ලොව බලගතුම රාජ්‍ය ලේකම්වරයෙක් සහ ජනාධිපති ආර්යාවක් මියයති

720

හිටපු ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ගේ සිට වත්මන් ජනාධිපති ජෝ බයිඩන් දක්වා ඇමෙරිකානු ජනාධිපතිවරුන් 12 දෙනකුගේ උපදේශකයකු වශයෙන් කටයුතු කළ ලොව බලගතුම රාජ්‍ය ලේකම්වරයකු වූ හෙන්රි ඇල්ෆ්‍රඩ් කිසින්ගර් හා හිටපු ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර් ගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලදී තිරය පිටුපස සිට වැදගත් කාර්යභාරයක් ඉටු කළ බලවත් ජනාධිපති ආර්යාවක් වූ රොස්ලින් කාටර් මියයෑමේ පුවත් ඉකුත් සතියේ බටහිර මාධ්‍යවල වැඩි වශයෙන් කථාබහට ලක් වූ මාතෘකාවන් විය.

දෙවෙනි ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාවෙන් බිහි වූ බලගතුම රාජ්‍ය ලේකම්වරයා වූ යුදෙව් ජාතික හෙන්රි කිසින්ගර් වසර 100 ක් ආයු වළඳා ඉකුත් බදාදා (29) ඇමෙරිකාවේ කනෙක්ටිකට් නගරයේ පිහිටි සිය නිවසේදී මියගොස් ඇති බව, නිවේදනය කර තිබූ අතර ඔහුගේ මරණයට මුල් වූ හේතුව අනාවරණය වී නොතිබිණි.

හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරුන් වන රිචඩ් නික්සන් හා ජෙරාල්ඩ් ෆෝඩ් ගේ පාලන සමයන්හි 1969 වසරේ සිට 1977 දක්වා වූ කාලසීමාවේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා හා ජාතික ආරක්ෂක උපදේශකවරයා ලෙස වසර අටක කාලයක් සේවය කළ හෙන්රි කිසින්ගර් ගේ හා 39 වැනි ඇමෙරිකානු ජනාධිපතිවරයා වූ ජිමී කාටර්ගේ බිරිය ලෙස රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලටද තිරයෙන් පිටුපස සිට සක්‍රීය දායකත්වය දක්වමින් විදෙස් දූත මෙහෙවරෙහිද නිරත වූ රොස්ලින් කාටර්ගේ භූමිකාවන් එකිනෙකට වෙනස් වුවද දෙදෙනාම ඇමෙරිකානු දේශපාලන කරළියේ වැදගත් චරිත දෙකක් බව බටහිර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

හිටපු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හෙන්රි ඇල්ෆ්‍රඩ් කිසින්ගර් 1923 වසරේ මැයි 27 වැනිදා ජර්මනියේ උපත ලබා ඇති අතර වයස අවුරුදු 15දී එනම් 1938 වසරේදී ඔහු නාසි ජර්මනියෙන් එල්ල වූ කෙණෙහිලිකම් හේතුවෙන් ඇමෙරිකාවට පලා පැමිණි අයෙකි. යුදෙව් ජාතිකයකු වුවද සිය ධුරයේ සේවය කිරීමේදී එම පසුබිම පසෙකලා ක්‍රියා කළ අයකු වශයෙන්ද ඔහු ප්‍රකටය. කිසින්ගර් ඇමෙරිකානු රජයේ හිටපු රාජ්‍ය ලේකම්වරයකු හා ජාතික ආරක්ෂක උපදේශකවරයකු පමණක් නොව ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධරයකු, දේශපාලන විද්‍යාඥයකු, භූදේශපාලන විශේෂඥවරයකු මෙන්ම දේශපාලනඥයකුද විය.

ඔහු සිය ධුර කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පළුදු කරගෙන තිබූ පැරණි සෝවියට් දේශය හා චීනය සමග පැවති සබඳතා යථා තත්ත්වයට පත් කරගෙන ඇත්තේ වාචිකව අදහස් හුවමාරු කරගැනීමෙන් බව ප්‍රකටය. කිසින්ගර් මියගිය පුවත සැළ වූ පසු චීන නායකයන් චීනයට හොඳ මිතුරකු අහිමි වූ බව පැවැසුයේ ඒ හේතුවෙනි.

කිසින්ගර් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වුවද ලෝක දේශපාලන කටයුතුවලටද මැදිහත් වී ගැටලු විසඳීමට සක්‍රීයව දායකත්වය සැපයූ අයෙක් ලෙස ප්‍රකටය. ඒ අනුව ඔහු විසින් 70 දශකයේ ඊශ්‍රායලය සිරියාව හා ඊජිප්තුව සමග ඇතිකර ගැනීමට ගිය යුද්ධය නැවැත්වීමට ක්‍රියා කළ අතර ඇමෙරිකාව හා පැරණි සෝවියට් දේශය අතර හටගෙන තිබූ සීතල යුද්ධය (කෝල්ඩ් වෝ) සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට මෙන්ම දෙරට අතර න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම් ඇති කරගැනීමේ සාකච්ඡා ඇරඹීමට මුල් වී කටයුතු කර තිබිණි. දිග්ගැසෙමින් තිබූ වියට්නාම් යුද්ධය නතර කිරීම සඳහා ඇමෙරිකාව මැදිහත් වූයේද කිසින්ගර්ගේ මගපෙන්වීමෙනි. ඔහු ලෝක සාමය වෙනුවෙන් සිදු කළ මෙහෙය අගයමින් 1973 වසරේ ඔහුට හා වියට්නාම් නායකත්වයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිණි.

කිසින්ගර්ගේ මැදිහත්වීමෙන් කාම්බෝජයේ රජය සමග යුද වැදී සිටි කෙමර් රූජ් ගරිල්ලන් විනාශ කිරීම සඳහා ට්මෙනු මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට හිටපු ඇමෙරිකානු ජනාධිපති රිචඩ් නික්සන් විසින් ක්‍රියා කර තිබිණි. එම මෙහෙයුම යටතේ ඇමෙරිකානු හමුදා විසින් කාම්බෝජයට බෝම්බ ටොන් පන්ලක්ෂ හතළිස්දහසක තොගයක් හෙළා තිබිණි. වරක් කිසින්ගර් බංග්ලාදේශය හඳුන්වා දුන්නේ සිවුවැනි ලෝකයට අයත් දියුණු කළ නොහැකි රටක් වශයෙනි. ඔහු රුසියාව විසින් ඉකුත් වසරේදී යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පෙර යුක්‍රේනය නේටෝ සංවිධානයට බැඳෙනවාට අකමැති විය. එමෙන්ම රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ පසු එරට භූමිය රුසියාවට පවරා දිය යුතු බව ඔහු ප්‍රකාශ කර තිබූ බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබිණි.

සිය ධුරයේ සිටියදී මෙන්ම මෙයට දශක පහකට පෙර ධුරයෙන් සමුගත් පසුද කිසින්ගර් විසින් ලොවපුරා පැවැති අර්බුදයන් සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් පළ කළද ඔහුගේ විවේචකයන් විසින් කිසින්ගර් ට යුද අපරාධ ලේබලය අලවා ඇත්තේ ඔහු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ධුරයේ සිටියදී ඇමෙරිකා හමුදා වෙනත් රටවල දියත් කළ යුද මෙහෙයුම් හරහා මිනිස් සංහාරයන් හා ස්ත්‍රී දූෂණ සිදු වූ බව පවසමිනි.

කිසින්ගර්ට පෙර ඉකුත් සතියේ ඉරිදා (26) මියගිය හිටපු ඇමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ගේ බිරිය වූ රොස්ලින් කාටර් ඇයගේ සැමියා රටකජු ගොවියෙක්ව සිටි අවස්ථාවේ සිට ඔහු ඇමෙරිකානු ජනාධිපතිවරයා වීම දක්වා පැමිණි ගමනේ නියමුවරිය වූ අතර ඇය ජනාධිපතිවරයාගේ වැදගත් රැස්වීම්වල මෙන්ම, ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩල රැස්වීම්වලටද සහභාගි වූ අයකුලෙස ප්‍රකටය. වරක් ජිමී කාටර්හිටපු ජනාධිපතිවරයාගේ මව වූ ලිලියන් කාටර් පවසා තිබුණේ රොස්ලින් නිවසේ නායිකාව බවයි.

පැනමා ඇළේ අයිතිය සම්බන්ධ ගැටලුවටද ඇය මැදිහත් වී ඇති අතර ඇයගේ දුරදක්නා නුවණ හේතුවෙන් ඇයව විදෙස් රටවලට රජයේ දූතවරියක් ලෙස යැවීමටද ජිමී කාටර් හිටපු ජනපතිවරයා විසින් කටයුතු කර තිබිණි. ඇය විසින් පිහිටුවූ කාටර් මධ්‍යස්ථානය හරහා ඇමෙරිකානුවන්ගේ මානසික සෞඛ්‍ය නංවාලීම ඇතුළු සුබසාධන ක්‍රියාවන් රැසක් සිදු කර ඇති අතර අදටත් එය සිදු කෙරෙමින් පවතී. ඩිමෙන්ශියා රෝගයෙන් පෙළෙමින් සිට මියයන විට 96 වැනි වියෙහි පසු වූ රොස්ලින් කාටර් මියයන තෙක්ම වසර 77 ක කාලයක් හිටපු ජනාධිපති කාටර්ගේ බිරිය වශයෙන් සිටිමින් වැඩිම කාලයක් විවාහ දිවියේ සිටි ඇමෙරිකානු ජනාධිපති ආර්යාවන් අතර පෙරමුණේ සිටි අතර ඇය විසින් ජනාධිපති ආර්යාව වශයෙන් තිරයෙන් පිටුපස සිට සිදු කළ කාර්යභාරය ආසන්නයට පැමිණීමට හැකිව සිටියේ හිටපු ඇමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට්ගේ බිරිය වූ අයලීනා රූස්වෙල්ට්ට හා බිල් ක්ලින්ටන්ගේ බිරිය වන හිලරි ක්ලින්ටන්ට බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි. ධවල මන්දිරයේ සිටි ඇමෙරිකානු ජනාධිපති ආර්යාවන් අතුරින් කාර්යමණ්ඩලය සමග ගැටුම් ඇති කර නොගත් එකම ජනපති ආර්යාව ලෙසද ඇය ප්‍රකටය.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment