ලක්ෂ 34 ක සතොස අල – ලූනු මගදි උස්සලා ලොරිය හමුවෙයි රියැදුරු අතුරුදන්

416

ඔරුගොඩවත්ත පිහිටි ලංකා සතොස ගබඩාවේ සිට අනුරාධපුර සතොස ගබඩාව වෙත ලොරියකින් ප‍්‍රවාහනය කරමින් තිබූ රුපියල් තිස්හතර ලක්ෂ විසිහතර දහස් හැට හතරක් වටිනා අර්තාපල් අල සහ ලොකු ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කර එහි රියැදුරා ලොරිය අනුරාධපුර – පාදෙනිය මාර්ගයේ තඹුත්තේගම මල්වානේගම ප‍්‍රදේශයේ දමා පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඉකුත් 22 වැනිදා අලූයම 5.45ත් 23 වැනිදා පෙරවරු 7.00ත් අතර කාලයේ දී මෙම සොරකම සිදුකර ඇති බවට අනුමාන කෙරේ.

ලංකා සතොස ආයතනයට අයත් රත්මලාන ඔරුගොඩවත්ත ගබඩාවේ සිට දිවයින පුරා පිහිටි සතොස ප‍්‍රාදේශීය ගබඩා වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප‍්‍රවාහනය කරනු ලබන ව්‍යාපාරිකයකුට අයත් ලොරියකින් එම භාණ්ඩ තොගය ප‍්‍රවාහනය කර තිබේ.

එම භාණ්ඩ තොගය ප‍්‍රවාහනය කර ඇත්තේ පොල්ගස් ඕවිට ප‍්‍රදේශයේ පදිංචි රියැදුරකු බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.

එම භාණ්ඩ රැුගත් ලොරි රථය ඔරුගොඩවත්ත සතොස ගබඩාවෙන් පිටත්ව ඇත්තේ ඉකුත් 21 වැනිදා රාත‍්‍රී 9.30 ට පමණය. ඒ අනුව පසු දින අලූයම 4.50 ට පමණ තමා අනුරාධපුර සතොස ගබඩාව වෙත පැමිණි බවත් ලොරි රථයේ එක් රෝදයක හුළං බැස ඇති බැවින් එහි රෝදය මාරු කර නැවත ඔරුගොඩවත්ත ගබඩාවට හැකි ඉක්මනින් පැමිණෙන බවත් ලොරි රථයේ රියැදුරු සතොස ගබඩාව වෙත භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදු කරන ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් ලබා ගෙන දැනුම් දී තිබේ.

අනතුරුව අදාළ ව්‍යාපාරිකයා ලොරි රථයේ රියැදුරුගේ ජංගම දුරකථනයට ඇමතුම් ගණනාවක් ගෙන ඇතත් එය විසන්ධි වී තිබී ඇත.

ඉන් පසු අනුරාධපුර සතොස ගබඩාවේ කළමනාකාරිනිය විසින් තම ගබඩාවට භාණ්ඩ ප‍්‍රවාහනය කළ ලොරිය නොපැමිණි බව භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු සිදු කරන අදාළ ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුමක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව එම ව්‍යාපාරිකයා අතුරුගිරිය කැටියවත්තේ පිහිටි සිය නිවසේ පිහිටි සිය මෝටර් රථයෙන් අනුරාධපුර බලා ගමන් කරමින් සිටියදී අනුරාධපුර සතොස ගබඩාවට භාණ්ඩ ප‍්‍රවාහනය කළ ලොරිය තඹුත්තේගම මල්වානේගම ප‍්‍රදේශයේ මාර්ගය අයිනේ නවතා තිබෙනු දැක ඇත.

පසුව සිය මෝටර් රථය නවතා ලොරිය පරීක්ෂා කර බැලීමේදී එහි රියැදුරු ලොරියේ සිට නොමැති අතර ප‍්‍රවාහනය කළ භාණ්ඩ අතරින් ලොකු ලූනු සහ අර්තාපල් සුළු ප‍්‍රමාණයක් තිබී ඇත.

ඒ අනුව අදාළ ව්‍යාපාරිකයා පසුව මේ පිළිබඳව තඹුත්තේගම පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරින් අර්තාපල් අල කිලෝ ග‍්‍රෑම් අසූවක් සහ ලොකු ලූනු කිලෝ ග‍්‍රෑම් තුන් දහස් හතක ප‍්‍රමාණයක් ලොරියේ තිබී නඩු භාණ්ඩ වශයෙන් සිය භාරයට ගෙන තිබේ.

මේ අනුව එම ලොරියේ ප‍්‍රවාහනය කළ භාණ්ඩ සොරකම් කර පලාගිය බව කියන රියැදුරු අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment