තවමත් බැස නොගිය පොසොන් සඳ(එය ඔරිජිනල් ශ්‍රී ලාංකික සඳකි)

474

2024 ජුනි මස 23 වැනිදා ඉරිදා

මනුෂ්‍ය ශිෂ්ටාචාරය වෙනස් වූයේ එකකුගේ කට දිහා අනෙකා නිහඬව බලා සිටීමෙන් නොවේ. අවුරුදු දහස් ගණනාවක් තිස්සේ මිනිස්සු සංවාද ගොඩනඟමින් එකිනෙකාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ක්‍රියාකාරකම්වල නිරත වූහ. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ පෘථග්ජනයාගේ ප්‍රශ්න නිරාකරණය කරන ලද්දේ සංවාද ආශ්‍රයෙනි. ග්‍රීසිය පෞර රාජ්‍යයක්ව පැවති සමයේදී ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටීස් ඇතුළු ප්‍රඥාවන්ත දාර්ශනිකයෝ මනුෂ්‍ය සංහතියේ අනාගතයට තීරණාත්මක ලෙස බලපෑ සංවාද ගොඩනැගුහ. සංවාදය යනු අලුත් මතවාදයකට මුලය. ග්‍රීක ශිෂ්ටාචාරය පැත්තෙන් මේ බව පැහැදිලි කරන කදිම පොතක් තිබේ. ජනරජය ලෙස හැඳින්වෙන මේ ග්‍රන්ථය මධ්‍යකාලීන යුගයේ දේශපාලනය සහ සමාජ සංවාදවලට අත්තිවාරමක් විය. දිනක් ජේතවනාරාමයට පැමිණි මානවකයෙක් විශ්වය තේරුම් කරදෙන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලා සිටියේය. බුදුහු එම ඉල්ලීම ඉටුකරමින් දීර්ඝකාලීන සංවාදයක් හරහා විශ්වයේ භෞතික ස්වරූපය එම මානවකයාටත් ඔහුගේ පරිවාර ජනයාටත් අවබෝධ කර දුන්හ. විශ්වය තේරුම් කිරීමේදී පරමාණුව ඛණ්ඩනය කොට ඒ සඳහා අර්ථ නිරූපනයක් සැපයීමට බුදුන්ට සිදුවිය. එම අර්ථ නිරූපණය සඳහා පමණක්ම මාස තුනක් වැය වූ බව කියනු ලැබේ. එම සංවාදය තල්පත්වල ලියන ලදුව අවුරුදු 2500ට පමණ පසු ඉංග්‍රීසියට පරිවර්තනය කර Buddha’s Teachings on universe යනුවෙන් ග්‍රන්ථයක් සම්පාදනය කරන ලදි.

නිව්ටන් සහ අයින්ස්ටයින් නොදැන සිටි දේ පවා බුදුන් වහන්සේ දැන සිටි බව මේ ග්‍රන්ථයෙන් පැහැදිලි වෙයි. මෙයට අවුරුදු 2259 ට පෙර මිහින්තලයට වැඩම කළ මිහිඳු හාමුදුරුවෝ ශිව භක්තිකයකු වූ දෙවනපෑතිස් රජු සමග සංවාදයක් ගොඩනැඟූහ. මිහිඳු හිමියන් විසින් දෙවනපෑතිස් රජුට බුදු දහම, ලෝකය සහ ස්වභාවධර්මය තේරුම් කර දෙන ලද්දේ මේ සංවාදය හරහාය. එම සංවාදයෙන් පසු බොදුනුවකු බවට පත් දෙවනපෑතිස් රජතුමා යළි කිසි කලෙකත් මුව දඩයමෙහි ගියේ නැත. ශිෂ්ටාචාරය දිගින් දිගටම ඉදිරියට යත්ම ලෝකය තවදුරටත් සංවාදවලින් පිරෙන්නට විය. එම සංවාද විසින් අලුත් මතවාද පතුරුවා හරින ලදි. වයර් නැතිව කරන්ට් එක යැවිය හැකි බව නිකොලා ටෙස්ලා නමැති විද්වතා කීවේය. ඔහු එය ඔප්පු කරන්නට සූදානම් වූ කල්හි ඔහුගේ මළ මිනිය ලන්ඩනයේ තිබූ හෝටලයකින් හමුවිය. ඊජිප්තුවේ පිහිටි සිනායි අර්ධද්වීපයට අයත් අඩි 8000 ක් උස සිනායි නමැති කන්ද මුදුනේදී දෙවියන් වහන්සේ විසින් මෝසස්ට දස පනත ප්‍රදානය කරන ලදැයි කතෝලික ප්‍රජාව පිළිගනිති. එහෙත් අලුත් මතවාදවලට අනුව, සිනායි කන්ද පිහිටා ඇත්තේ සෞදි අරාබියේය. බුදුන් වහන්සේ ඉපදී හැදී වැඩුණු ජම්බුද්වීපය ඉන්දියාවේ පිහිටියක් නොව ලංකාවේ පිහිටියක් බවට මතවාදයක් සෑහෙන කලක සිට මේ රටේ පවතී. වෙනකක් තබා අනෝමා ගංගාව, නේරංජනා ගංගාව, බුදුන් වහන්සේ සත් සතිය ගත කළ තැන් යනාදියත් පිහිටියේ ලංකාවේමලු! මේ මතවාදය වටා රැස්ව සිටින සිංහල බෞද්ධ කණ්ඩායමක් එහිම එල්ලී සිටිති. මෙහිදී අපට මෙවැනි තර්කයක් ද නැගිය හැකිය. සිනායි කන්ද කොහේ තිබුණාම මොකද? වඩා වැදගත් වන්නේ මෝසස්ට දස පනත ලැබීමය. බුද්ධෝත්පත්තිය කොහේ තිබුණාම මොකද වඩා වැදගත් වන්නේ බුදු දහම බිහිවීමය.

ඉතා දරුණු හින්දු ආක්‍රමණිකයකු වූ අසෝක රජතුමා ධර්මාශෝක බවට පත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාක්‍ය කුලයට අයත් විදිෂා මහා දේවි නමැති රූමත් බෞද්ධ කාන්තාවක සමග පෙමින් වෙලීමෙන් පසුව යැයි කියනු ලැබේ. විදිෂා සහ ධර්මාශෝකට දරුවන් දෙදෙනෙක් වූහ. වැඩිමහල් කුමරුගේ නම මහින්ද ය. බාල දියණිය සංඝමිත්තාය. විසි හැවිරිදි වයස් වූ කල්හි මහින්ද කුමරු බුදු සසුනෙහි පැවිද්ද ලැබීය. ධර්මාශෝක රජතුමා ජාත්‍යන්තර දේශපාලනයට බසින්නේ මෙතැන් සිටය. ඔහුගේ ජාත්‍යන්තර දේශපාලන පණිවිඩය වූකලී බුදු සමයේ පණිවුඩයයි. ඉන්දියාව විවිධ ආගම්වලින් ගහන වූ රටක් නිසා බුදුදහමේ පැවැත්ම සඳහා සුදුසුම භූමිය ශ්‍රී ලංකාව බව ධර්මාශෝක සිතන්නට ඇති. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේගේ ධර්මය ග්‍රීසිය දක්වාත්, මැදපෙරදිග දක්වාත් මුළු මහත් ආසියාව පුරාත් පැතිරගිය නමුදු නිර්මල ථෙරවාදී ස්වරූපයෙන් පවතින්නේ ශ්‍රී ලංකාව තුළ පමණි. පෙරේදා වැනි පොසොන් පොහෝ දිනක මිහින්තලාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස සිංහලයාගේ ආධ්‍යාත්මය නිර්මල ථෙරවාදී මතවාදයෙන් පුබුදුවාලූහ. එසේම මිහිඳු මහ රහතන් වහන්සේ සමග විවිධ වෘත්තීන්වල යෙදුණු විශාල පිරිසක් මෙහි පැමිණි බවද දැනගන්නට තිබේ. මේ නිසා අලුත් කර්මාන්ත, නව කලා සම්ප්‍රදායන් යනාදිය ලංකාවට ලැබිණ. හැබැයි මෙය IOC සමාගම ඉන්දියාවෙන් මෙරටට තෙල් ගෙන ඒමට වඩා වෙනස්ය. IOC සමාගම කොහෙන් ගෙනාවත් ඒ ඛනිජ තෙල්මය. ඒවා ඉන්දියාවේ පිරිපහදු කර FINISHED PRODUCT එකක් ලෙස මෙහි ගෙන එනු ලැබේ. ලංකාවට ගෙනා පසු එම තෙල් වෙනස් කරන්නේ නැත. එහෙත් මිහිඳු මහ රහතන් වහන්සේ සමග මෙරටට පැමිණි බෞද්ධ මතවාදය ද කලා ශිල්ප සියල්ල ද වෘත්තීය වේදය ද මේ රටටත් එහි සංස්කෘතියටත් අනුව වෙනස් විය. ඒවා තවදුරටත් ඉන්දියන් බඩු නොවේ; අපටම අයත් දේශීය බඩුය. පොසොන් සඳ තවමත් බැස ගොස් නැත. ඒ සඳ රැස්වල අප කියූ මේ කතාවත් ගැබ්ව ඇති බවක් ඔබට නොසිතේද?

advertistmentadvertistment
advertistmentadvertistment