සැත්කම් සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධයක් රෝහල්වල නෑ – රෝගීන්ට අතින් ගෙවා ෆාමසිවලින් අරන් එන්න වෙලා

149

ශල්‍යකර්ම සඳහා බහුලව භාවිත කරන ඕ.එස්.ටී. පොපබි්‍යුවකෝන් නිර්වින්දන ඖෂධය රෝහල් තුළ නොමැතිවීමෙන් සැත්කම් සඳහා දැඩි බාධා මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොඳුඇට පෙළ අතුරින් සුෂුම්නා තරලයට විදීමෙන් උදරයෙන් පහළ කොටස හිරිවැට්ටවීමට මෙම ඖෂධය භාවිත කරන අතර එම ඖෂධය හිඟවීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි එම සංගමයේ ලේකම්, වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවසීය.

මෙම ඖෂධය භාවිත කර සිසේරියන් සැත්කම්, හර්නියා ආදී උදර ආශ්‍රිත ශල්‍යකර්ම, උකුල් ප්‍රදේශයේ සහ පාදවල සිදුකරන ශල්‍යකර්ම ඇතුළු ශල්‍යකර්ම විශාල ප්‍රමාණයක් සිදුකරන බව හෙතෙම සඳහන් කළේය.

මේ වන විට එම ඖෂධය පිටතින් මිලදීගෙන රෝහලට ලබාදීමට රෝගීන්ට සිදුව ඇතැයි ද කී ඒ මහතා ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට රෝගීන්ට සිදුව ඇතැයි ද පැවසීය.

ඉන්දියාවෙන් ගෙන්වන අදාළ ඖෂධය, එරට මුදලින් රුපියල් 30 ක් පමණ වන අතර එය මෙරට මුදලින් රු. 120 ක් පමණ විය හැකි වුවද සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ඖෂධය මිලදීගෙන අත්තේ රු. 480 ක් පමණ වැයකර බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය. මෙරට පෞද්ගලික ඔසුසල්වලින් රුපියල් 900 සිට 2500 දක්වා වූ මුදලකට ජනතාවට එම ඖෂධය මිලදී ගැනීමට සිදුව අතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment