාරි මාසයේ. 1949 අප්‍රේල් මාසයේ වෙනකම්, අවුරුදු පහක් උන්වහන්සේ අපේ පල්ලියේ සේවය කළා. උන්වහන්සේ මෙහෙන් ගියේ ඥානාර්ථ ප්‍රදීපය පත්තරේ කර්තෘ වෙලා. පූජාත්වරයේ ලබපු මර්සලීන් ජයකොඩි සුවාමි මෙහාට එන්න ඉස්සර වෙලා කටයුතු කළේ ශාන්ත ජෝසප් විද්‍යාලය වගේ විවිධ ආගමික ආයතනවල.

මීසමක වැඩ කරන්න ඉස්සර වෙලාවම ආවේ අපේ පල්ලියට. මෙහාට එන්න ඉස්සර වෙලා ජයකොඩි ස්වාමි, ගීතිකා කීපයක පද රචනා කරලා ස්වර නිර්මාණය කෙරුවත්, උන්වහන්සේගේම මුල්ම ගීතිකා කණ්ඩායමක් පුහුණු කරලා පටන් ගන්න ලැබුණේ මෙහිදී තමයි….”

අරලියගහ දිහා බලාගෙන මර්සලීනු ජයකොඩි පියතුමා හැදූ ගීතිකාව

මා මේ ලිපිය සම්පාදනය කරන කාලේ, එකල මග්ගොන ශාන්ත මරියා දෙවිමැඳුරේ මීසම් සේවක ගරු ටිරෝන් පෙරේරා පියතුමා. ගරු මර්සිලීන් ජයකොඩි පියතුමාට ලංකාවේ ප්‍රථම සිංහල ගීතිකා කණ්ඩායම බිහිකිරීමට පදනම සකස් වූ අන්දම විස්තර කළේය.

“…..ඉස්සර පරිසරය මේ වගේ නොවී තිබිලා තියෙන්නේ…. අර පේනවා නේද හුඟාක් පරණ දැවැන්ත හැම තැනකම පාසි හැදිලා තියෙන අරලියගහ…

අද වගේම එදත් ඔය අරලියගහේ සුදූ සුදු හරිම ලස්සන, පැත්තම සුවඳ කරන අරලිය මල් පිපුනා……

එතකොට ලොකු සුදු මල් වට්ටියක් වගේ ඕක. මර්සලීනු ජයකොඩි ස්වාමිගේ, කවි කල්පනාවන් රසයෙන් කුල්මත් කරන්න ඔය අරලියගහ සමත් වෙලා තියෙනවා..

ඔය අරලියගහ දිහා බලාගෙන තමයි ජයකොඩි ස්වාමි දේව මෑණියන් ගැන ඉතාමත් ජනප්‍රිය මේ ගීතිකාව නිර්මාණය කළේ…”

“අරලිය අතු අග ඔබ පා නංවා

එන්නකෝ මල් කුමරි
එන්නකෝ මල් කුමරී
සුකුමල මල් කුමරි
අපේ කුමාරි කැකුළු සිනහපා

එන්නකෝ මල් කුමරි..”

ජුවප්පු ගුරුන්නාන්සේ නායකයා වූ ලංකාවේ මුල්ම සිංහල ගීතිකා කාණ්ඩායම

“ජයකොඩි පියතුමාගේ ගීතිකා බොහොමයක අරලියමල් ගැන සඳහන් වෙනවා. ඔයා අරලියගහ මර්සලීන් ජයකොඩි ස්වාමි එක්ක දැඩි සම්බන්ධතාවයක් තියෙනවා. ඔය තාප්පෙ හදද්දී, ඔය අරලියගහ කැපිය යුතුම ගහක්ව තිබුණා. නමුත් අරලියගහ කපන්නේ නැතුව තාප්පය ගහ දෙපැත්තෙන් නතර කළා. මට ඉස්සර, අනික් ස්වාමිලත් මම වගේම ඔය අරලියගහට සත්කාර කළා. මම හිතනවා මගෙන් පස්සෙ ස්වාමිලත් ඒ සත්කාරයේම අරලිය ගහට කරලා ඔය අරලියගහ රැක ගනීවි කියලා.

අවුරුදු පහක් මග්ගොන ජීවත්ව එහි සැරිසරූ ජයකොඩි ස්වාමිට ඒ පරිසරය වූ චමත්කාරයේ අනිවාර්යයෙන්ම හේතු වෙන්න ඇති උන්වහන්සේගේ රස කල්පනාවන් පුබුදුවන්න.

මග්ගොන ඉඳලා මුංහේන පැත්තට යද්දි හරිම ලස්සන වෙල්යායක් තිබුණා. ඉස්සර ඔය වෙල්යායෙ වතුර පුරාවට නෙළුම් මල් පිපුණු විලක් වෙලා තිබුණා.

ඒ නෙළුම් විල බලාගෙන තමයි ජයකොඩි ස්වාමී මේ ගීතිකාව නිර්මාණය කළේ.”

“නෙළුම් පිපී ලා
පෙති විසිරීලා
ජලය සුවඳ වෙන්නා
මමත් මලක් නම් පිපී සුවඳ දී
ඔබ ළඟ පරවෙන්නා
කාන්ති කුමරියනි
නාද මිහිරියෙනි
ශාන්ත සුසිලියෙනි
දේව දිනිතියෙනි
ගම්ම කිරුළෙහිදීසි බබලන
රමණීය සිතුමිණ නී

පෘතුගීසී බසින් ලියා තිබූ යාඥා සිංහල බසට

1945 දෙසැම්බර් මාසය අටවෙනිදා, දියුණු මෑණියන්ගේ නිර්දෝෂ මංගල්ලයේදී.. මේ පල්ලිය මංගල පූජාවට තමයි ජයගොඩි පියතුමා ඔය ගීතය පද රචනා කරලා, ස්වර නිර්මාණය කරලා මෙහේ ගායක කණ්ඩායම ලව්වා පුරුදු කොරෝලා කියෙව්වේ..

ඊට පස්සේ කාලෙක, ලතා වල්පොල වගේ තවත් ගායිකාවන් ඔය ගීතය ගායනා කරලා තියෙනවා.

…ඔය ගීතිකාවත් ඇතුළත් නෙළුම් පිපිලා කියලා නම් කරපු ගීත තැටියක් ගුවන් විදුලිය තවමත් අලෙවි වෙනවා.. ගරු ටිරෝන් ප්‍රනාන්දු පියතුමා මුල් යුගයේ, මර්සලීනු ජයකොඩි පියතුමන්ගේ ගීතිකා නිර්මාණයන් පිළිබඳව විස්තර කළේ එසේය.

ගරු මර්සලීනු ජයකොඩි පියතුමා විසින් මෙසේ සිංහල මුද්‍රාව සලකුණු කරන ලද්දේ, 1930 ගණන්වල ගරු ජාකෝ මේ ගොන්සාල් වේස් පියතුමා විසින් පදනම සකස් කළ, සිංහල කිතුණු ගීතිකා ක්ෂේත්‍රයෙහිය.

ගෝවේ සිට මෙරටට සපැමිණි ගොන්සාල්වෙස් පියතුමා බෞද්ධ භික්ෂූන් වහන්සේ විසින් සිංහල ඉගෙනුම ලබා, පෘතුගීසී බසින් ලියා තිබූ යාඥා සිංහල බසට හැරවූහ.

ස්වර්ගස්ථ වූ හලාවත හිටපු රදගුරු එඩ්මන් පීරිස් හිමිපාණන් පවසන්නේ ගොන්සාල්වේස් පියතුමන් 1730 රචිත “මංගල ගීතය” නම් කෘති මුල්ම සිංහල ගීතිකා ඇතුළත්ව තිබූ බවය. එවකට ගීතිකා හැඳින්වීමට “සින්දුව” යන නම භාවිතා වී ඇත.

ජුවප්පු ගුරුන්නාන්සේ නායකයා වූ ලංකාවේ මුල්ම සිංහල ගීතිකා කාණ්ඩායම

දේව මාතාව උපන් සින්දුව, දිව මාතාවන්ට මංගල්ල ආරාධනා සින්දුව, ජේසු මල උපන් සින්දුව, සක්ප්‍රසාද සින්දුව, ආසිරි පැන් සින්දුව යනුවෙන් එවකට ගීතිකා හැඳින්වුණි.

එවකට පසුව මෝක්ෂ යතුර හෙවත් භක්තිමල්දම යනුවෙන් දොන් දෙමෙංගු විජේසිංහ මුදලිතුමාද, ප්‍රංස ජාතික චුනිල් පියතුමාද, ආතර් ජයමාන්න පියතුමාද සිංහල ගීතිකා පොත් සම්පාදනය කළහ.

ඒ අතරම 1960 ගණන් දක්වාම කතෝලිකයන්ගේ දිව්‍ය පූජාවේදී වැඩි වශයෙන් භාවිතා වූයේ ලතින් භාෂාවය.

එනිසාම අරුතක් නොවැටුණත් කතෝලිකව දිව්‍ය පූජා අවස්ථාවලදී ලතින් ගීතිකා හොඳින් ගායනා කළහ.

“…ගොන්සාල්වේස් පියතුමාගේ අභාවය සිදුවූ ක්‍රි.ව. 1742 සිට ක්‍රි.ව. 1933 දක්වා වන වසර 191 තුළ බිවූ දහස් සංඛ්‍යාත ක්‍රිස්තියානි ගීතිකා සමස්තයක් වශයෙන් බලන කල පැහැදිලිව පෙනී යන කාරණා දෙකකි. පළමුවෙන් එම ගීතිකා බොහොමයක් සිංහල ජනයාට ආගන්තුක පදයෝජනයෙන් අව්‍යකත ව්‍යවහාරයෙන් ගහණ වූ බවය. දෙවැන්න මෙරට ජනයාට උචිත වන්නා වූ සංගීත ශෛලියක නොපිහිටා හුදෙක් විදේශීය තනු අනුකරණයට වහල් වූ බවය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් “කැරොල් පසම් කාන්තාරු පර්යේෂණ කෘතියෙන් එසේ දක්වන්නේ ගරු මර්සලීනු ජයකොඩි පියතුමාගේ සම්ප්‍රාප්තියට පෙර කිතුනු ගීත ගීතිකාවෙහි හැඩරුව ගුණ පිළිබඳවය.

ජුවාප්පු ගුරුන්නාන්සේ

“….වොයිස් ටෙස්ට් එකක් කියලා.. ස රි ප ද නි.. කියන්න කියලා තමයි ගීතිකා කණ්ඩායම තෝරගත්තේ. මුල් කාලයේ ගීතිකා කණ්ඩායමට හිටියේ පිරිමි අය විතරයි අපි පොඩි අය කීප දෙනෙකුත් හිටියා. අපේ හීන් හඬවල් ගැහැණු හඬවල් වගේ වුණා. ඇන්ඩෘ අයියලා තරමක් වයසින් වැඩි නිසා ඔවුන්ගේ හඬවල හොඳ පිරිමි ගතියක් තිබුණා. ඒ නිසා ගීතිකා තිබුණු පිරිමි කටහඬවල් දෙකම හොඳට මිශ්‍රවෙලා තිබුණා. ගරු මර්සලීනු ජයකොඩි එතුමාගේ මුල්ම ගීතය හා කණ්ඩායමේ අය අතරින් එදා මට හමුවූ පුද්ගලයන් දෙදෙනා අතරින් අනික් පුද්ගලයා වූ කැමිලස් ප්‍රනාන්දු මහතා පැවසීය.

දෙසැම්බර් මාසේ අටවෙනිදා අපේ ගමේ නිර්දෝෂ මංගල්‍යයට, මාසයකට ඉස්සර වෙලා, ජයකොඩි ස්වාමි අලුත් ගීතිකාවක් හදලා අපිට පුරුදු කරන්න පටන් ගන්නවා. හවස තුනට පටන් ගත්තම හතර පහ වෙනකන් කරගෙන යනවා. ඉස්සර වෙලාම ස්වාමි ඕගන් එක ගහලා තාලෙ කියල දීලා, එයා පාරක් දෙපාරක් ඕගන් එක ගගහා අපිත් එක්ක කියනවා. ජුවාප්පු ගුරුන්නාන්සේ තමයි එතකොට කාන්තාරු මාස්ටර්. පස්සේ ස්වාමි ජුවප්පු ගුරුන්නාන්සේට ඕගන් එක ගහන්න කියලා, අපිට ගීතිකා කියන්න කියලා, පල්ලිය මහ දොර ළඟට වෙලා අහගෙන ඉන්නවා. ඒ කැමිලස් රාදු ගරු මර්සලීනු ජයකොඩි පියතුමා මුල්ම ගීතිකා කණ්ඩායම පුහුණු කළ ආකාරය විස්තර කළ අන්දමය.

ජුවප්පු ගුරුන්නාන්සේ යනුවෙන් කවුරුත් ගෞරවයෙන් හඳුන්වනු ලැබූ මග්ගොන ශාන්ත මරියා විදුහලේ මුල් ගුරුතුමා වූ එච්. ජුවන් ප්‍රනාන්දු මහතා එදා මුල්ම ගීතිකා කණ්ඩායමෙහි ඕගනය වාදනය කරමින් එහි නායකත්වය දැරීය.

පල්ලියේ මහ දොරකඩ අසලට වී ගරු මර්සලීනු ජයකොඩි පියතුමා කණ්ඩායම ගීතිකා පුහුණු වන ආකාරය හොඳින් කන්දීගෙන හිටියා. කිසිවකු ශ්‍රැතියෙන් බැහැරව ගායනා කළොත් උන්වහන්සේ එක් ක්ෂණයකින් වටහා ගනී.

හරියට කියනවා…….

ගායනා කණ්ඩායමේ ළඟට එන ජයකොඩි පියතුමා පවසන්නේ ශ්‍රැතියෙන් බැහැරව ගායනා කළ අයට ටොක්කක් ඇනීමෙන් පසුවය.

ජයකොඩි තුමාගේ මෙම දැඩි ගායනා අභ්‍යාසයන්, පල්ලියේ මංගල්‍යය වෙන විට උන්වහන්සේගේ අලුත්ම ගීතිකා කණ්ඩායම හොඳින්ම පුහුණුවූ ගීතිකා කාණ්ඩායමක් බවට පත් වී තිබුණි.

මංගල්‍යය දිනය සමීප වන විට, තමන්ගේ අලුත්ම ගීතිකාව කුඩා පත්‍රිකාවක, ජයකොඩි පියතුමා මුද්‍රණය කරයි.

ඒ මංගල්‍ය දිව්‍ය පූජාවට සහභාගි වන බැතිමතුන්ට ගායනා කිරීම පිණිසය. කුඩා කාලයේ සිටම පල්ලියේ ගීතිකා ගායනා කර ඇති කතෝලිකයන්ට ගායනය අරුමැසි දෙයක් නොවේ. ගීතිකාවක තාලියේ මුල් කොටස ඇසූ පමණින් ගීතයට අත්වැල් ගායනයට ගායනයෙන් අපූරුවට සහභාගි විය හැක.

මහා පූජාවෙන් පසු ගීතිකා කණ්ඩායම මුලින්ම යන්නේ පල්ලියේ ලැගුම්ගෙට ඉස්සර ගමේ පල්ලිය මංගල්ලි උනාව නුවාන වලට, වෙස්ප්‍රස්වලට, මංගල්ලෙදා මහ පූජාවට බෑන්ඩ් එකක් ගෙන්නලා ගීතිකා වාදනය කිරීම සාමාන්‍ය සිරිතක්. මට මතකයි ස්වාමි අපේ පල්ලියට ආපු මුල්ම අවුරුද්දේ කියන්නේ 1944 පල්ලිය මංගල්‍යයට පොලිස් බෑන්ඩ් එක ගෙන්නුවා. ගීතිකා කණ්ඩායමටත් එයින් ට්‍රම්පට්කාරයෝ දෙන්නෙක් එකතු වුණා මතකයි. පල්ලියේ ඉස්සරහ ලොකු ටෙන්ට් එකක් ඇදලා ස්ටේජ් එකක් හදලා තිබුණා. මර්සලීනු ජයකොඩි ස්වාමි “සිඹුමුවෙමු අප ඔබ සිරිපා කමලා” ගීතිකාවේ නෝට් දුන්නම පොලිස් බෑන්ඩ් එක ගීතිකාව ප්ලේ කළා. ඒ කැමිලස් ප්‍රනාන්දුගේ මතකය.

එම්. ජේ. ප්‍රනාන්දු, ඇන්ඩෘ ප්‍රනාන්දු, සිරිල් ප්‍රනාන්දු, වැන්සස් ප්‍රනාන්දු, ජී. කාර්ලෝ පෙරේරා, එම්. ඩී. බොනී, ජෝසප් බෙන්ඩික් ප්‍රනාන්දු, මයිකල් ප්‍රනාන්දු, රේමන් සිල්වා, ඒ. අර්සකුලරත්න, ස්ටැන්ලි ප්‍රනාන්දු, රොබට් ප්‍රනාන්දු, සිසිල් ජෝසප්, ගරු මර්සලීනු ජයකොඩි පියතුමා බිහිකළ ලංකාවේ ප්‍රථම සිංහල ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

මංගල්ල දින මහා පූජාවෙන් පසු ගීතිකා කණ්ඩායම මුලින්ම යන්නේ පල්ලියේ ලැගුම් ගෙටය.

කෑම කාමරයේ මහා පතරංග මේසේ මත කට්ලට් පස්තෑල ආස්මි, මුං අළුවා, බිබික්කං, කැවුම්, අතිරස, කිරිබත් ගොබ්බයෝ මග අත් ගොබයක් තරම් මහත්වූ කෝලිකුට්ටු ඇවරි හිනෙහි හිනහි ඉන්නේ ගීතිකා කණ්ඩායම එනතුරුය.

උස් වූ ස්වරයෙන් ගීතිකා ගැයීමට කට ලොකුවට විවර කර පුරුදු ඔහුනට මේසේ මත හිනහෙන කෑම අතුරුදන් කිරීමට එතරම් වෙලාවක් ගත වෙන්නේ නැත.

ඒ සමග කෑම මේසෙ මත වූ සිනහව ඔවුන්ගේ වත මත පතිත වන අතර මේසය මත ඉතිරි වන්නේ කෙසෙල් ලෙලි පමණි.

එයට පසු මෙම ගීතිකා කණ්ඩායම යන්නේ ගීතිකා කණ්ඩායමේ නායකයා වූ ජුවප්පු ගුන්නාන්සේලාගේ ගෙදරය.

ජුවප්පු ගුරුන්නාන්සේලාගේ ගෙදර ඔවුන්ට සප්පායම් වීමට සෑම දෙයක්ම ඇත.

ගීතිකා කණ්ඩායම ආපසු තම තමන්ගේ ගෙවල්වලට යන්නේ මංගල බත ගෙවල්වල මේසය මත දුම් දමමින් තිබියදීය.

පීටර් කැනියුට් පෙරේරා


advertistmentadvertistment