සචිත්‍ර සේනානායකට විදෙස් ගමන් තහනමක්

335

ශ්‍රී ලංකාවේ පැවති පළමු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනකුට යෝජනා කළේ යැයි චෝදනා එල්ල වී ඇති ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (14 දා) සිට මාස තුනක කාලයකට විදේශගත වීම වළක්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් රිෂ්වාන් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

ක්‍රීඩා තරග පාවාදීම් සිදුකරන ජාත්‍යන්තර සංවිධානයක ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන එම ක්‍රීඩකයා රටට ඉමහත් කීර්තියක් ගෙනදුන් ක්‍රිකට් ක්‍රීඩාව ජාවාරමක් කරගෙන ඇති බව පෙන්වා දෙමින් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමඟ පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. 2019 – 2020 වසරවල පැවති එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන තිබූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු සහ ධම්මික ප්‍රසාද් හා තරිඳු හසංක රත්නායක යන ක්‍රීඩකයන් විසින් කරන ලද පැමිණිලි අනුව ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනත යටතේ ක්‍රීඩා වැරදි වැළැක්වීම සඳහා ආරම්භ කළ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර තිබූ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය. එකී විමර්ශන අධ්‍යයනය කළ නීතිපති දෙපාර්තමේන්තුව එම ක්‍රීඩකයාට එරෙහි නීතිමය පියවර ගන්නා ලෙසට පසුගිය 9 වැනිදා විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බවත්, එම නියෝගයෙන් අනතුරුව සැකකාර සචිත්‍ර සේනානායක පදිංචිව සිටි ස්ථාන වසා දමා අතුරුදන් වී ඇති බවත් අධිකරණයට පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඔහු රටින් පළායෑමේ අනතුර ඇති බැවින් වහාම විදේශ ගමන් වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව එම නියෝගය නිකුත් කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වහාම එම නියෝගය ආගමන විගමන පාලකවරයා ඇතුළු බලධාරීන් වෙත යොමු කරන ලෙසට ද අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සමල් ප්‍රනාන්දු සහකාර පොලිස් අධිකාරි ජයනාත් වනසිංහ යන මහත්වරුන් මෙන්ම විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක විදානගේ යන මහත්වරුන් ද අධිකරණයට පැමිණ තිබිණි. එම තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයකුට ලැබෙනුයේ ඩොලර් 15,000 ක මුදලක් පමණක් වුවත්, තමන් කියනා ලෙස කටයුතු කළහොත් ඩොලර් 60,000 බැගින් වූ බෝනස් මුදලක් එක් ක්‍රීඩකයකුට හිමිවන බව පෙන්වා දෙමින් සැකකාර ක්‍රීඩකයා ධම්මික ප්‍රසාද් නමැති ක්‍රීඩකයාට එම යෝජනාව කර ඇති බවත් ඒ අනුවම ඔහු අන්තර්ජාතික බුකීකරුවන්ගේ දේශීය නියෝජිතයකු ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment