තායිලන්ත ධන කුවේර කාන්තාවක් මිස් යුනිවර්ස් මිලදී ගනී

1234

ලොව පුරා අතිශයින් ජනප්‍රියත්වයට පත් රූ රැජින තරගාවලියක් වන ‘මිස් යුනිවර්ස්’ විශ්ව රූ රැජින තරගය සංවිධානය කරනු ලබන ‘මිස් යුනිවර්ස්’ සංවිධානය තායිලන්තයේ සංක්‍රාන්තික ලිංගික (පිරිමියෙක් වශයෙන් සිට කාන්තාවක වූ) ගණයට අයත් ජනප්‍රිය දානපතිනියක වන ඈන් ජැකපොන් ජැක්රාජුටාටිප් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 20කට (පවුම් මිලියන 17.1ක්) මිලදී ගෙන තිබේ.

තායිලන්තයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිය අණසක පතුරුවා ඇති එරට රූපවාහිනිය සඳහා ජනප්‍රිය විවිධාංග රූපවාහිනි වැඩසටහන් නිපදවන ආයතනයක් වන ‘ජේ. කේ. එන්. ග්ලෝබල් ගෲප්’ සමාගමේ අයිතිකාරිනිය ද වන ඇන් ‘මිස් යුනිවර්ස්’ සංවිධානය මිල දී ගැනීම සම්බන්ධයෙන් පවසා ඇත්තේ එය සිය සමාගම් ජාලයට එක් කරගත් ප්‍රබලම හා උපාය මාර්ගික එකතු කර ගැනීමක් බවයි. මෙයට පෙර හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සම සභාපතිවරයකු ලෙස කටයුතු කළ ‘මිස් යුනිවර්ස්’ සංවිධානය 2015 වසරේදී ට්‍රම්ප් විසින් අලෙවි කර තිබිණි. ඈන් ජැකපොන් ජැක්රාජුටාටිප් විසින් වසර 71 ක කාලයක් මුළුල්ලේ වාර්ෂිකව විශ්ව රූ රැජින තරගය පවත්වන ‘මිස් යුනිවර්ස්’ සංවිධානය මිලදී ගනු ලබනුයේ ලබන වසරේ සිට එම තරගය වෙනස් මුහුණුවරකින් පැවැත්වීමට සංවිධායකයන් විසින් තීරණය කර තිබෙන අවස්ථාවකදීය. මෙතෙක් අවිවාහක, දරුවන් නොමැති තරුණියන් පමණක් සහභාගි කරගත් ‘මිස් යුනිවර්ස්’ තරගයට ලබන වසරේ සිට විවාහක කාන්තාවන් හා මවුවරුන්ද සහභාගි කරගැනීමට සංවිධායකයෝ තීරණය කර තිබේ. මෙම තරගය වාර්ෂිකව ලොව පුරා රටවල් 160කට අධික සංඛ්‍යාවක රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment