ජේතවනාරාම දාගැබ වීඩියෝ කර අකුණු සන්නායකය උස්සන්න හදලා

468

කෝප්‍රල් ඇතුළු 3ක් අල්ලයි

ඓතිහාසික ජේතවනාරාම දාගැබේ සවිකොට තිබෙන ඉතා ඉහළ වටිනාකමකින් යුත් අකුණු සන්නායකය ගැලවීමට සැලසුම් කළ බවට සැකපිට යුද හමුදා කෝප්‍රල්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අනුරාධපුර උඩමළුව පොලිසිය විසින් පෙරේදා (02දා) සවස සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබේ.

සැකකරුවන් තිදෙනා එම අකුණු සන්නායකයේ කොටස් හා ජේතවන දාගැබ වීඩියෝ ගතකරමින් සිටියදී ඒ පිළිබඳව අවධානයෙන් පසු වූ උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව ජේතවන පුදබිමෙහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් පෙරේදා සවස 5.30 ට පමණ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අවස්ථාවේ යුද හමුදා කෝප්‍රල්වරයාට අයත් බව කියන ත්‍රිරෝද රථයක්ද පොලිසිය භාරයට ගෙන තිබේ. සාලියපුර යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත මහනුවර උඩුව පදිංචි තිස්හත් හැවිරිදි කෝප්‍රල්වරයකු, තඹුත්තේගම සෝලම ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සහ වැල්කඩගම, මිහිරාවත්ත, වැලිමඩ පදිංචි විසිනව හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

දාගැබේ කොත් කැරැල්ලේ සිට සලපතළ මළුවට මීටර් කීපයක් පොළොව යටින් සවිකර ඊට මතුපිටින් සලපතළ මළුවේ ගල්ලෑලි අතුරා වසා ඇති එම අකුණු සන්නායකය මීට වසර දහයකට පමණ පෙර විදේශ රටකින් ආනයනය කොට ඇත. මීට වසර පහකට පමණ පෙරද එම අකුණු සන්නායකය ගලවා ගෙන යෑමට පිරිසක් උත්සාහ කළද එම උත්සාහය ව්‍යර්ථ වී තිබිණි.

එම ස්ථූපය වීඩියෝ ගතකරමින් සිටි බව කියන සැකකරුවන් තිදෙනා මේ දිනවල දිවයින පුරා ඪධක්‍ අකුණු සන්නායක සොයමින් සිදු කරන ජාවාරමට සමගාමීව එම ස්ථූපයට සවි කර තිබෙන අකුණු සන්නායකයේ ද ඡායාරූප ගෙන ඒවා විදේශගත ජාවාරම්කරුවන් වෙත විශාල මුදලකට අලෙවි කිරීමේ අරමුණින් පැමිණ එහි ඡායාරූප ගැනීම සහ වීඩියෝගත කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

එම සැකකරුවන් ඊයේ (03දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment