ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමේ [John Keells Foundation (JKF)] 20 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

එම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශයේ සමාගම්, අධ්‍යාපන ආයතන, එක්සත් ජාතීන්ගේ සංවිධාන, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූලික සංවිධාන ඇතුළු ප්‍රධාන පෙළේ පාර්ශ්ව රැසක නියෝජිතයෝ සහභාගී වූහ. 2005 මාර්තු 28 දින ආරම්භ වූ ජෝන් කීල්ස් පදනම දීර්ඝ කාලයක පටන් මෙරට තුළ තිරසාර වර්ධනය සහ ප්‍රජාවන් සවිබල ගැන්වීම උදෙසා සුවිශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී.

“ජෝන් කීල්ස් පදනම යනු ශ්‍රී ලංකාවේ මුල්ම ආයතනික සමාජ වගකීම් ආයතන අතරින් එකක්. එය බලගන්වමු දේශය හෙට දිනට යන දැක්ම යටතේ, රටේ ජාතික මට්ටමේ ප්‍රමුඛතාවන්, තිරසාර සංවර්ධන අරමුණු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ මූලධර්මවලට සමගාමීව ඵලදායී හා තිරසාර වැඩසටහන් රාශියක් ක්‍රියාවට නංවා තිබෙනවා. මේ දක්වා එම දීර්ඝකාලීන වැඩසටහන් මගින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 9 කට අධිකයි. ජෝන් කීල්ස් පදනමේ ප්‍රතිපත්තිය වන්නේ හුදෙක් සහනාධාර ඉක්මවා ජීවනෝපායන් සහ කුසලතා සංවර්ධනය වැනි මධ්‍යම සහ දිගුකාලීන ව්‍යාප්ත සදහාය. උදාහරණයක් ලෙස රණාල ප්‍රදේශයේ අපගේ Eelephant House (අලියා සිසිල් බීම) කර්මාන්තශාලාව අවට වාසය කරන ජනතාවට අප කඩදාසිවලින් විවිධ නිෂ්පාදන සිදුකරන ආකාරය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදුන්නා. එමෙන්ම හික්කඩුවේදී අප Hikka Tranz by Cinnamon (‘හික්කා ට්‍රාන්ස් හෝටලය) සමග එක් වී එම ප්‍රදේශයේ ජනතාවට බතික් නිෂ්පාදනය සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදීමට පියවර ගත්තා. මෙහිදී අප වඩාත්ම දිරිගන්වන සාධකයක් වන්නේ, අපගේ සාමාජික සාමාජිකාවන් මෙම වැඩසටහන්වලට සහභාගී වීම සඳහා දක්වන උනන්දුවයි. පසුගිය දශක කිහිපය තුළ මෙම සමාජ මෙහෙවර අපගේ පැවැත්මේ අනිවාර්ය අංගයක් බවට පත් වී තිබීම සතුටට කරුණක්.” ජෝන් කීල්ස් ව්‍යාපාරයේ සමූහාධිපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පැවසීය.


advertistmentadvertistment